ගල්ෆ් කලාපයේ යුද්ධය හේතුවෙන් ගෝලීය දේශපාලනය තුළ තීවෘ ආතතියක් නිර්මාණය වෙමින් ඇත. එය ගෝලීය ආර්ථිකයට ද අතිශය බලපෑම් සහගත ය. මේ ආතතික තත්ත්වය ආර්ථිකමය වශයෙන් පමණක් නොව යුධමය වශයෙන් ද ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලකිරීමේ පැහැදිලි විභවතාවයක් පවතී. ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුත්තේ කුමන පියවරක් ද? යුද්ධයක පාර්ශවකාරී නොවීම හා අන්තර්ජාතික නිෂ්ක්‍රියභාවය යනු කුමක් ද? ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ස්විට්සර්ලන්තය විය යුත්තේ ඇයි? මේ කෙටි විමසාබැලීම ඒ පිළිබඳවයි.
*ස්විට්සර්ලන්තයේ නිෂ්ක්‍රියත්වය හා යුරෝපයේ යුධමුක්ත රාජ්‍යයක් වීම

ප්‍රංශයේ නැපොලියානු අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් අනතුරුව 1815 මාර්තු 20 වන දින වියානා සම්මේලනයේදී යුරෝපීය බලවතුන් (ඔස්ට්‍රියාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, පෘතුගාලය, ප්‍රෂියාව, රුසියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය) ස්ථිරවම ස්වාධීන, මධ්‍යස්ථ ස්විට්සර්ලන්තයක් පිළිගැනීමට එකඟ වූ අතර මැයි 27 වන දින ස්විට්සර්ලන්තය මෙම ප්‍රකාශයට එකඟ විය. 1815 නොවැම්බර් 20 දිනැති වියානා ප්‍රකාශනයේ 84 වන වගන්තියට අනුව, ප්‍රධාන සන්ධාන බලවතුන් හතර වන ඔස්ට්‍රියාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රෂියාව, රුසියාව සමඟ ප්‍රංශය ස්විට්සර්ලන්තයේ සදාකාලික මධ්‍යස්ථභාවය විධිමත් ලෙස පිළිගන්නා ලදී.
මෙමඟින් ස්විට්සර්ලන්ත සමූහාණ්ඩුව කිසිඳු විදේශිය යුද්ධයකට සහභාගී නොවීමට මෙන්ම ස්විට්සර්ලන්ත භූමිය යුධ කටයුතු සඳහා භාවිතා නොකිරීමට යුරෝපා බලවතුන් එකඟ විය. ඒ අනුව පළමු ලෝක යුද්ධයේදී සහ දෙවන ලෝක යුද්ධයේ දී ස්විට්සර්ලන්ත භූමිය නිෂ්ක්‍රිය භූමියක් ලෙස පැවැති අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු 1949 ජිනීවා සම්මුතීන් නිර්මාණය කිරීමට ද ස්විට්සර්ලන්තය මූලික විය. මෙම නිෂ්ක්‍රියභාවය තුළ ස්විට්සර්ලන්තය හමුදාමය නිෂ්ක්‍රීයත්වයක් අර්ථනය නොකරයි. අදටත් යුරෝපයේ නවීනතම හමුදාවක් ස්විට්සර්ලන්තය සතුව පවතී. ඒ ස්විට්සර්ලන්තයේ දේශභූමික ආරක්ෂාව වෙනුවෙනි. කෙසේවෙතතත් ස්විට්සර්ලන්තයේ දේශපාලනික නිෂ්ක්‍රීයත්වය හේතුවෙන් අදවනතුරු එහි දේශභූමික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් එල්ල වී නොමැත. එමෙන්ම කිසිඳූ අවස්ථාවකදී ස්විට්සර්ලන්තය විසින් තවත් රාජ්‍යයක ස්වාධිපත්‍යයට හානි වන අයුරින් කටයුතු කර නොමැත.
*නිෂ්ක්‍රීය රාජ්‍යයක අන්තර්ජාතික බැඳීම් හා අයිතීන් මොනවාද?
යුධ තත්ත්වයක් තුළ නිෂ්ක්‍රීය රාජ්‍යයක් සඳහා වන මූලික අන්තර්ජාතික බැඳීම් හා අයිතීන් විග්‍රහ කරනු ලබන්නේ 1907 V වන හේග් සාම සම්මුතිය (The Hague Convention (V), respecting the Rights and Duties of Neutral Powers and Persons in Case of War on Land) හා XIII වන හේග් සාම සම්මුතිය (The Hague Convention (XIII) concerning the Rights and Duties of Neutral Powers in Naval War) තුළය. මෙම හේග් සාම සම්මුතින් ද්විත්වය අනුව කිසිඳු රාජ්‍යයකට නිෂ්ක්‍රීය රාජ්‍යයක භෞමික හෝ නාවුක සීමාව යුධමය අවශ්‍යතා සඳහා උල්ලංඝනය කළ නොහැක. එමෙන්ම නිෂ්ක්‍රීය රාජ්‍යයක භූමි සීමාව හෝ නාවුක සීමාව මතින් කිසිඳු රාජ්‍යයකට යුධ ආයුධ රැගෙනයාම හෝ සේනා මෙහෙයවිය නොහැක. එමෙන්ම නිෂ්ක්‍රිය රාජ්‍යය ද සිය භූමි සීමාව තුළ යුධකටයුතු සඳහා අවශ්‍ය අවසරය ලබානොදිය යුතුය. තවද 1949 සිව්-නිවුන් ජිනීවා සම්මුතීන් හරහා ද යුද්ධයකදී මානුෂීයත්වය ආරක්ෂා කිරීමේ වගකීම් රැසක් නිෂ්ක්‍රීය රාජ්‍යයන් වෙත පැවරී ඇත.

*ශ්‍රී ලංකාව ඉන්දීය සාගරය තුළ නිෂ්ක්‍රියත්වය රැකගැනීම වැදගත් වන්නේ ඇයි?
මීළඟ මහා යුද්ධය ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව පැනනැගීමේ හැකියාව ඉතා ඉහළය. මධ්‍යම ආසියාවේ හෝ නැගනිහිර ආසියාවේ කොතැනක හෝ යුධ ගැටුමක් ආරම්භ වුවහොත් එය ප්‍රතියුක්ත යුද්ධයක් බවට පරිවර්තනය වීමේ අනිවාර්යතාවයක් පවතින තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව වැනි භූමියක් යුධමය වාසි වෙනුවෙන් භාවිතා කිරීම ඉතා පහසුය.
චීනය අද වන විට නැගනහිර චීන මුහුද, පිලිපීන මුහුද හා දකුණූ චීන මුහුදේ තම භූ දේශපාලනික අරමුණු වෙනුවෙන් සක්‍රියව කටයුතු කරයි. ඊට අමතරව ‘එක් මාවතක් එක් තීරයක් (Belt and Road Initiative) වැඩසටහන හරහා පකිස්ථානයේ ගේධාර් වරාය, මියන්මාරයේ ක්‍යුක්ප්‍යූ වරාය හා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති දැනටමත් චීනය විසින් සිදු කර ඇත. ඊට අමතරව චීනයේ පළමු විදේශිය යුධ නාවික විධානය 2016 වසරේ දී ඉන්දීය සාගරයට මුහුණ ලා (ඩි)ජිබෝටි හි පිහිටුන ලදී. මේ සියල්ල අද වනවිට ඉන්දීය සාගර කලාපයේ චීනය සහ අනෙක් ලෝක බලවතුන් අතර පවතින දේශපාලන හා ආර්ථික ආතතිය වර්ධනය කිරීමට සමත් වී ඇත.
ඉන්දියාව ද අනෙක් පසින් චීනයට එරෙහිව ඉන්දීය සාගරයේ සිය ආධිපත්‍යය පැතිරවීමට කටයුතු කරමින් සිටී. ඒ අනුව ඉන්දියාව විසින් බෙංගාල බොක්ක හා නැගනහිර ඉන්දීය සාගර කලාපය සිය නැගනහිර නාවුක විධානය මඟින් ආවරණය කරන අතර, බටහිර නාවුක විධානය මඟින් අරාබි මුහුද මෙන්ම ඒඩ්න් හා ඕමාන් බොක්ක දක්වා ආවරණය කරයි. දක්ෂිණ නාවුක විධානය හරහා ලංකාවට අයත් මුහුදු සීමාව ද ඇතුළුව ඉන්දීය සාගරයේ දකුණු දිසාව අවරණය කරනු ලබයි. මේ අනුව ඉන්දීය නාවුක ආධිපත්‍යය නිරන්තරයේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමාව හා එහි සම්පත් වෙත ද දැඩි අභියෝගයක් එල්ල කරමින් පවතී.
චීනයත්, ඉන්දියාවත් පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය ද ඉන්දීය සාගරයේ යුද්ධයකට ඕනෑම මොහාතක සූදානම්ව සිටී. ඉන්දීය සාගරයේ ඇමරිකානු යුධ ආධිපත්‍යය සලකුණූ කරන්නේ දියාගෝ ග්‍රාෂියාව යි. වර්ෂ 1970 සිටි ඇමරිකා එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ නාවුක හමුදා මධ්‍යස්ථානයක් ලෙස ඉන්දීය සාගරයේ මධ්‍යයේ පිහිටි දියාගෝ ග්‍රාෂියා දූපත් භාවිතා කරයි.

ඇමරිකානු ඉන්දු පැසිෆික් යුධ විධානයෙහි හත්වන නාවුක බලඇණියට අයත් ප්‍රධාන නාවුක මධ්‍යස්ථානයක් ලෙස දියාගෝ ග්‍රාෂියා හඳුනාගත හැක. ඒ අනුව ඉන්දීය සාගරය, බටහිර පැසිෆික් කලාපය සහ දකුණු චීන මුහුද ආශ්‍රිතව පවතින දේශපාලනික ආතතික තත්ත්වයන් සඳහා ඕනෑම මොහොතක යුධමය මැදිහත්වීමේ හැකියාව ඇතිව දියාගෝ ග්‍රාෂියාව ඇමරිකාව විසින් භාවිතා කරයි. යම් හෙයකින් අරාබි මුහුද හෝ රතු මුහුද හෝ ගල්ෆ් කලාපය අවහිර වීමක් සිදුවුවහොත් සිය නාවූක සහ වෙළඳ කටයුතු දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව ඔස්සේ ඉන්දියානු සාගරය හරහා සිදුකිරීමට ඇමරිකාවට සිදුවන බැවින් දියාගෝ ග්‍රාෂියා නාවුක මධ්‍යස්ථානයේ ආරක්ෂාව අතිශයින්ම වැදගත් වේ. එමෙන්ම අරාබි මුහුද හෝ ගල්ෆ් කලාපයේ ඕනෑම හදිසි තත්ත්වයකදී අතිරේක නාවුක සහය ලබාගතහැකි ඍජු සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ද දියාගෝ ග්‍රාෂියාව හඳුනාගත හැක. දියාගෝ ග්‍රාෂියා කඳවුර ඇමෙරිකාවට මෙතරම් වැදගත් වීමේ අනෙක් අර්ථය වන්නේ ඕනෑම අවස්ථාවකදී ඇමරිකාවේ සතුරු රාජ්‍යයකට දියාගෝ ග්‍රාෂියාව පැහැදිලි ඉලක්කයක් වන බවයි. දියාගෝ ග්‍රාෂියාව පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවට කි/මී 1925ක් නිරතදිගට වන්නට ය. ඒ ශ්‍රී ලංකාවට දකුණින් ඇන්ටාටිකාව දක්වා කිසිදු භූමියක් නොපවතින තත්ත්වයක් තුළය.
මේ අනුව ඉන්දීය සාගරයේ නාවික මාර්ගවල මධ්‍යස්ථානයක් ලෙස පිහිටීම ශ්‍රී ලංකාව යුධමය හා ආර්ථීක මර්මස්ථානයක් බවට පරිවර්තනය කරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ භූ-දේශපාලනික අභිලාෂයන් (geostrategic ambitions) ක්‍රියාත්මක කිරීමේ තෝතැන්නක් වීමේ ඉඩකඩ ඉහළ ය. ශ්‍රී ලංකාව ගෝලීය බලවතෙකු නොවේ. එබැවින් මෙහිදී ශ්‍රී ලංකාව අනුගමනය කළ යුත්තේ උපක්‍රමශීලී නිවැරදි භූ දේශපාලන භාවිතාවකි. එනම් ඉන්දීය සාගරය තුල නිෂ්ක්‍රියත්වය ආරක්ෂා කරගැනීමයි.
*ශ්‍රී ලංකාව නොබැඳී රාජ්‍යයක් ලෙස සිටීම පමණක් ප්‍රමාණවත් ද?
ද්වී ධ්‍රැවීය ලෝකයක් හමුවේ නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමේ අරමුණින් ගෝලීය දකුණේ රාජ්‍යයන් 1955 දී ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවරදී ඇතිකරගත් එකඟතාවයකට අනුව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ පිහිටුවන ලදී.

City in Indonesia
ශ්‍රී ලංකාව ද එහි ආරම්භක සාමාජිකයකු වූ අතර අවස්ථා කිහිපයකදී සභාපතිත්වය ද හිමිවිය. සෝවියට් දේශයේ බිඳවැටීමෙන් අනතුරුව ගෝලීය දේශපාලනයේ ද්වි ධ්‍රැවීයතාවය අහෝසි වීමත් සමඟ නොබැඳි ජාතින්ගේ සම්මේලනේ වැදගත්කම ද ක්ෂය විය. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම සම්මේලනයේ රාජ්‍යයන් පවා විවිධ ලෝක බලවතුන් පාර්ශවකාරී වන සංධානයන්හි සාමාජිකයන් වී ඇත.
ශ්‍රී ලංකාව යනු ස්ථිර එමෙන්ම නිශ්චිත විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කරන රාජ්‍යයක් නොවේ. වරෙක ඇමරිකානු හා බටහිර පක්ෂපාතී ස්ථාවරයක් ද, වරෙක ඉන්දියානු පක්ෂපාතිත්වයක් ද, තවත් වරෙක චීන සහයෝගීතාවයක්ද පෙන්නුම්කරමින් ශ්‍රී ලංකාව විදේශ සබඳතාවන්ගේ බහුවිධතාවයක් නිරූපණය කරයි. එවැනි තත්ත්වයක් තුළ ලෝක බලවතුන්ගේ බලපොරයක පොර පිටියක් බවට පරිවර්තනය වීමේ පහසු විභයක් ශ්‍රී ලංකාවට ඇත. මේ තත්ත්වය අතිශයින් භයානකය.
*ගෝලීය බලගැටුමේ පොරපිටියක් වීමට මත්තෙන් ශ්‍රී ලංකාව සිදුකළ යුත්තේ කුමක් ද?
ශ්‍රී ලංකාවේ භූමිය මෙන් හය හත් ගුණයක් විශාල සාගර කලාපයක් හා ගගන කලාපයක් ශ්‍රී ලංකාවට පවතී. මෙම කලාපය කිසිඳු යුධමය භාවිතාවක් සඳහා විවෘත නොකිරීමට ශ්‍රී ලංකාවට හැකි නම් එය ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට පමණක් නොව ගෝලීය සාමයට ද අතිශය වැදගත් වේ. මන්දයත් ශ්‍රී ලංකාව එවැනි ස්ථාවරයක් ගතහොත් එය සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේ සැපයූ ආකාරයේ ගෝලීය ආදර්ශයක් වනු ඇත. එසේනම් කළයුත්තේ කුමක්ද? ශ්‍රී ලංකා සාගර කලාපය, ගගන කලාපය හා භෞමික කලාපය ජාත්‍යන්තරව යුධකටයුතු සඳහා භාවිතා කිරීම වළකාලමින් ශ්‍රී ලංකාවේ නිෂ්ක්‍රීයභාවය අන්තර්ජාතිකව ප්‍රකාශයට පත්කිරීමයි. එසේ සිදුකිරීම ශ්‍රී ලංකාවට කිසිඳූ ආර්ථික බලපෑමක් ඇති කරන්නේ නැත. ඒ සඳහා නිශ්චිත ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් මෙහයවිය යුතුය. මෙය දීර්ඝකාලීන දේශභුමික මෙන්ම ගෝලීය ආරක්ෂාවක් සඳහා අනිවාර්යයයෙන් ගත යුතු පියවරක් බව නිශ්චිතවම අවබෝධ කරගත යුතුය.

සටහන: කුසල් අමරසිංහ-Kusal Amarasinghe





