ශක්තික සත්කුමාර:
පන්සලේ මකර තොරණ විවෘත කරලා හත් දොහක් යන්නත් කලින් තොරණින් මකරා අතුරුදහන් වෙලා තිබුණා. මකර තොරණේ විවෘතෙට ආවට වඩා දහස් ගුණයක ජනකායකින් පන්සල් වත්ත පිරුණ. පන්සල් වත්ත වටේට තිබුණ අරලිය ගස් ටික ගලෝල හදපු වලාකුළු බැම්මට පිට දීලා හිටපු සේතන් බාසුන්නැහෙගේ දෑස් යොමුවෙලා තිබුණෙ බෝධියටත් උඩින් අනන්තය දිහාට.
මැදිවියේ අග්ගිස්සෙ හිටපු සේතන් බාසුන්නැහෙගේ කෙස් වැටිය දෙවුර දක්වා වැටී තිබුණා. තැන් තැන් සුදුවෙලා තිබුණත් සරුවට වැඩුණු රැවුල ඔහුගේ මුහුණේ විශාල ප්‍රමාණයක පැතිරිලා. සේතන් බාසුන්නැහේ ඇඟලාගෙන හිටපු පොඩි වුණු කමිසයත්, අවපැහැ ගැන්වුණු සරමත් ඔහුගේ හිතේ තිබුණු අවුල් සහගත ස්වභාවය කියාපෑවා. ගමේ බහුතර පිරිසක් කවාකාරව ඔහුවටා රොක් වෙලා හිටියත් සේතන් ඒ කිසිවෙකුවත් මායිම් කළේ නෑ.

“බාස්සුන්නැහේ කොහොම ද මේක වුණේ? මකර රූපේ කඩා වැටිල නම් ඒකෙ සුන්බුන් හරි තියෙන්න එපැයි. තොරණ හොඳට තියෙද්දි මකරා අතුරුදහන් වෙලානේ?” දායක සභාවේ සභාපති සුගතපාලගේ පැනය සේතන්ගේ කණ ළඟින් ගලා ගියා. ඔහු හිටපු ඉරියව්වෙන්ම සිටින්න වූ නිසා පිරිස නොසන්සුන් වුණා.
“සේතන් අයියේ, මකර තොරණේ වැඩේට දායක සභාව ගොඩක් වියදම් කරා. ඔහේටත් හොඳට ගෙව්වා. මොකද්ද මේ වෙලා තියෙන්නේ.”
“තමුසේ මේ තොරණේ හයිකරේ ඇත්ත මකරෙක් ද?”
“යකෝ කොහෙද පණ තියෙන සුදු මකරු ඉන්නේ…”
“හා …. හා….. ඕවට බෙරිහන් දෙන්න ඕනේ නෑ… සේතන් බාසුන්නැහැ ආයෙ මකරෙක් අඹයි….”
අබේගේ තිප්පොලට කසිප්පු භාගයක මිල ගෙවපු සේතන් බාසුන්නැහෙ බීඩියක් පත්තුකර ගත්තා. බීඩි දුමෙන් පෙනහළු පුරවගත්ත ඔහු අඩ අඳුරේම හිමින් සැරේ පියනැගුවේ පන්සල පැත්තට. උදේ වරුවේ පන්සලේ තිබ්බ කාලගෝට්ටේ ඒ වෙද්දි සම්පූර්ණයෙන්ම ඉවර වෙලා.

චෛත්‍යය ළඟ දල්වලා තිබුණු විදුලි බුබුලෙන් මළානික එළියක් විහිදෙමින් තිබුණා. බුදුගේ ළඟ වගේම ළැගුම්ගේ ළඟත් කළුවර කුට්ටි පොර බදිමින් සිටියා. පසුගිය සතිය පුරා විදුළි ආලෝකයෙන් කිරි පාටින් බැබලුණු වලාකුළු බැම්මත් මකර තොරණෙන් කළුවරත් එක්ක හාද වෙලා තිබුණා. තමන් හදපු මකරා නැති තොරණ දිහා අඳුරේම බලා ගෙන හිටපු සේතන් තොරණ යටින් පන්සල් වත්තට ඇතුළු වුණා.

වලාකුළකට හැංගිලා තිබුණු හඳ පළුව එයින් මෑත්වුණා. ළැගුම්ගේ ගාව පොර බදිමින් හිටපු කළුවර කුට්ටි ඒ අසල බෝ ගහ යටට සේනදු වුණා. ලැගුම්ගේ වහළයට උඩින් විහිදිලා ගිහින් තිබුණු බෝ ගහේ අත්තේ බෝ කොළ හමා ගිය වියළි සුළඟට සෙමින් සෙළවුණා. අඩ අඳුරේ ළැගුම්ගේ දොර ඇරනෙවා දුටු සේතන් මකර තොරණ යටින් ළැගුම්ගේ දෙසට වැටී ඇති මාර්ගයේ හරි මැද මදකට නතර වුණා. අදුරේම දොරින් එළියට ආපු ගැහැණු පරාණයක් චීත්තය තදකර අඳිමින් කඩිසරව වත්ත පහළ පැත්තකට යනවා සේතන් ටික වෙලාවක් බලාගෙන හිටියා. තවත් විනාඩි කිහිපයකට පස්සේ ලැගුම් ගේ ඉදිරිපස විදුලි බුබුළු එකිනෙක දැල්වුණා.
ඒවායෙන් නිකුත් වුණේ දීප්තිමත් එළියක්. බුලත් විට වට්ටිය අතින් ගත් හාමුදුරුවෝ අඳනය පිටින්ම විත් ලැගුම්ගේ ඉදිරිපිට හාන්සි පුටුවේ දිග ඇරුණා. සේතන් හිමින් සැරේ ඒ දෙසට යන්නට වුණා.
“ආ….. මේ අපේ සේතන් බාසුන්නැහේනේ… එමු…. එමු…. ඇතුළට” හාමුදුරුවෝ පුවක් ගෙඩියක් ලෙළි අරින්න වුණා. සේතන් ලැගුම් ගෙට ගොඩවෙන සිමෙන්ති පඩියේ වාඩි වුණා.
“සේතන් ඔය දායක සභාවේ ඇත්තෝ කියන කරන දේවල් ගණන් ගන්න එපා. ඒවා අමතක කරලා දාන්න. ඒ වගේ දේවල් අමතක කරලා දාන මිනිස්සුන්ගේ හිත සුද්දයි.”
හුණු තැවරූ බුලත් කොළයේ පුවක් කෑලි දෙකක් ඔතා එය කටතුළ රුවාගත් හාමුදුරුවෝ බුලත් වට්ටිය මත දෑස් යැව්වේ දුංකොළ කැබැල්ලක් සොයමින්.
“හැමදේම මතක තියාගන්නේ දුෂ්ඨයෝ. තමන්ට වුණු අවැඩක් මතක තියාගෙන ඉන්නේ අවස්ථාව ආපු හැටියේ පළි ගන්න. වෙන මොකට ද?”
දුම්කොළ පළුවක් කටේ ඔබාගත් හාමුදුරුවෝ විට වට්ටිය සේතන් බාසුන්නැහේ වෙත දිගු කළා.
උන් තැනින් නැගිට ගත් සේතන් එය දෝතින්ම රැගෙන නැවත සිටි තැනින් ඉදගත්තා. හාන්සි පුටුව අසල වූ පඩික්කමට බුලත් කෙළ පාරක් විද්ද හාමුදුරුවෝ හාන්සි පුටුවේ දිගා වුණා.
“සේතන් බාසුන්නැහේ ඔය මකර රූපේ ආය අඹන්න. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි. ඒකට අවශ්‍ය කළමනා මම ලෑස්ති කරන්නම්. හැබැයි…” ලැගුම්ගේ තුළින් සතෙකු දගලන ශබ්ධයක් ඇසුණු නිසා හාමුදුරුවෝ කතාව නවතා ලැගුම්ගේ තුළට යන්නට වුණා. බුලත් විටක් කටේ ඔබා ගත් සේතන් බුලත් වට්ටිය කනප්පුව මත තබා මිදුලට බැස්සා.
“මකර තොරණ හදද්දි සේතන් මකරට පණ පිහිටවලා. ඒකයි ඌ පියඹලා ගිහින් තියෙන්නේ.”
“සේතන්ගේ තාත්තා මාතර පැත්තේ කට්ටඬියෙක්. මිනී වළවල්වල දපලා මතුරන්න සේතන්ට වුණත් පුළුවන්ලු. මිනිහ ඔය මකරට පණ දෙන්න ඇති.”
“හාමුදුරුවෝ ගිය මාසෙ චීනෙට වැඩියනේ. ඒ එද්දි තමා ඔය මකරව ගෙනත් තියෙන්නේ. සේතන් කරලා තියෙන්නේ තොරණේ මකරට ඉන්න තැනක් හදපු එක විතරලු.”
“පන්සලේ මකර තොරණින් අතුරු දහන් වෙච්චි මකරා යක්දෙස්සාගල කන්දෙ ඉන්නවා කීප දෙනෙක් දැකලා තියෙනවා. ඌ මිනිස්සුන්වත් මරාගෙන කනවලු… ගිනිත් පිඹිනවලු…”
ගමට උඩින් බැඳ තිබූ උඩු වියන් සේදී යන්නට වුණේ යල කන්නයේ මහ වැස්සත් එක්ක. එක දිගට දින හතක් නොකඩවා වැහි ඇද හැලුණා. හත්වෙනි දවසේ වැව වාන් දැම්මා. ගමේ කොල්ලෝ කුරුට්ටෝ වාන් ඇල ගාවට ආවේ මාළු කොටන්න. මහ වැස්සට බෝ ගහ ලැගුම් ගේ උඩට ඉදිරිලා වැටිලා කියන ආරංචිය පැතිරුණේ ඒ එක්කමයි.

මහ වැසි නොතකමින් ජන ගඟක් පන්සල් භූමියට ගැලුවා. ඉදිරී වැටුණු බෝ ගහ ලැගුම්ගේ බිමට සමතලා කරලා දාලා තිබුණා. උපාසක අම්මලා මර ළතෝනි දුන්නා. ඉදිරී වැටුණු බෝ ගසේ අතු ගස් කපන මැෂිමක් ආධාරයෙන් ඉවත් කරමින් අතුරුදහන් වූ හාමුදුරුවන්ව සෙවීමේ මෙහෙයුම ඒ වෙනකොටත් ආරම්භවෙලා තිබුණා. බෝ ගහ සම්පූර්ණයෙන්ම ඉවත් කරලා බිත්තියකට යටවෙලා විකෘති වෙලා තිබුණු හාමුදුරුවන්ගේ දේහය සොයාගද්දී සවස් භාගය වෙලා තිබුණා. ඒ වෙද්දි සම්පූර්ණයෙන්ම වැස්ස නැවතිලා. හාත්පස පරිසරයම අන්ධකාරයෙන් පිරිලා. හාමුදුරුවන්ගේ දේහය සොයාගත් ස්ථානයට මදක් ඈතින් කඩා වැටී තිබූ තවත් බිත්තියක් ඉවත් කිරීමේ දී මකර තොරණින් අතුරුදහන් වුණු සුදු මකරා ලේ පැහැ ගැන්වී මැරී වැටී සිටියා. ඒ දසුනින් රැස්ව සිටි පිරිස් විශ්මයෙන් ඇලී ගොස් මුව අයාගෙන සිටියදී සේතන් බාසුන්නැහැ මිය ගොස් සිටි මකරාව දෝතින් වඩා ගත්තා. ඔහුගේ දෑස්වලින් කඳුළු වැගිරෙමින් තිබුණා.

ශක්තික සත්කුමාර-Shakthika Sathkumara





