දකුණු මූණේ වළක් එක්ක හිනැහෙන දුඹුරු පුරුෂ ප්‍රතිමූර්තියට හන්තාන කිවිඳියගේ හැඟුම්

දකුණු මූණේ වළක් එක්ක හිනැහෙන දුඹුරු පුරුෂ ප්‍රතිමූර්තියට හන්තාන කිවිඳියගේ හැඟුම්…

ඉතින් හදවත් දෙකක් ආදරෙන් හමුවීම තරම් ලස්සන ම දෙයක් මේ ලෝකෙ තව තියෙනව ද?

පෙරුම් පුරන් එනවා කියන දෙයක් නම් මම දන්නෑ .ඒත් දෙදෙනෙක් ආදරෙන් මුණ ගැහෙනවා කියන එක නම් ආශ්චර්යයක්. මොකද ,ඒ ඇති වෙන ආකර්ෂණය එක්ක උතුරන හිත ලෝකේ වෙන කිසිම දෙයකින් මිනිස් සිතකට ලබන්න බැරි දෙයක්.

ආදරය එක්ක ඇතිවන අනුරාගී හැඟීම තමා මිනිසුන්ට අත්විඳින්න පුළුවන් ප්‍රහර්ෂය උතුරන විනිස් හැඟීම. ලාංකික පටු අදහසින් කියනවා වගේ ඒක වල්කමක් වත් නොහොබිනා කමක් වත් නෙමෙයි.

මේ ලෝකෙට එන මිනිස්සු දෙන්නෙකුට එක්ව පෞද්ගලික ව එකිනෙකාට විවෘත වෙලා විඳින්න පුළුවන් හරිම සංකීර්ණ ආධ්‍යාත්මික බන්ධනයක් ඒක. මොකද, අපේ ජීවිත කාලයේ ප්‍රේමය එක්ක අනුරාගය තදින් බැඳෙන්නෙ මොන තරම් සුළුතර මිනිසුන් කිහිපදෙනෙකුට ද ?

ඉතින්, මිනිස්සු ඒ හැඟීමට ඉඩ දිය යුතු ය. අනෙකාට තම ආධ්‍යාත්මයේ කෙළවර ම විවෘත කර එහි සෑම අහුමුල්ලකට ම ඉඩ දෙන මොහොතවල් මිනිස් ජීවිතවල තිබිය යුතු ය.

එකිනෙකා එකිනෙකාව විඳ ගත යුතු ය.

ඒත් වචනවලින් සීමා මායිම් අනිත් ජීවිතවලට දමන පොලිසියෙ කාර්ය භාරයෙන් එකිනෙකා මිදිය යුතු ය. මොකද මේ සබඳතාවන් ගැඹුරු නම් එතන තව එකෙකුට රිංගා ගැනීමට හිඩැසක් ඇති වන්නේ නැත .එවිට අනිකාට සීමා මායිම් දැමීමක් පොරොන්දු ගැනීමක් වැනි පටු මිනිස් සාධක අවශ්‍ය වන්නේ ද නැත.

හදවත් දරුණු ව බැඳී ඇතිතාක් එකිනෙකා නොදැක, නොඅසා සිටිය නොහැකි ය .ඒත් අනෙකා දැකීමට ඇල් මැරෙන අනෙකාගේ හඬ ඇසීමට තිබූ නොඉවසිල්ල සිඳෙන දිනක් පැමිණි විට දෙදෙනාම පිළිගත යුතු යමක් ඇත.

එනම් අප නිරායාසයෙන් ම අනෙකා තම ජීවිතයේ කොටසක් ය පිළිගත්, අනෙකා තමාගේ ය පිළිගත් න්‍යාය එතෙකින් නිමා වී ඇති බව ය.

ඒ මොහොත අනෙකාට යන්න දෙන්නට කාලයයි .එවිට කාගේවත් බල කිරීමකින් තොරව මෙතෙක් බැඳී හිටි ජීවියා අත හැරීමට හැකි විය යුතු ය.

ඒත්… ඒ ජීවිතේ එක් කාර්තුවක අපේ ජීවිතය සතුටින් පුරවා තැබූ හදවතේ ඉහළ ම තැන සිටි මිනිස් ප්‍රාණියා ය.

එක් අයෙකුගේ වෙන්වීම අනෙකාට රිදුමක් වුව ද තව දුරටත් ජීවිතය නිමවනතුරුත් ඒ අනෙකා ගැන ගෞරවය රැකිය යුතු ය. නැතිනම්, ඒ තිබුණාය කියන ප්‍රේමය, ප්‍රේමයක් වන්නේ නැත.

ආදරණීය ම සබඳතා දිග හෝ කෙටි වුවද ඒවා මිනිස් ජීවිතයක එක් කාලයක් එකලු කළ අපූරුතුම බන්ධන නොවේ ද?

එතෙක් ඒ ප්‍රේම වර්ෂාව ඇද හැලිය යුතු ය.
එයින් ජීවිතය නිවී සැනසිය යුතු ය.

More From Author

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයේ වාර්තාව එළිදැක්වීම – සැප්තැම්බර් 08

මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (3 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348