ප්‍රේමදාස සීයා නෑකමට මගේ පොඩි මාමාගේ මාමණ්ඩී ය. පොඩි මාමා අම්මාගේ පළවෙනි මල්ලී ය. ඔහු පොඩි මාමා වූයේ අම්මාට වැඩ්මල් සහෝදයෙක් වූ නිසා ය. පොඩි මාමා සුදු නැන්දා සමඟින් විවාහ වූයේ මෑතකදී ය. ඔහු විවාහ වනවිට අපේ අම්මා සිටියේ විදේශ ගතව ය. අත්තම්මලාගේ නිවසේ සියලු දෙනාගේ රැකවරණය යටතේ සිටි මමත් අයියාත් උදෙන්ම නැඟිට සූදානම් වූයේ සුදුනැන්දාගේත් පොඩි මාමාගේත් විවාහ උත්සවයට සහභාගි වන්නට ය. නමුත් අප සූදානම්ව අවසන් වන විට ඔවුහු පිටත්ව සිටියහ. අයියාත් මමත් නිවසේ තනිවීය.
මට වඩා වසර හතරක් වැඩිමල් අයියා ඇඳුම් ගලවා දමා පරණ ඇඳුමකට මාරු විය. මම ඔහේ බලා සිටියෙමි. නිවස ඉදිරිපස වූ ජැම්සන් ගහ යට බංකුවට යන්නට වුවමනා වූවද මම සිතුවිලි අතර අතරමංවී ඔහේ බලා සිටියෙමි. අඬන්නට අර අදින අහසක් මෙන් උගුර කට වියළී මගේ පපුව සිරවෙනු මට දැනෙන්නට විය. මම ඒ සියල්ල ආයාසයෙන් දරාගත්තෙමි.
මසකට උඩදී ගලේවෙල ප්‍රදේශයේ නැන්දා කෙනෙකු අත අම්මා එවා තිබූ ඇඳුම් මල්ලේ වූ වටිනාම ඇඳුම මම ඇද සිටියෙමි. දහම් පාසලේ චාරිකාවට සහභාගි වූ දින අප්පච්චී විසින් අරන් දුන් පබලු ඇල්ලූ කොණ්ඩ බෑන්ඩ් එක හිසින් ගලවා දෝතට ගත් මම කඳුළු පිරුණු ඇස්වලින් ඒ දෙස බලා සිටියෙමි.
අයියා අඹ ගහට නැඟ බාගෙට ඉදුණු අඹයකින් මා දෙසට දමා ගැසුවේ ය. එය මගේ දෙපා අද්දර නතර විය. ලේනෙකු විසින් කා දමා තිබූ එය ඉඳෙන්නට ආසන්න වූවකි. නොදැනීම කටට කෙළ බිඳන් ඉනුනි. මම අයියා දෙස බැලුවෙමි. එවන් අඹ ගෙඩියක් ලුණු කැටයක් හා උරච්චි කර කෑමේ ආශාවක් පහළ වූයේ සැනෙනි. මාව තේරුම් ගත්තාක් මෙන් අයියා භාගෙට ඉඳුණු අඹයක් කඩා මා අසලට විසි කළේ ය. දෙකට තුනට පැළී මා අසලින් නතර වු අඹ ගෙඩිය අතින් ගත් මම කුස්සියට දිවුවෙමි. අඹ ගෙඩිය සෝදා මිරිස් ගලේ ගසා පළාගෙන මැටි කෝප්පයකට දා ගත්තෙමි. අත්තම්මාගේ ලුණු කොරහෙන් ලොකු ලුණු කැට අහුරක් ගෙන එයද මැටිකෝප්පයට දමාගෙන ඉස්තෝප්පුවේ දොර දෙක අසල වූ ලොකු පුටුවේ වාඩිවුණෙමි. එක අතින් අඹ කෑල්ලක් ගෙන අනිත් අතින් ලුණු ඇටයක් අරගෙන එය හොඳට අඹ කෑල්ලේ ඇතිල්ලුවෙමි. ලුණු කැටය දියවෙන තුරු අතුල්ලා අඹ කෑල්ල කටේ දමාගෙන හැපුවෙමි. දිවිය ලෝක රසට සියලු වේදනා සමනය විය. අඹ ගෙඩිය අහවර වූයේ සියලු දුක් වේදනා අමතක කරවමනි.
“බඹරා වගේ.. මට තවම විසේ – විස්කි නැතේ.. මට.. බ්‍රැන්ඩි නැතේ..”
ඈතින් ඇසුණේ සිරිපාලා සීයාගේ බීමත් හඬ ය. ටවුමේ කඩයක වැඩකරන සිරිපාල සීයා කලින් කලේ ප්‍රේමදාස සීයාගේ ගෙදර බලාගැනීම ය. නිවසේ පිරිස වැඩිවීමත් සමඟ සිරිපාල සීයාට කරන්නට තරම් වැඩක් නොවී ය. ඔහු ටවුමේ කඩයක සේවයට එක්කළේ සුදු නැන්දාගේ අක්කාගේ මහත්තයා විසින් ය. සතියකට දවසක් නිවාඩු එන සිරිපාල සීයා අත සල්ලි පිරී ඇති බව ගම්මු කියනා කතාවක් වුව ඇහැට දුටුවෙක් නොවී ය.
“ආ… සුදු ළමයා.. කෝ අත්තම්මා..?”
සිරිපාල සීයා අපේ ගෙයි ඉදිරිපිට නතර විය. එක එල්ලේ පෙනෙන්නේ මා ය. ඔහු අත්තම්මා ගැන ඇසුවේ මා තනිව ඇතැයි සිතා වන්නට ඇත. සිරිපාල සීයා ප්‍රේමදාස සීයාට වගේම අපේ සීයාට ද හිතවත් ය.ඒ පවුලේ දරුවන් සේම අපේ පවුලේ දරුවන් ද ඔහුට එකසේම ය. මම සිනාසුනෙමි. අයියා අඹ ගසෙන් බැස ආවේ ය.
“පොඩි මාමා අද බඳිනවා. පේමෙ සීයලගෙ සුදු නැන්දා”
අයියා කීවේ ය. සිරිපාල සීයා අපේ ගේ ඉස්සරහා ගල් ගොඩක් උඩ වාඩි විය. අතේ වූ අරක්කු බෝතලය ඉනේ ගසාගෙන බෑගයේ තිබූ සිලි බෑගයක් ඉන් ඉවතට ගෙන අයියා දෙසට දික් කළේ ය.
“ඉඳා.. රටකජුයි වඩෙයි තියනවා. කාපල්ලා.”
සීයා අයියාට මල්ල දුන්නේ ය. මම එදෙස බලා සිටියෙමි. සිරිපාල සීයා වැනි වැනී ප්‍රේමදාස සීයාගේ නිවස දෙසට ඇවිදන් යන්නට විය.
“එයා අපේ ගෙවල් වල වැඩකාරය ද.. එයාලා දෙන කෑම කෑවට කමක් නැද්ද.. ?”
මම නොදන්නාකමට ඇසූ පැනයට අයියාගේ පිළිතුර රැවීමකි. වඩයක් සමඟ රටකජු ඇට කීපයක් මැටි කෝප්පයට දැමූ අයියා ඉතිර් කොට අරන් ගෙට ගියේ “එයා වැඩකාරයෙක් නෙමේ.” කියමිනි.
උදේ ගියපු හැමෝම ගෙදර ආවෙ වෑන් එකකින් ය. ඒ ජල මාමාගේ වෑන් එක ය. අපේ ගමට තිබුණ එකම වෑන් එක එය විය. අත්තම්මා කලබලෙන් වෑන් එකෙන් බැස්සා ය. නිවස ඇතුළට ඇවිද ගියේද වේගයෙනි. පසෙක සිටි මාවත් ගනන් නොගත් අත්තම්මා කුස්සියට ගොස් ආපසු ආවේ වතුර වීදුරුවක්ද සමගිනි.
“සුදූ.. අහකට වෙනවා. කාමරේට වෙලා ඉදින්.” අත්තම්මා මට කීවා ය. ඊට හේතු විමසන්නට උත්සාහයක් හෝ නොකල මම කාමයට ගොස් ජනේලයෙන් අඹ ගහ දෙස බලා සිටියෙමි. සාලයේ සිදු වූ කිසිවක් මට නොපෙනුණමුය්හ් සියල්ල කනේ වැදී පසෙකට විසි විය.
“හා.. සුදු කෙල්ල..” පොඩි මාමා කාමරයට ආවේ ය. මගේ හිත නෝක්කාඩුවලින් පිරී තිබුණි. මම ඒ සියල්ල හිතේ ගුලි කරගෙන පොඩි මාමාට ඇති බය නිසාම ඔහු හා සිනාසුනෙමි. හමුදාවේ සේවය කළ පොඩි මාමා පවුලේ සිටි සැරපරුෂම පුද්ගලයා විය. උසට ගැළපෙන මහතත් පිරුණු මස් ගොබ සහිත උරහිස් තද කලු සමත් ඔහුට ඇති බිය දෙගුණ තෙගුණ කරන්නෙට හේතු විය.
“සුදූ.. මේ කාමරේ මාමලාට දෙන්න ඕනෙ. ඔයා අනිත් කාමරේ පොඩි අල්මාරියට ඔයාගෙ ඇදුම් ටික දාගන්න.”
අත්තම්මා තවමත් අණ දෙන්නී ය. මම මගේ කැමැත්ත පරිදි ලස්සනට පිළිවෙලට සකසාගෙන සිටි මගේ කාමරය දෙස වේදනාවෙන් බලා සිටියෙමි.
මතු සම්බන්ධයි.
ලයන්‍ති නානායක්කාර