වර්ණ භේද විරෝධී ව්‍යාපාරය තුළින් දකුණු අප්‍රිකාවට සමානාත්මතාව උදාකළ නෙල්සන් මැන්ඩෙලා

ලෝක ඉතිහාසයේ විසිවැනි සියවස හැඳින්විය හැක්කේ මිනිස් ඉතිහාසය තුළ කිසියම් මානව ප්‍රගතියක් අත්කර ගත් යුගයක් ලෙස ය. එම යුගය තුළ බිහි වී එම යුග පෙරළියට දායක වූ යුග පුරුෂයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ෆැසිස්ට්වාදයට, ජාතිවාදයට හා ඒකාධිපතිත්වයට එරෙහිව සටන් වැදුණු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා ය.

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය 1940 දශකය තරම් ඈතට දිවයයි. 1948 මහ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ බලයට පත් ‘අප්‍රිකානු ජාතික පක්ෂය’ විසින් ‘වර්ණභේදවාදය’ දකුණු අප්‍රිකානු රජයේ ප්‍රතිපත්තියක් ලෙස සම්මත කරගනු ලැබී ය. එය සුදු ජාතිකයන් නොවන අයට සුළු අවස්ථාවන් ලබා දුන් අතර, ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් වන අධ්‍යාපනය, ගමන් කිරීමේ නිදහස සහ ස්වයං නිර්ණ අයිතිය උදුරා ගත් කටුක ක්‍රමයක් වී ය.

මෙම මර්දනකාරී පිළිවෙතට එරෙහි මූලික බලවේගය බවට පත් ‘අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය’ 1950 දශකයේ මුල් භාගයේ සිට ඊට එරෙහිව විරෝධතා ව්‍යාපාර ආරම්භ කළේ ය. එම වර්ණභේද විරෝධී උද්⁣ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස 1952 දී පෝර්ට් එලිසබෙත් හි සහ නැගෙනහිර ලන්ඩනයේ දරුණු කැරලි කෝලාහල ඇති වූ අතර, ඔවුහු වඩාත් ප්‍රචණ්ඩ උපක්‍රම භාවිත කළහ. එහෙත්, සංවිධානාත්මකව දේපල විනාශ කිරීම 1959 පමණ වන තෙක් සිදු නොවී ය. වර්ණභේදවාදී රජය එවකට මැන්ඩෙලා සහ අනෙකුත් සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් හැඳින්වූයේ, ත්‍රස්තවාදීන් ලෙස ය.

1949 දී ‘අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ’ යෞවන ලීගය විසින් එහි මධ්‍යස්ථ නායකත්වය අභිබවා යාමෙන් පසුව එය මෙහෙයවන ලද්දේ වෝල්ටර් සිසුලු, නෙල්සන්මැන්ඩෙලා සහ ඔලිවර් ටැම්බෝ යන අය විසිනි. එම වසරේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ ජාතික විධායකයට තේරී පත් ඔලිවර් ටැම්බෝ, ඇන්ටන් ලෙම්බෙඩ්ගේ අප්‍රිකානු අදහස් මාක්ස්වාදයේ අදහස් සමඟ ඒකාබද්ධ කරන රැඩිකල් කළු ජාතිකවාදී වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටියේ ය. සුදු අධිකාරිය පෙරලා දැමිය හැක්කේ මහජන උද්ඝෝෂණ තුළින් පමණක් ය යන මතය ඔවුහු ජනතාව අතරට ගෙන ආවෝ ය.

Nelson Mandela and Oliver Tambo

මෙහි ක්‍රියාකාරී වැඩසටහන 1952 ජුනි මාසයේ සිට ‘ඩිෆියන්ස්’ ව්‍යාපාරය සමඟ දියත් කරන ලද අතර, නීති උල්ලංඝනය කිරීම නිසා රජය විසින් සිදුකරනු ලබන සමූහ අත්අඩංගුවට ගැනීම් ඔවුහු එමගින් අපේක්ෂා කළෝ ය. ඒ අනුව, රාත්‍රී 11 ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු කළු ජාතිකයන්ට පිටතට පැමිණීම තහනම් කර තිබූ ජොහැන්නස්බර්ග් හි සුදු ජාතිකයන් වාසය කරන ප්‍රදේශයක වීදි බැස සිටි මිනිසුන් 50 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙහෙයවන ලද්දේ නෙල්සන් මැන්ඩෙලා විසිනි.

එම කණ්ඩායම අත්අඩංගුවට පත් වුව ද, රටේ සෙසු අය එම ආදර්ශය අනුගමනය කරමින් සුදු ජාතික පාලකයන් පැනවූ නීති උල්ලංඝනය කළෝ ය. ඒ අනුව, රට පුරා විසිරී සිටි කළු ජාතිකයෝ ‘සුදු ජාතිකයන්ට පමණයි !’ යනුවෙන් සඳහන් ස්ථානවලට පවා ඇතුළු වී පනවා තිබූ වාර්ගික නීති උල්ලංඝනය කළ හ.

1952 සැප්තැම්බරයේ දී විවිධ නීති 24 ක් උල්ලංඝනය කිරීම හේතුවෙන් එරට විවිධ නගර 24 කින් 2500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි. දිනෙන්-දින වැඩිවන කැරැලි, වැඩ වර්ජන ආදියට සහභාගීවන්නන්ට එල්ලවූ දැඩි දඬුවම් හේතුවෙන් මාස පහකට පසු අප්‍රිකානු සහ ඉන්දියානු කොන්ග්‍රසයන් මෙම උද්ඝෝෂණ අත්හිටුවීමට තීරණය කළේ ය. මෙම උද්ඝෝෂණ අතරතුර කළු සහ ඉන්දියානු ජනයා 8,000 කට ආසන්න ප්‍රමාණයක් රඳවා ගෙන තිබුණි. කෙසේ වෙතත්, ඒ අතර ‘අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ’ සාමාජිකත්වය 7,000 සිට 100,000දක්වා වර්ධනය වූ අතර, උද්ඝෝෂණ ආරම්භයේ දී 14 ක් වූ එහි උප කොට්ඨාස ගණන අවසානයේ 87 දක්වා ඉහළ ගියේ ය. නායකත්වයේ වෙනසක් ද සිදුකරමින් උද්ඝෝෂණ අවසන් වීමට ටික කලකට පෙර ඇල්බට් ලුතුලි අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ ‘නව සභාපතිවරයා’ ලෙස තේරී පත් වී ය.

Albert Luthuli

එම උද්ඝෝෂණ ව්‍යාපාරය වර්ණභේදවාදී නීති තාවකාලිකව ලිහිල් කිරීමට රජයට දැඩි බලපෑමක් එල්ල කළේ ය. එහෙත්, තත්ත්වය සන්සුන් වූ පසු, සුදු ජාතික රජය ඊට ප්‍රතිචාර දැක්වූවේ තවත් යකඩ හස්තයකිනි. අලුතින් ගෙනා එම දැඩි මර්දනකාරී ක්‍රියාමාර්ග අතර, නීති විරෝධී සංවිධාන පනත, කොමියුනිස්ට්වාදය මර්දනය කිරීමේ පනත, මහජන ආරක්ෂාව පිළිබඳ පනත සහ අපරාධ නඩු විධාන පනත ඇතුළත් වී ය. අපරාධ නීති සංශෝධන පනතේ අංක 8 යටතේ සඳහන් වූයේ, ‘ඕනෑ ම පුද්ගලයකු වෙනත් ඕනෑ ම පුද්ගලයකුට යම් ආකාරයකින් උපදෙස්, ධෛර්ය දීම්, උසිගැන්වීම්, විධාන දීම්, ආධාර හෝ ප්‍රසම්පාදන සැපයීම්, නීතියට විරෝධය දැක්වීම් දඬුවම් ලැබිය හැකි වරදකට වැරදිකරු වනු ඇත.’ යනුවෙනි.

1952 දෙසැම්බරයේ දී, නෙල්සන් මැන්ඩෙලා, වෝල්ටර් සිසුලු සහ තවත් 18 දෙනෙකුට කොමියුනිස්ට්වාදය මර්දනය කිරීමේ පනත යටතේ නඩු විභාගයට නායකත්වය දීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබී ය. ඔවුන්ට එහි දී වසර දෙකකට අත්හිටුවන ලද මාස නවයක සිර දඬුවමක් නියම වී ය.

අසාධාරණ යැයි සැලකෙන නීති සහ පාරිසරික රෙගුලාසිවලට කළු ජාතික ගොවීන් තුළ ඇති වූ කෝපය හේතුවෙන් පළමුව එරට උක් වගාව ඉලක්ක කරගත් සටන් මාලාවක් ඇති වී ය. ඒ අතර, 1959 සිට 1960 දක්වා කාලය තුළ ‘දකුණු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂය’ සහ ‘පෑන් අප්‍රිකානු කොන්ග්‍රසය’ යන සංවිධාන දෙක වැඩවර්ජන හා ශිෂ්‍ය වැඩවර්ජන සංවිධානය කිරීමට දැඩි උනන්දුවකින් කටයුතු කළේ ය. වර්ණභේද විරෝධී ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හැඳින්වෙන 1960 මාර්තු 21 එල්ල වූ ‘ෂාප්විල්’ සංහාරයෙන් පසුව එම සංවිධාන දෙක ඇතුළු සමහර වර්ණභේද විරෝධී ව්‍යාපාර සාමකාමී සහයෝගීතාවේ සිට සන්නද්ධ ප්‍රහාර දක්වා වූ උපක්‍රමවලට මාරුවීමට පටන් ගත්තේ ය.

කළු ජාතිකයන් අතර විරැකියාව වර්ධනය වීමත්, දකුණු අප්‍රිකානු දේශසීමා යුද්ධයේ අපකීර්තියත් නිසා මහා වැඩ වර්ජන සහ ශිෂ්‍ය උද්⁣ඝෝෂණ 1970 දශකය දක්වා දිගට ම පැවතිණි . 1976 සිදු වූ ‘සොවෙටෝ’ නැගිටීම කුරිරු ලෙස මර්දනය කිරීමත් සමග තවත් රැඩිකල් පිරිස් එම සංවිධානයට බැඳීම නිසා එහි ගරිල්ලා බලකායේ ශක්තිය බෙහෙවින් ඉහළ ගියේ ය. 1976 සිට 1987 දක්වා කාලය තුළ එම බලකාය රාජ්‍ය ආයතන, ප්‍රවාහන මාර්ග, විදුලි බලාගාර සහ වෙනත් සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සාර්ථක බෝම්බ ප්‍රහාර මාලාවක් දියත් කළේ ය.

1983 පැවති ජනමත විචාරණයෙන් පසුව වර්ණභේදවාදී ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ‘අප්‍රිකානු ජාතික පක්ෂය’ උත්සාහයන් කිහිපයක් ම ගන්නා බව පෙන්වී ය. ඒ අනුව ඔවුන් ත්‍රෛපාක්ෂික පාර්ලිමේන්තුවක් හඳුන්වා දෙමින් කොලරොඩ්ස් සහ ඉන්දියානුවන්ගේ පාර්ලිමේන්තු නියෝජනය සඳහා අවස්ථාව ලබා දුන්න ද, කළු දකුණු අප්‍රිකානුවන්ට දේශපාලන අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම දිගට ම කරගෙන ගියේ ය. 1986 දී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද, සිය දේශපාලන විරුද්ධවාදීන් දහස් ගණනක් නඩු විභාගයකින් තොරව රඳවා ගැනීමට ද ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කළේ ය.

ඊට එරෙහි අරගලය ආරම්භ වූයේ, දකුණු අප්‍රිකානු සමාජයේ ස්වාධීන අංශ කිහිපයකිනි. එය සමාජ ව්‍යාපාරවල සිට ගරිල්ලා යුද්ධයක් දක්වා වූ ස්වරූපයන් ගත්තේ ය. වර්ණභේදවාදය අවසන් කිරීම සඳහා පළමුවරට රහසිගත ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූයේ 1987 දී පමණ ය. ඒ, ජාතික පක්ෂයට එල්ල වූ බාහිර බලපෑම් සහ දේශපාලන නොසන්සුන්තාවන් වැඩි වීමත් සමඟ ය.

එහෙත්, එරට වර්ණභේදවාදය 1990 දී බරපතල ලෙස වර්ධනය වූ අතර, 1994 දී පැවති පළමු බහු වාර්ගික මැතිවරණයෙන් පසු වර්ණභේදවාදය අවසන් කිරීමේ සාකච්ඡා නැවත ඇරඹිණි. දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කිරීමත්, විවිධ ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ පාලක ජාතික පක්ෂ රජයට එරෙහිව එල්ල වූ මහජන ක්‍රියාමාර්ගත් එම සාකච්ඡා ආරම්භ වීම සඳහා බෙහෙවින් ඉවහල් වී ය.

‘අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ’ ප්‍රමුඛ පෙළේ
ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ගෝවන් එම්බෙකි සහ වෝල්ටර් සිසුළු 1987 -1989 දක්වා කාලය තුළ සිරෙන් නිදහස් වූ හ. ‘අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය’ සහ ‘පෑන් අප්‍රිකානු කොන්ග්‍රසය’ ජනාධිපති එෆ්. ඩබ්ලිව්. ඩී. ක්ලාර්ක් විසින් තහනම් සංවිධාන ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නෙල්සන් මැන්ඩෙලා සිරෙන් නිදහස් කළේ ය. ඒ අනුව, වර්ණභේද විරෝධීන් ද දකුණු අප්‍රිකානු ආරක්ෂක හමුදාව සමඟ විධිමත් සටන් විරාමයකට එළඹියේ ය. වර්ණභේදවාදී නීති 1991 ජුනි 17 වන දින අහෝසි කරන ලද අතර, 1994 අප්‍රේල් මාසයේ පැවති පළමු බහු වාර්ගික මහ මැතිවරණය තෙක් බහුපාර්ශ්වික සාකච්ඡා දියත් වී ය.

දශක හයකට අධික කාලයක් පැවති මිලියන ගණනකගේ ජීවිත හා දේපල බිලිගත් දකුණු අප්‍රිකානු වර්ණභේදවාදය අවසන් කර මේ වනවිට දසක 03කට අධික කාලයක් ගත වී තිබේ. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ‘ජාතියේ පියා’ – Nations Father ලෙස ගෞරවාදරයට පත් දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් කරන ලද කාර්යභාරය සුළුපටු නොවේ.

වර්ණභේදවාදී රජය විසින් 1963 දී අත්අඩංගුවට ගන්නා ලද මැන්ඩෙලා වසර 27 ක් සිරගතව සිටි අතර, එම කාලය ඔහු වැඩි වශයෙන් ගත කළේ රොබන් දූපතේ ය. මෙම කාලය තුළ ඔහු වර්ණභේද විරෝධී ව්‍යාපාරයේ ජාත්‍යන්තර සංකේතයක් බවට පත්ව සිටියේ ය. වර්ණභේදවාදී රජයට එරෙහිව ලොව පුරා විරෝධතා සහ සම්බාධක පැනවීම් නිසා මැන්ඩෙලාට සහ වර්ණභේද විරෝධී ව්‍යාපාරයට ජාත්‍යන්තර සහයෝගය ලබාගත හැකි වී ය.

වර්ණභේදවාදී රජයට එරෙහි අරගලය සාර්ථක වූයේ දේශීය හා විදේශීය බලපෑම් හේතුවෙන් පාලන තන්ත්‍රය අවසන් කිරීමට බල කෙරුණු බැවිනි. 1990 පෙබරවාරි 11 වන දින එවකට දකුණු අප්‍රිකාවේ ජනාධිපතිව සිටි එෆ්.ඩබ්ලිව් ඩි ක්ලර්ක් නෙල්සන් මැන්ඩෙලා සිරෙන් නිදහස් කළේ ය. වර්ණභේදවාදී නීති අහෝසි කිරීම, සිවිල් අයිතිවාසිකම් විරෝධතාකරුවන් නිදහස් කිරීම සහ දේශපාලන පක්ෂ තහනම් ඉවත් කිරීම මගින් වර්ණභේදවාදය අවසන් කිරීමට ඔවුහු එක්ව කටයුතු කළෝ ය.

1994 අප්‍රියෙල් 27 දකුණු අප්‍රිකාවේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවැත්වූ ඓතිහාසික දිනයක් වූ අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතිය කුමක් වුවත්, ඒ සෑම කෙනෙකුට ම එදින ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙනු ලැබී ය. ‘අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය’ මැතිවරණය ජයග්‍රහණය කළ අතර, එහි නායකයා සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා වූයේ නෙල්සන් මැන්ඩෙලා ය.

දකුණු අප්‍රිකාව දැන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටකි. මැන්ඩෙලා සිවිල් යුද්ධයක් වැළැක්වීමට උදව් කළ අතර, පුද්ගලයෙකුගේ සමේ පැහැය නිසා කිසිවකු වෙනස් කොට සැලකීමකට ලක් නොවන බවට ඔහු සහතික වී ය.

එතැන් සිට අද දක්වා දකුණු අප්‍රිකාවේ සියලු ම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සියල්ල මානව හිමිකම් මත පදනම් වූ නව දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව මගින් ආරක්ෂා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරක ම ජූලි 18 වන දින ‘නෙල්සන් මැන්ඩෙලා දිනය’ ලෙස ප්‍රකාශයට පත් කරන්නේ ‘ජාතියේ පියා’ ලෙස සැලකෙන ඒ අසහාය දකුණු අප්‍රිකානු නායකයාට ගරු කිරීමක් වශයෙනි.

More From Author

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස)

“බෙංගාලි සිනමා ඉතිහාසයේ මීට වඩා හොඳ දවසක් නොතිබුණි”

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348