“කවිය වූ කලී කවියාගේ ආධ්‍යාත්මය මිස අනෙකක් නොවේ.එබැවින් කවියා දේශීය වන තරමට, කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි.කවියා සංයමයෙන් යුක්ත වන තරමට, කවියෙහි සංයමය ඇති වෙයි. කවියා නිර්ව්‍යාජ වන තරමට, කවිය නිර්ව්‍යාජ වෙයි.” කවිය සහ කවියා පිළිබද හෙට ඉරක් පායයි කෘතියේ පැනෙන සේකරගේ මේ සුප්‍රසිද්ධ අදහස උධෘත කරන්නට සිතූයේ ප්‍රගීත් කිරිඇල්ලගේ ‘ඊටත් පසුව අම්මා බුදු විය යුතු ය’ කාව්‍ය සංග්‍රහය සම්බන්ධ ව සටහනක් තැබීමේ අරමුණෙනි.
උක්ත ග්‍රන්ථය සැබවින් ම කවියාගේ ආධ්‍යාත්මයේ කැඩපතක් සේ දැකීම වැරැදි නොවේ. භාවිත විචාරය, නූතනවාදය, පෙරටුගාමී විචාරය ආදී විචාර සංකල්ප කිහිපයක දී හැරෙන්නට නිර්මාණ විචාරයේ ලා නිර්මාණකරුවා පිළිබඳ අවධානයෙන් මිදෙන්නට ද විචාරකයාට බැරි බව අපි ප්‍රායෝගික ව දනිමු. ෆුල්මේලා, පවුන්ඩ්ලා, එලියට්ලා, මැලාර්මේලා, වැලරිලා මේ නූතනවාදී සහ පෙරටුගාමී මතයේ දැඩි ව සිටිය ද ඇතැම් කරුණු පිළිබඳ මැද තැනක සිටගන්න්නට ඇත්තේ එබැවින් විය යුතු ය. එසේ ම ධ්වන්‍යාලෝක රචක ආනන්දවර්ධන පෙන්වා දෙන පරිදි “විචාරකයා පළමුව සහෘදයෙකු විය යුතු ය”. නොඑසේ නම් නිර්මාණය සහ සහෘදයා අතර පවතින හිදැස සම්පූර්ණ කිරීම නමැති ‘විචාරක කාර්යය’ නිසි පරිදි ඉටුකර ගැනීම දුෂ්කර වනු ඇත. ප්‍රගීත් කිරිඇල්ල ස්වකීය පළමු කාව්‍ය සංග්‍රහය වන ‘කෑරලෝ ගයාපන්’ කෘතියෙන් පසුව, වසර 08ක් පමණ දැරූ ගැබ ඊයේ විළිරුදා සහිත ව ජනගත කළේ ය.
වසර අටක ඉවසීමක් යනු කවියෙකුට අතිවිශාල කාලයකි. කාල තරණය ඔස්සේ මුවහත් කෙරෙන කවිය තුළ ඔහු අදටත් රිද්මයට ලබා දෙන්නේ ප්‍රමුඛතාවකි. පෙරදිග මෙන් ම බටහිර විචාරකයා ද සලකන්නේ “රිද්මය යනු පාථකයා සහ නිර්මාණකරුවා බැඳ තබන මන්ත්‍රය” ලෙස ය. එබැවින් ම ඔහුගේ දෙවන කාව්‍ය ව්‍යායාමයේ දී ද රසිකයා ඔහු වෙත ඇද බැඳ තබා ගැනීමේ ලා යථෝක්ත මන්ත්‍රය මනාව උපයෝගී කරගනු පෙනේ.
විශේෂයෙන් ම සිවුපද කවිය තවදුරටත් වලංගු කාව්‍ය මාර්ගයක් වගත් එහි පරාසය වඩාත් පැතිරුණු එකක් යන වගත් කොළඹ කවියා හෝ අමරසේකර කවියට එහා දුරක් එයට යා හැකි වගත් පෙන්වන්නට අප කවියාට අවැසි ව තිබුණා වන්නට ද පිළිවන. ‘අම්මාට ඇමතුමක්’ පද්‍යයේ ලා ඔහු පෙන්වන බුහුටිබව නිරීක්ෂණය කළ යුත්තකි.
“ලෝකය බුදුවෙලා අපි නැවතිය යුතු ය
කාලය දිගේ තව මුල්බැහැ ගත යුතු ය
පෑරෙන කරුණුවල බර අඩු කළ යුතු ය
ඊටත් පසුව අම්මා බුදු විය යුතු ය”
අම්මා ගැන කවි ලිවීම මඟෑරුණු කවියෙක් නැති තරම් ය. එය ඈත අතීතයේ පටන් වර්තමානය දක්වා ද මිනිසා සංස්කෘතික වනතාක් අනාගතයට ද බලපාන සත්‍යයක් වනු නොඅනුමාන ය. සේකරගේ අම්මා කවියෙන් කොටසක් කියවමු.
උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබ ය.
ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය.
ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියා දුන් අම්මා ඔබ ය.
තමාට දඩයක්කරුවන් විසින් වෙඩි තබන ලදුව, ස්වකීය අවසන් හුස්ම තෙක් අප්‍රමාණ දාරක ස්නේහය පිරුණු තවත් අම්මෙකු ගැන කුමාරගම ‘වලස් දඩයම’ කාව්‍යයෙහි ලියන්නේ මෙසේ ය.
“පොඩි පැටවුනුත් ඇදගෙන රැඳෙනු ඉඩ නොදී
ආ කැලයට ම ඒ මව පැනපි ඇදි ඇදී
කකුලක් කැඩී ගිය මුත් ඇයගෙ වෙඩි වැදී
දරු පෙම් මරන්නට ඒ මවට එය මදී”
ප්‍රගීත්ගේ කවියට ලබා දියයුතු තැන කෙබඳු ද යන්න ඉහත නිදසුන් අතරින් තෝරා බේරා ගැනීමට සාමාන්‍ය දැනුම ප්‍රමාණවත් ය. “කවිය වූ කලී රමණීය වූ වාගාලාපයයි’ යන ප්‍රසිද්ධ නිර්වචනය සැලකුවොත් එහි ජීව ගුණයට සම්බන්ධ ‘ගලා යාම’ සමහර තැන්වල දී රසිකයා අතරමං වෙන ස්වභාවය නොපැවතුණා නම් වඩාත් ම සාර්ථකවනු ඇතැ යි හැඟේ.
‘ලොකු සර්ගෙ මළගම’ කවියේ ලා ප්‍රගීත් මතු කරන්නට උත්සාහ කරන, අධ්‍යාපනයේ පවතින සංස්කෘතික ගැටලුව සිත් ගනී. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතික්ෂේපිත හොරෙන් පැන ගිය රංජනීලා, කතා නොකරපු නිර්මලීලා, පසු පේළියේ සුමනෙලා, බූරු පේමෙලා, ධර්මෙලා, තිලකෙලා මනුෂ්‍යත්වය, ගුරු ගෞරවය මෙන් ම සංස්කෘතික අගයන් සුරක්ෂිත කරද්දී, එකී අධ්‍යාපනයෙන් මියුරු ඵල ලබන අමරලා, නයනලා ඒ සියල්ල අමතක කරන අයුරු ප්‍රගීත් ලියන්නේ මෙසේ ය.
“ගුරු දෙගුරු සුබ ප්‍රාර්ථනා මැද
අමර නයනව බැඳල තිබුණා…
…
නයන දන්නැති හුඟක් ගස්වල
අමර සල්මල් කඩල තිබුණා”
මෙකී සංස්කෘතික සෝදාපාළුව දෙස ප්‍රතිසංස්කරණ විඳ විඳ සිටින අධ්‍යාපනයේ සල්ගස බලා සිටින බවත් කවියා අවධාරණය කරයි. එය ප්‍රබල සංකේතයකි.
අප කවියා ලියන “පෙරටුගාමී කවිය”එකී විචාර මිනුම් දඬුවලින් මැනීම අසීරු විය හැකි ය. නමුත් ඔහු ඉතා හෘදයාංගම බසක් ඊට යොදා ගනී. ඒ නිසා ම අපට සිහිපත්වන සිංහල කවි, ඉන්දියානු කවි ගණන, ගීත ගණන විශාල ය.
ඔහු ලියන “සිංහල පෙරමුණ වෙත” කවිය බලන්න.
සූරිය මිල්ල කළුවර වන වදුලු මත
මීවන රනිල දුණුකේ කටු පඳුරු ඇත
සමසේ උරා බී මිස මහ පොළොවෙ තෙත
තනි වරිගෙකින් හැදු වනයක් තව ම නැත”
මේ කවියේ ඇති විශ්වීය වටිනාකමට කිසියම් හානියක් ඔහු යොදා තිබෙන මාතෘකාවෙන් සිදු වී ඇති ය යන්න මගේ හැඟීම් යි. එය සැබවින් ම ඉහළ රසවින්දනයකට අප කැඳවිය හැකි කවකි. එය කුමාරගම, කුඩලිගම හෝ මීමනගේ කවි සිහිගන්වන බවක් කිසිවෙක් කීවොත් ඊට විරුද්ධ නොවන්නට මෙන් ම වන්නට ද පුළුවන. මෙවැනි කවි අපට හඬගා කියන්නේ තවදුරටත් සිවුපද කවියෙන් වැඩක් ගතහැකි බැව් ම නොවේ ද?
රිද්මය නිසා පාඨක මනසට දැනෙන පහසුව සේ ම වචනවලට යා හැකි දුරින් එහා පෙනෙන ධ්වනි ගුණය නිසා ත් සමස්තයක් ලෙස කවිය තුළින් පැනෙන සෞන්දර්යය අප ආනන්දයට පත් කරයි. සංස්කෘත විචාරකයා පවසන චමත්කාරය ඉන් ජනනය නොවන්නේ යැ යි කිවහැක්කේ කාටද?
ප්‍රගීත්ගේ බස බොහෝ තැනෙක හෘදයග්‍රාහී ය. මටසිලුටු ය. වරෙක සැඩ ය. ඇතැම්විටෙක අමු ය. වරෙක සෞන්දර්යාත්මක ය. විටෙක විචිත්‍ර ය. ඔහු වරෙක හදවතට ද තවත් වරෙක බුද්ධියට ද අමතයි. තමා භාවිතා කරන වචනවල දිග පළල ගැන සැලකියයුතු අවබෝධයක් ඔහු සතු ය. භාව සංවේදී කවියක් වන “තාත්තාට කෙටි පණිවුඩයක්” පද්‍ය අප බුද්ධිමය කියැවීමකට රැගෙන යන අයුරු බලන්න.
“අඩියක් ගසා ගේ දෙවනත් කළ දාට
එතනත් තිබුණි තැන් තැන්වල සුදුපාට
හිතෙනව තාත්තේ මට සමහර දාට
කොහොමද තාත්තා මෙච්චර සුදුපාට”
ඔහු ‘සුදුපාට’ යන්නෙන් කවියට ලබාදෙන ආලෝකය අපව හුදු භාවමය වශයෙන් පමණක් නොව බුද්ධියෙන් ද අවදි කරන්නට සමත් ය. ‘කවිය වනාහි අපූර්ව සෞන්දර්ය වස්තුවක්’ ය යන්න අපට හඟවන්නට ප්‍රගීත් එවැනි කවි උපයෝගී කරගෙන තිබේ.
ජීවිතය සහ සරුංගලයක් සමපාත කරමින් කවියා ලියන “සරුංගලය” පද්‍ය ද රසික සිත් අවදි කරවයි. ජීවිතය ගැන සිතන්නට පොළඹවයි.මේ අපේ ම ජීවිතය දැ යි අපට සිතෙන තරමට රසිකයාට සමීප වෙයි. ‘අලුත් ලෝකයක්’ පද්‍ය ද ඔහු අවසන් කරන්නේ වචනයට යා හැකි දුරට වඩා බොහෝ වැඩි දුරකට අපව කැන්දාගෙන යමිනි.
“අනේ එහෙමද ? කියනු වෙනුවට
එහෙම කොහොමද? ඇහුව තැනකයි
ලොවක් අලුතින් බිහිවුණේ”
ප්‍රගීත්ගේ අත්දැකීම් ඇතැම්විට පොදු ඒවා ය. නැවුම් යැ යි නොකියා ඉන්නට කෙනෙකුට පුළුවන. නමුත් ඔහුගේ භාෂාව ජීව ගුණයෙන් පිරිපුන් ය. එහි ග්‍රාම්‍ය ගතියක් තිබේ යැයි චෝදනා කරන්නට ද යමෙකුට පිළිවන. ඔහු එවැනි වදන් ඇතැම් තැනෙක





