දාරක ප්‍රේමයට නිර්වචන නොමැත්තේමය

අතිශය කාර්යබහුල දින ගෙවෙන බැවින්, රාජකාරියට එහා යමකට මගේ හිත යෙදුනේම නෑ. දිනපතා පුතු සමග කරන කෙටි සංවාද හැරුණු කොට ජංගමය පවා නිහඬව හිටියා.

‘අම්මා ස්ටඩි ලීව්’ කිව්වම මං දන්නවා ඉදිරියට එන දවස් කීපය කොල්ලා වුනත් අතිශය නිහඬයි. මං බලං ඉන්න බව දන්න හින්දම, පොඩි වෙලාවක ට කෝල් එකක් දීලා ආයෙම එයා එයාගේ වැඩ, මං මගේ වැඩ.

ඉතා විශාල පරාසයක පාඩම් කටයුතු ඉතිරිව ඇති බැවින් දරුවා හිටියේ ම ආතතියෙන්. කතා කරන පුංචිම වෙලාවෙත් මනස සැහැල්ලු කිරීම සඳහා විතරක්ම වචන පාවිච්චි කරන්න මමත් වග බලා ගත්තා. පුතා මගේ කල්‍යාණ මිත්‍රයා හින්දම, හිතේ එන, එදිනෙදා වෙන සංසිද්ධීන් ඒ විදියටම මං එයාට වාර්තා කලා කීවොත් නිවැරදියි. ඒ වුනාට එයාගේ හිතට බරක් වෙයි කියල හිතෙන කිසිම දෙයක් මේ දවස් වල නොකියා ඉන්න මං වග බලා ගන්නවා.

එයාගේ සෑම විශේෂ දවසකම, දළදා වහන්සේට හෝ ගැටඹේ බෝ සමිදුන්ට මල් පහන් පූජා කරලා, ඒවා වීඩියෝ ගත කරලා පුතාගේ ඇස් දෙකට පේන්න සලස්වන එක මං හැමදාකම කරනවා. ඒක එයාගේ සතුටට හේතුවක් වෙන බව දන්න හින්දම.

ඒත් මෙවර විභාගයට පෙර, එවැනි දෙයකට යාමට සැලසුමක් මගේ හිතේ තිබුනේ නෑ. විභාගය දින උදේ පාන්දරම අවදි වූ විගසම, අද ගැටඹේ ගොස් මල් පූජා කර කාර්යාලයට යා යුතූයි ඇතුලු හදවත ට හිතුනා. විගස උයාපිහා අවසන් කොට, නා පිරිසිදු වී, සුදු ඇදුමක් හැඳ, මගේ නිවසේ සිට කිලෝමීටර් දෙකක් විතර දුරින් තියෙන ගැටඹේ බෝ සමිදුන්ට වන්දනාමාන කරන්නට පිටත්ව ගියා.

ගෙදරින් රැගෙන ගිය අලුත්ම මැටි පහන් වලට පොල්තෙල්, තිර, දමා හිතේ බැතියෙන් පහන් දල්වා, මගේ දරු පැටියාගේ නැණ නුවණ මේ පහන් ආලෝකය සේම දැල් වේවා කියලා ප්‍රාර්ථනය කරගෙනම, ජංගම දුරකථනයෙන් දැල්වෙන පහන්, වීඩියෝ ගත කර ගත්තා.

එතැනම, හදුන් කූරු කීපයක් දල්වා, ගෙනා මල්, පුජා කිරීමට පෙර දෝවනය කරගෙන, පලමුව බුදු කුටියටත්, දෙවනුව බෝධියටත්, තෙවනුව චෛත්‍යයටත් පූජා කර ඒවා වීඩියෝ ගත කර ගත්තා. බෝ සමිඳු සෙවන ඇති තැනක සිට මා දන්න මට මතකයේ ඇති සියලුම ගාථා කියලා වැන්දා.

හනික ‘පික්මී’ එකක් දාගෙන ප්‍රමාද වීමට පෙර කාර්යාලය වෙත ඒමට පිටත් වුණා. ඒ එන අතරමගදී මා විසින් වීඩියෝගත කරගත් සිද්ධීන් මා පුතු වෙත වට්ස්ඇප් කර, ඔහුට සුබ පැතුවා.

සවස විභාගය අවසන්ව, බොහොම උද්යෝගයක්, හොඳින් අද පේපරයට මුහුණ දුන් බව පැවසුවා. මගේ හිතින් මං දෙවියන්ට පින් දුන්නා. හිතේ ඇතිවන භාවමය නිදහස ප්‍රීතිය සෑම අසීරු අවස්ථාවකටම මුහුණ දෙන්න ශක්තිය සපයන බව මම දැනන් ඉන්න බැවින්, දරුවාගේ හිතේ සතුට සාමය ගැන මම මහත් ඉහළින්ම උනන්දුයි.

දරුවන් වයසින් වැඩෙන විට, මව් ඇකයෙන් බැස ගියද, දෑසට නොපෙනෙන ඉසව්වක සිටියද, ඈ තම මනසින් දරුවන් සමග සරන්නීය. එය කෙසේවත් දරුවන් හුරතලයට වැඩීමක් නොවන අතර, ආදරණීය දරුවෙක් ලොවට දායාද කිරීමට මව් පාර්ශවයේ දායකත්වය වන බව මගේ හැඟීම හා අත්දැකීමයි.

කෙසේ වුවද, අම්මාවරු බුදුන් වඳින්නේත්, දෙවියන් යදින්නේත් දරුවන් වෙනුවෙනි. දරු සෙනෙහස තරම් සසරට බැඳ තබන වෙනත් වෙනත් බැඳීමක් මා දන්නේ ද නැත.
සිහිනයෙන් පවා දැනෙන දරු සිත දුක, කණගාටුව සමනය වෙනුවෙන් මවකට කල නොහැකි යමක් නැත. ඒ සිතේ ශක්තිය වැඩීම වෙනුවෙන් කල නොහැකි යමක් නොමැත.

දරු සිත සතුටින් බව දන්නා මව් සිත බබලන්නේ යම් සේද, ඈ වුවන ප්‍රභාමත්ය. සැහැල්ලු මව් සිත ලොවටම කාරුණිකය. ඈ සාඩම්බරය. මන්දස්මිතියෙන් දවස’රින්නීය.

More From Author

සාර්ථකත්වය

කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ බුහුමනට පත් වන ආචාර්ය රවිබන්දු විද්‍යාපති

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348