තිඹිරියාගම බණ්ඞාර:
“හතළිහක් පන්තියේ සිසුන්ට
සිප් කිරි පෙවූ
ගුරු තරුයි මේ
අහසෙ තැන තැන
රැයෙත් බබලන්නේ.
දැවි දැවී නොදැවුණා සේ
පාර පෙන්නන්නේ”
(අක්වැස්ස-හරිත විශ්වජිත් මනමේන්ද්‍ර)
හරිත විශ්වජිත් මනමේන්ද්‍ර මහව,අඹගස්වැව යිදුහලේ ගුරුවරයෙක්.
ඔහුගේ ඉමහත් උනන්දුව අනුව එහි රසවින්දන වැඩසටහනක් සංවිධානය කෙරුණා.සිසුන්,ගුරුවරුන්,දෙමව්පියන් ඊට සහභාගි වුණා.
එය අපූරු හැන්දෑවක්.ගල්ගමුව,බුදුරුවකන්ද ඇතුළු විදුහල් කිහිපයක නිර්මාණශීලී ගුරුවරුන්ගේ,සිසුන්ගේ දායකත්වයද මීට එක් කරගෙන තිබුණා.

හරිත මට හමුවුණේ වසර පහළොවකට පමණ පෙර මකරන්ද කවි පිටුවෙන්.එකල ඔහු සරසවි සිසුවෙක්.
මකරන්ද සාහිත්‍ය වැඩසටහන්වලට ඔහු උද්‍යෝගයෙන් සම්බන්ධවුණා.
ඔහු ගුරුවරයෙකු ලෙස තම සිසුන්ගේ රසිකත්වය සහ නිර්මාණ කුසලතා පුළුල් කිරීමට වෙහෙස ගන්නවා.
“අපි යන්න පෙර මේ ළමයි වෙනුවෙන් මොනව හරි කරන්න ඕනැ සර්”
ඒ ඔහු ළමයින් ගැන කියන දේ.
වැඩි ප්‍රසිද්ධියක් නැතත් බොහෝ ගුණාත්මක දේවල් නිහඬව සිදුවෙනවා.
එනිසා ම කටුක පරිසරවල කටුසර භෝග වන් ප්‍රතිභා අංකුර පාසල්වලින් හමු වෙනවා.
පහනින් පහන දල්වන්නා සේ හරිත ඇතුළු ගුරුවරුන් මේ ප්‍රතිභා අංකුරවලට සිසිල දෙනවා.
චක්‍රලේඛ සහ පෙළපොත්වලින් ඔබ්බට ගිය විසල් වැඩ කොටසක් කෙරෙනවා.
නිදහස් අධ්‍යාපනය අර්ථවත් කරන මෙවන් ගුරු සම්පත්වල අදහස්,දැක්ම සහ ක්‍රියාකාරකම් අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අධ්‍යයනයට ලක් විය යුතු යැයි සිතෙනවා.
මේ අය කන්නන්ගර දර්ශනය ඉදිරියට ගෙන යන ගුරුවරුන් මිස “වෘත්තීය දේශකයන්” නොවන බව ද කිව යුතුයි.

තිඹිරියාගම බණ්ඩාර-Thimbiriyagama Bandara





