දරුවන්ගේ සිනමාව සහ දරුවන් උදෙසා සිනමාව

ප්‍රවේශය

කතන්දර (Stories) කියන්නෙ ජීවිතය පිලිබඳව අරුත් සහ උත්තේජන ලබා දෙන යමක් බව ඇරිස්ටෝටල්ගෙ කාලෙ ඉඳන්ම වගේ පිලිගත්තු කාරනාවක්. කතන්දර සහ දරුවන් අතර මේ තරම් සම්බන්ධයක් පවතින්නෙත් ඒ නිසා වෙන්න ඇති. පහුගිය සියවස ඇතුලෙ සිද්ධ උනු විශේශම සිදුවීමක් තමයි මුද්‍රිත මාධ්‍යයන්ට වඩා දෘශ්‍ය මාධ්‍යයන් ප්‍රභල වීම. විසිවෙනි සියවස පටන්ගත්තෙම සිනමාව එක්ක. ඔය අතර කතන්දර කියවීම හෝ ඇසීම වෙනුවට කතන්දර බැලීම ප්‍රධාන උනා.

Aristotle

වැඩිහිටියන් සම්බන්ධ කලාවට මූලිකාංග හෝ අත්‍යාවශ්‍ය සාධක කියලා නියමයක් නැහැ. විශේශෙන්ම පශ්චාත් නූතන තත්ත්වය යටතේ කලාව සම්බන්ධව මොනවා හෝ නියමයන්, රීති ආදිය තිබුනා නම් ඒවත් ඉවර උනා. ඒත් දරුවන් සම්බන්ධ නිර්මාණවලදි ඒක ඊටවඩා වෙනස් බව ඔබ පිලිගන්නවා ඇති. ඒකට හේතුව දරුවන් කියන්නෙ ඉතා ඉක්මනින් ආදාන (Input) අවශෝශනය කරගන්නා පිරිසක් වීම සහ ඒ තුලින් තමාව ගොඩනගාගන්න පිරිසක් වීම. තවත් විදිහකින් කියනවා නම් දරුවන් කියන්නෙ සහජ ආශයන් විතරක් තියෙන, නීතිය- පිලිවෙල- සදාචාරය- ආචාරධර්ම ආදිය එකතුකරගනිමින් මානව ශිශ්ටාචාරය තුලට පිවිසෙමින් සිටින කන්ඩායමක්. ඔවුන් ශිශ්ටාචාරයෙන් පිට තැනක ඉඳලයි මේ තුලට එන්නෙ. එතකොට ශිශ්ටාචාරයට ගැලපෙන ලෙස ඔවුන් ශික්ශනය කිරීම අත්‍යාවශ්‍යයි. මේක වනචාරී සත්ත්ව පිරිසක් ශිශ්ට මිනිසුන් කරන ක්‍රියාවලියක්. (ෆ්‍රොයිඩ් කියන කෙනා කියන්නෙ අලුත උපන් ලමයෙක් කියන්නෙ සහජ ආශයන් ඔස්සේ යන අයෙක් කියලා. එයාට අනුව මූලිකම සහජ ආශයන් තමයි ලිංගික ආශාව සහ ප්‍රචන්ඩත්වය. දරුවා වැඩෙද්දි ඒ දේවල් පාලනය කරගන්න ඉගනගන්නවා.)

Sigmund Freud

මේ නිසා දරුවන් සම්බන්ධ සිනමාපටයක් හෝ කුමන හෝ කලාකෘතියක් ගොඩනැගීමේදී ඉතා සුපරීක්ශාකාරී, සවිඥ්ඥනික සහ ප්‍රවේසම් සහගත වීම වැදගත්. ඇතැම් ආදානයන් නිසා දරුවන්ගේ පෞරුශය ගොඩනැගීමේ බාධා ඇතිවෙන්නත්, ඇතැම් විට ශිශ්ටාචාරය තුලදී ගැටුම් සහිත දරුවන් බිහිවෙන්නත් ඉඩ තියෙනවා. ඒ සඳහා ඔවුන්ගේ පවුල් පරිසරය, ඉගනුම් ක්‍රියාවලිය වගේම කතන්දර-චිත්‍රපටිත් විශාල කොටසක් ඉටු කරන බව සත්‍යයක්. මේ නිසා ලමා මනෝවිද්‍යාව පිලිබඳ අවබෝධයකින් තොරව ලමා චිත්‍රපටි ගැන කතාකරන්න හෝ ඒවා නිර්මානය කරන්න බැහැ. මේ සොයාබැලීම ඒ ගැන.

Lumière Brothers(Auguste Lumière-Louis Lumière)

සිනමාවේ පෙරගමන්කරුවෝ උනු ලුමියර් සහෝදරවරු ගැන ඔබ අසා ඇති. මුල්ම චිත්‍රපටි කැමරාව හරහා ඔවුන් නිර්මානය කල චිත්‍රපට ලෙස හමුවෙන්නෙ විනාඩි හෝ තත්ත්පර ගනනක චලන දර්ශන. 1895 වසරේදී ඔවුන් නිර්මානය කල “Repas de Bebe”(1895) සහ 1895 දී නිර්මානය කරන ලද “Babies Quarrel” කෙටි චිත්‍රපට තුල මූලික වෙන්නෙ දරුවෙක්.

ඒ තුල කිසිම කතාන්දරයක් නැහැ. ඒවා දරුවන් හඬන, කෑම කන, සෙල්ලම් කරන සහ ඇවිදින දර්ශන. ඉන්පස්සෙ 1911 පමන වෙද්දි කාටූන් නිර්මානය වෙනවා. “Little Nemo”(1911) සහ “Gertie The Dinosaur”(1914) වැනි නිර්මාන, ලොව මුල්ම කාටූන් චිත්‍රපට.

ලමා චිත්‍රපට ඉතිහාසයේ සන්නම් නාමය වෝල්ට් ඩිස්නි සමාගම කරලියට එන්නෙ 1920න් පස්සෙ. 1923 දි වෝල්ටර් එලිට් ඩිස්නි කියන කෙනා තමයි එය ආරම්භ කරන්නෙ.

Walt Disney

ඔහුගේ පලමු කාටූන් චිත්‍රපටය “Micky Mouse” (1928). එයින් ආරම්භ උනු ඩිස්නිලන්තය “Donald Duck” (1934),”Snow White and the Seven Dwarfs” (1937),”Pinocchio” (1940) ආදී සන්ධිස්තාන සලකුනු කරමින් ඉදිරියට එනවා. මේවා තුල මූලිකවම අරමුනුගත වෙලා තිබුනේ සමාජානුයෝජනය සහ සදාචාරකරනය වගේ කාරනා. දරුවන්ගේ ස්වාධීනත්වය, පෞරුශය, “සම්මත යහපත්” ගතිපැවතුම් සහ නිර්මානශීලීත්වය වර්ධනය කිරීමට ඒ තුලින් උත්සාහගත් බව පේනවා.

එදා සිට අද දක්වා ලොව විශාලම චිත්‍රපට ප්‍රේක්ශකාගාරය වන්නේ ලමයින් සහ නව යොවුන් ප්‍රජාව.

සිංහල සිනමාව දෙස බැලුවොත් මුල්ම සිංහල ලමා චිත්‍රපටය නිකුත්වෙන්නෙ 1976 දී. ඒ මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්දූව නවකතාව ඇසුරෙන් ලෙස්ටර් ජෙම්ස් පීරිස් නිර්මානය කල චිත්‍රපටය. ඉන්පස්සෙ ටයිටස් තොටවත්තයන්ගෙ හඳයා (1979), ආරියරත්න විතානගේගේ අතුරු මිතුරු (1986), සෝමරත්න දිසානායකගේ සරෝජා (2000), පුංචි සුරංගනාවි (2002), සූරිය අරන (2004), සමනල තටු (2005), සිරි-රජ-සිරි (2008) ආදී විදිහට අද වෙන තුරුම විවිධ තේමාත්මක ලමා චිත්‍රපට නිර්මානය වෙමින් තියෙනවා. මෑතකදී නිකුත් උනු ඉන්දික ෆර්ඩිනෑන්ඩූ අධ්‍යයක්ෂනය කල හෝ ගානා පොකුන සහ වෙඩි නොවදින ලමයි චිත්‍රපට ද්විත්වය සිංහල ලමා චිත්‍රපටයේ සුවිශේශී හැරවුමක් ගන්නා බව බොහෝ දෙනා පිලිගන්න දෙයක්.

ලමා චිත්‍රපට අධ්‍යයනය කිරීමේදී බොහෝවිට එක හා සමාන ආකෘතියක් හඳුනාගත හැකියි. එය මෙසේ සරල කර ගනිමු. ලමා චිත්‍රපටවල ප්‍රධාන චරිතය/කතානායකයා හෝ චරිත බොහෝවිට වීර භූමිකාවකුයි රඟදක්වන්නේ. වීරයන් කොයිතරම් කරුනාවන්තද, අන් අයට උපකාර කරන සුලුද, යන්න ඒ තුලින් දරුවන්ට ඒත්තු ගන්වන්න උත්සාහ කරනව. මේ වීරත්වය හැරී පෝටර් වැනි කතාමාලාවක අධිස්වභාවික-මායාමතික ලෙසත්, “Home Alone” වැන්නක සාමාන්‍ය එදිනෙදා ජීවිතය ආශ්‍රිතව ගොඩනගන අයුරුත් දැකගන්න පුලුවන්. කෙසේ හෝ මෙහි ආක්ෘතික ගමන්මග මෙවැන්නක්. කතානායකයා සිය සාමාන්‍ය ජීවිතය ගතකරමින් සිටින අතර අනපේක්ශිත වෙනසකට මුහුන පානවා. ඉන්පස්සෙයි ඔහුගේ/ඇයගේ වීර චාරිකාව ආරම්භ වන්නේ. බොහෝ දේවල් සිදුවීමෙන් පසුව යලිත් මේ කතානායකයා පෙර ජීවිතයට පැමිනෙන්නේ වෙනස් වූ අයෙකු ලෙස.

(රූපය 01)

මෙවැනි ගොඩනැංවීම් සමග ලමයින් අන්තර්ක්‍රියා කරන ආකාරය පිලිබඳ රෙබෙකා ලීව් (Rebecca de Leeuw) ඇතුලු පිරිසක් සිදුකල පර්‍යේශන වාර්ථාවක් ගිය වසරේ පලවුනේ ඩිස්නි-පික්සර් චිත්‍රපටයක් වන”Inside Out”(2015) ආශ්‍රය කරගනිමින්. ලමා විය සහ නව යොවුන් වියේ පසුවන දරුවන් සමග සිදුකල සම්මුඛ සාකච්ඡා ගනනාවක් මගින් එකී චිත්‍රපටය සමග දරුවන් සම්බන්ධ වී ඇති ආකාරය ඔවුන් විශ්ලේශනය කර තිබුනා. ඔවුන්ගේ මූලික තර්කය ගොඩනැගෙන්නේ සදාචාරාත්මක සුන්දරත්වය(Moral Beauty) නම් සංකල්පයක් වටා. කාරුනිකබව, ආදරය, කැප කිරීම, නිර්භීතබව ආදී ලක්ශන සහිත රංගයන් නැරඹීමේදී දරුවන් තුල යහපත් දේ කිරීමට ඇති ආශාව වැඩි දියුනුවන බවයි ඔවුන් කියන්නේ. මේ ක්‍රියාව “Moved by Love” ලෙස හෝ “Moral elevation” ලෙසයි හැඳින්වෙන්නේ. මානව ගුනාංග උගැනීමේදී එහි තාර්කික භාවයට වඩා ඒ සම්බන්ධ අත්දැකීම් ලැබීම ඉතා බලපෑම් සහගත බව විශේශඥයන්ගේ මතයයි. චිත්‍රපටයක් නැරඹීම හරහා එවැනි අත්දැකීම් ලබා ගැනීමත්, අනෙකාගේ අත්දැකීම් සමග අනන්‍ය වීම නිසා සහකම්පනය ආදී මානව ගුනාංග වර්ධනය වන බවටත් ඔවුන් තර්ක කරනවා. එසේම එම සිදුවීම් තම අත්දැකීම් සමග අනන්‍ය කරමින් සිතා බැලීමටත් ලමුන් යොමුවන බව පර්‍යේශකයන් නිරීක්ශය කර තිබුනා. එමගින් දරුවන්ගේ මානසික කුසලතා වගේම සමාජීය බුද්ධිය (Social Intelligence) ද වර්ධනය වීම තීව්‍ර කල හැකියි.

Rebecca De Leeuw

චිත්‍රපටය නරඹන අතරේදී එහි ආඛානය තේරුම් ගැනීමට දරුවා වෙහෙසෙනවා. ඇතැම් සිදුවීම් ඉතා පහසුවෙන් තේරුම්ගත්තත් චරිතවල හමුවන සංකීර්න මිශ්‍ර හැඟීම් වැනි කාරනා තේරුම්ගැනීමට ඔහුට/ඇයට තව තවත් වෙහෙසෙන්නට වෙනවා.

මේ ආකාරයෙන් සිතා බැලීමේදී ලමා චිත්‍රපටයක් සහ ලමයෙකු අතර ගතවන පැය කිහිපය කෙතරම් වැදගත් එකක් දැයි ඔබට අවබෝධ වෙනවා ඇති. වැඩිහිටියන්ගෙන් වෙනස්ව වීරත්වය යන්න බොහෝ සෙයින් අනෙකාට උදව් කිරීමට පෙලඹෙන සුලු, කරුනාවන්ත, පරාර්ථකාමී සහ ආදරනීය යමක් ලෙස වටහා ගැනීමටත්, සහකම්පනය වගේම සංකීර්න හැඟීම් සම්බන්ධ අත්දැකීම් ලබාගැනීමටත්, ඒවා සමග ගනුදෙනු කිරීමටත් දරුවන් මේ කතන්දර ඔස්සේ ඉගනගන්නවා.

දරුවන් සදාචාර-මානව සුන්දරත්වය ආදිය තේරුම්ගන්නා ආකාරය අනුව සංජානනීය වර්ධනය (Cognitive-developmental stages) සිදුවන ආකාරය අවධි තුනකින් දක්වන්න පුලුවන්. පලමු අවධියේ(Prettiness;වයස අවු. 3-6) දී ඔවුන් යමක් සුන්දර යැයි වටහාගන්නේ එයට තමාගේ ඇති අභ්‍යන්තර කැමැත්ත මත පමනයි. දෙවන අවධියේ (Beauty is big and amazing; වයස අවු.6-12 ) දී ඔවුන් වඩා විශාල සහ විශ්මයජනක හැඟීම් සුන්දර ලෙස වටහාගැනීමටයි පෙලඹෙන්නේ. පරාර්ථය ගැන නිශ්චිත අදහසක් ඔවුන් සතුව නැතුවා උවද අනෙකා කෙරෙහි නැඹුරුවන ස්වභාවය අගය කෙරෙනවා. තෙවන අවධියේ (Beauty is Emotionally moving; වයස අවු.12ට වැඩි ) දී ඔවුන් අභූතරූපී ලෙස සිතන්නත්, අනෙකා තුල වූ අභ්‍යන්තරය පිලිබඳ පරිකල්පනය කිරීමටත් යොමු වෙනවා. මෙකී සියලු අවස්ථාවලට කතන්දරවලින් ලැබෙන බලපෑම සුලුපටු නැහැ.

සරෝජා, පුංචි සුරංගනාවි වැනි සිංහල ලමා චිත්‍රපට මෙරට බිහිවෙන්නේ විශාල වාර්ගික අර්බුධයකින් පීඩා විඳින මොහොතක. එවැනි චිත්‍රපටවලදී දරුවන් තුල වාර්ගික සහකම්පනය ඇති කිරීමට අධ්‍යක්ශකවරයා යම් උත්සාහයක් ගෙන ඇති අයුරු දැකගන්න පුලුවන්. සමනල තටු, සිරි රජ සිරි වැනි චිත්‍රපටතුල සමාජ විශමතාවයන් තේමා කරගනිමිනුයි අධ්‍යක්ශකවරයා ප්‍රවේශ වන්නේ.

අලි පැටියෝ ඔයයි මමයි වැන්නක උත්සාහ ගෙන තිබුනේ සත්ත්ව ප්‍රජාව කෙරෙහි වඩා සහකම්පිත අයුරකින් බැලීමට විය හැකියි. ඒ උනත් එම මැදිහත්වීමෙන් පසු ලමා චිත්‍රපට, ලමයින්ට නොව අලියන්ට වෙන් වීමේ අවධානමකට මුහුන පෑ ආකාරය අපි දුටුවා. කෙසේ හෝ එවැනි තත්ත්වයක් යටතේ දී 2014 වසරේ නිශ්පාදනය උනු ඉන්දික ෆර්ඩිනෑන්ඩූගේ හෝ ගානා පොකුන වැනි චිත්‍රපට‍යක් මෙරට ලමා චිත්‍රපටය නැවුමු මාවතක් වෙත රැගෙන ඒමට සමත් උනු බව අතිශයෝක්තියක් නෙවෙයි. සුපුරුදු තේමාවන්ගෙන් වෙනස් ව ඉතාම ප්‍රවේසමෙන් වියමන් කර තිබුනු චිත්‍රපටයක් ලෙස හෝ ගානා පොකුන වගේම වෙඩි නොවදින ලමයි වැන්නක් ද පෙන්වා දෙන්න පුලුවන්.

ලමා චිත්‍රපටයක් ගොඩනැංවීමේදී අතිශය ප්‍රවේශම් විය යුතු කාරනා කිහිපයක්ද මෙහිදී සිහි කිරීම වටීවි. බිය සහ කාංසිය වැනි කාරනා, මූලික මානුශීය හැඟීම් බව සැබෑ යි. ඒත් ඒවැනි තත්ත්ව චිත්‍රපට තුල දිග හැරීමේදී වඩා සුපරීක්ශාකාරී සහ සුමට වීම වැදගත්. එසේ නොවුනු විටක දී බිංදු(2009) වැනි යම් තරමක ක්ෂතිමය(Traumatic) හැඟීම් දනවන චිත්‍රපටි බිහි වෙන්න පුලුවන්. එමෙන්ම අනන්‍යතා දේශපාලනය, දේශපාලන නිරවද්‍යතාව වැනි දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මේ යුගයේ වැදගත්. එසේ නොමැති විට සමාජයේ පවතින ඇතැම් හානිදායක දෘෂ්ටිවාද දරුවන් තුලට කාන්දු වීමෙන් නොනැවතී ඒවා දරුවන් තුල නිවැරදි බවට තහවුරු වීමක්ද සිදුවීම වලක්වන්නට බැහැ.

Sarah Coyne

පවුලේ සියලු දෙනා එකතුව දරුවන් සමග චිත්‍රපයක් නරඹන මොහොත-නැතිනම් කතාන්දරයක් කියවන මොහොත- “Quality Time” ලෙසයි සාරා එම්. කොයින්(Sarah M Coyne) නම් පර්‍යේශිකාව හඳුන්වා දෙන්නේ. ඒ නිසා කෙතරම් කාර්‍යබහුල දින චර්‍යාවක මැද උනත් දරුවන්ගේ මානසික කුසලතා, පෞරුශය, සමාජීය බුද්ධිය ආදිය පිලිබඳව ගෙවෙන වැදගත් මොහොතක් මඟ නොහැරීමට වගබලාගැනීම වටීවි.

(අක්ශර වින්‍යාසය සහ පද බෙදීම ලිපියේ කර්තෘගේ අභිමතය පරිදිය)

ආශ්‍රිත මූලාශ්‍ර

Coyne, S. M., Padilla-Walker, L. M., Fraser, A. M., Fellows, K., & Day, R. D. (2014). “Media Time = Family Time”: Positive Media Use in Families With Adolescents. Journal of Adolescent Research, 29(5), 663-688. https://doi.org/10.1177/0743558414538316 (Original work published 2014)

de Leeuw, R. N. H., Weijers, A., Ahle, A. M., & Daalmans, S. (2023). How Stories in the Media Can Be Meaningful in Children’s Lives. Media Psychology, 27(4), 479–502. https://doi.org/10.1080/15213269.2023.2247322

Senturk, Ridvan. (2011). Anxiety and Fear in Children’s Films. Educational Sciences: Theory and Practice. 11. 1122-1132.

More From Author

“රතු රුසියාවේ හය මසක්” කෘතියේ දෙවන මුද්‍රණය 2025-සුරිය ප්‍රකාශනයක්.

හඳ ලස්සනයි, නේද” කියන්නේ “මම ඔයාට ආදරෙයි” කියලා…

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348