ඉෂංඛා සිංහආරච්චි:
`නෙල්ලෙයි නඩේසන්`නොහොත් අයියාතුරෙයි නඩේසන් මරා දමා 21 ක් වසරකි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පැවතිය දී මරා දැමුණු පළමූ මාධ්‍යවේදියා ලෙස සැලකෙන්නේ නඩේසන් ය.
ගෙවීගිය වසර ගණනාවට නඩේසන් ඝාතනය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් පවත්වා නොමැත.මෙම ඝාතනය සම්බන්ධයෙන් දෙස් – විදෙස් මාධ්‍ය මෙන්ම මානව හිමිකම් සංවිධානයන්ගේ ඇඟිල්ල දික් වුයේ කොටි සංවිධානයෙන් බිඳුණු කරුණා අම්මාන් පාර්ශවටය. දැනට අත්අඩංගුවේ පසුවන සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර හිටපු මහ ඇමතිවරයා ද මුලින් කරුණා අම්මාන් යටතේ සිටී ඔහුගේ සමිපතම සගයා ය.
නඩේසන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටීමට මඩකළපුව ජනමාධ්‍යවේදීන් ගේ සංගමය අපේක්ෂාවෙන් සිටින බව එහි ප්‍රධානියෙකු වූ ශෂිදරන් පුන්‍යමුර්ති ප්‍රකාශ කරයි.

වාර්ෂික සමරුමකින් ඔබ්බට ගොස් විධිමත් පරීක්ෂණයක් මගින් නඩේසන් නම් සිය මාධ්‍ය සගයා වෙත යුක්තිය ඉටු කිරීම කඩිනම් කළ යුතු බවට ද ඔහු අවධාරණය කර ඇත. එමෙන්ම නඩේසන්ගේ ඥාති පුත්‍රයෙකු වන නීතිඥ සුගාෂ් කනගරත්නම් ද සිය මාමණ්ඩිය මරා දැමීම ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටීමට අපේක්‍ෂා කරයි.
‘පසුගිය රාජපක්ෂ පාලන සමයේදී නොලැබුණු යුක්තිය, රනිල් පාලන සමයේදී නොලැබුණු යුක්තිය සහ මෛත්‍රී පාලන සමයේදී නොලැබුණු යුක්තිය අවම වශයෙන් අනුර කුමාර පාලන සමයේදීවත් ලැබෙයි කියලා ජනතාවට හිතෙනවා.“
මෙවර මඩකලපුවේ පැවති සමරුවට එක්වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් ද විශ්වාසය පළ කළේය.
ජවිපෙ -ශ්‍රීලනිප හවුල
ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය එක්ව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම ඔස්සේ 2004 වසර ආරම්භ වන්නේ නව දේශපාලන පෙරමුණකට පසුබිම සකසමින්ය. දෙමළ විමුක්ති කොටි සංවිධානය හා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සමඟ එළඹී සටන් විරාම ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන යම් අවිනිශ්චිත තත්වයක් පැවති සමයකි. එමෙන්ම සටන් විරාම පසුබිම හමුවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් කොටි සංවිධානය දෙකඩ කිරීමේ සියුම් සැලසුමේ යම් සාර්ථකත්වයක් ලබා තිබිණි. නැගෙනහිර පළාත් කොටි නායක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තම සංවිධානයෙන් බිඳී විත් රජයේ හමුදා අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන්නේ මෙකි සැලසුමේ කොටසක් ලෙසිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස 2004 ජනවාරි 20 වැනිදා එලි දුටු ජවිපෙ -ශ්‍රීලනිප හවුල තව දුරටත් පුළුල් වෙමින්, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රීලංකා මහජන පක්‍ෂය, දේශවිමුක්ති ජනතා පක්‍ෂය,ශ්‍රිලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, ජාතික කොංග්‍රසය, අසාද් සාලිගේ මුස්ලිම් ජාතික සමගි සන්ධානය ද ඊට එක්වුහ. පැවති සටන් විරාම හා සාම ක්‍රියාවලියට සෘජු විරෝධය දැක්වූ මේ සියලු පක්‍ෂ එක්ව බුලත් කොලය යටතේ 2004 අප්‍රියෙල් එළඹී පාර්ලිමේන්තු මැතිවරණය ජය ගෙන ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ඩග්ලස් දේවානන්දගේ ඊළාම් මහජන ප්‍රජාත්න්තරවාදී පක්‍ෂය, රවුෆ් හකීම්ගේ ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය හා ආරුමුගම් තොන්ඩමාන්ගේ ලංකා වතු කම්කරු කොංග්‍රසය හවුල් විණි.
මඩකළපුව අනාදිමත් කලක පටන් ගැටුම් රැසක් වාර්තා වුනු ප්‍රදේශයකි. බොහෝ ගැටුම් සැලසුම් සහගතව නිර්මාණය කළ ඒවාය. සිංහල ජනපදකරණය මුලින් ඇරඹෙන්නේ මඩකළපුව ප්‍රදේශය පදනම් කරගෙනය. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ඉන්පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරය හරහා ප්‍රදේශයේ පැවති ජන සංයුතිය වෙනස් කෙරිණි. ප්‍රදේශයේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනයා අතර ගැටුම් සමුහ ඝාතන රැසක් දක්වා වර්ධනය කරන්නට පැවති සෑම පාලනයක්ම කටයුතු කෙරිණි. එමෙන්ම රජයේ හමුදා අනුග්‍රහය ලැබූ අතුරු හමුදා කණ්ඩායම් රැසක් මඩකලපුවේ සහ ඒ අවට ක්‍රියාත්මක විණි.
මඩකලපු භිෂණය
`ප්ලොට් මෝහන්` යටතේ ක්‍රියාත්මක වූ අතුරු හමුදා කණ්ඩායමෙන් එල්ලවූ මරණීය තර්ජනය හමුවේ මඩකළපුව `වීරකේසරී` වාර්තාකරු වූ නිත්‍ය්යා සිය දිවි බේරා ගැනීම වෙනුවෙන් විදේශ ගත විය. ඔහු වෙනුවට පත්වූ කුමාරගුරු ට මාධ්‍ය කටයුතු කරන්නට හැකි වුයේ කෙටි කළකි. රජයේ ආරක්ෂක හමුදා වෙතින් එල්ලවූ තර්ජන හේතුවෙන් විදේශ ගත වුයේ මාධ්‍ය වෘත්තීය හැර දමාය. ඔහුගෙන් හිස්වූ `වීරකේසරී` වාර්තාකරු ලෙස පැමිණියේ යාපනේ නෙල්ලිඅඩි උපන් අයියාතුරේ නඩේසන් ය. යාපන සරසවියේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙකු වූ ඔහු වෘත්තියෙන් පාසැල් ගුරුවරයෙක් වූ අතර පසුව ආදායම් බදූ නිලධාරියෙකි. මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් යටතේ පැවති උතුරු – නැගෙනහිර පළාත් සභාවේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද ඔහු කලක් සේවය කළේය.

ඒ පාසැල් ගුරුවරයෙකු ලෙස කඳුකරයේ සේවය කරමින් සිටියදී ඔහුගේ සරසවි මිතුරෙකු වූ පළාත් සභාවේ සභානායකවරයාගේ ඇරයුමටය. පසුව ජනාධිපති ආර්.ප්‍රේමදාසගේ ආණ්ඩුව විසින් උතුරු -නැගෙනහිර පළාත් සභාව විසුරුවාහැරිම නිසා යළිත් කඳුකරයේ පාසැල් සේවයට වාර්තා කළේය. එහෙත් කෙටි කලකින් යළිත් මඩකළපුවට ආවේ ආදායම් බදූ නිලධාරියෙක් ලෙසය.
යාපනේදී කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලනයට නැඹුරුවක් තිබු නඩේසන් මඩකලපුවේදී නිරන්තරයෙන්ම පෙනී සිටියේ දෙමළ හා මුස්ලිම් ජනයාගේ සමගිය වෙනුවෙනි. එමෙන්ම සංවර්ධන පුවත්වලින් ඔබ්බට ගිහින් නැගෙනහිර ජනයා යුද්ධයෙන් විඳින පීඩාව ලෝකයා හමුවේ තබන්නට ප්‍රමුඛව ක්‍රියා කළ අයෙක් ලෙස නඩේසන් හැඳින්විය හැක.
දෙමළ ජනයාගේ ස්වයං නීර්න අයිතිය අරඹයා ලියන ලද කෘතිය නඩේසන්ගේ දේශපාලන අවබෝධය පිලිබඳ කදිම සාක්ෂියක් සේම, සම්මත ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ රාමුවෙන් ඔබ්බට ගොස් කටයුතු කළ බවට මෙම කෘතිය පෙන්නුම් කරනු ලබන බව ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ වෙබ් අඩවිය වෙත ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස එවකට ක්‍රියා කළ රාජ්කුමාර් සුබ්‍රමනියම් පවසා තිබේ.
මග රැක සිටී ඝාතකයෝ නඩේසන්ව මරා දමති
සුපුරුදු පරිදි නඩේසන් 2004 මැයි 31 වැනිදා උදෑසන සිය රැකියාව සඳහා මඩකළපුව ආදායම් බදූ දෙපාර්තුමේන්තුව වෙත යමින් සිටියේය. ඔහු පැමිණෙන තෙක් රැක සිටී ඝාතකයෝ වෙඩි පහර කිහිපයක් එල්ලකොට නඩේසන්ව මරා දැමුහ. ඝාතකයන් නිරුපද්‍රිතව පළා ගියේ ආසන්නයේ වූ හමුදා මුරපොල හරහාය. ඝාතනයේ චෝදනාව එල්ලවූයේ කොටි සංවිධානයෙන් බිඳී, රජයේ හමුදා අනුග්‍රහය යටතේ සිටී කරුණා අම්මාන් පාර්ශවය වෙතය.
දරුවන් සිව් දෙනෙකුගේ ආදරණිය පියෙකුවූ නඩේසන්ට කෙතරම් තර්ජන එල්ල වුවද මඩකළපුව හැර දමා යාමට කැමැත්තක් නොදැක්වූයේ මඩකළපුව කෙරෙහි වූ අපමණ බැඳීම හේතුවෙනී. නැගෙනහිර ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බිහිකිරීමට උද්යෝගිමත්ව ක්‍රියාකළ නඩේසන්ව මරා දමන විට දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපතිවරයා විය. මාධ්‍යවේදියෙකු ලෙස 20 වසකට වඩා අත්දැකීම් ඇති ඔහු 2000 වසරේ කතෘ සංසද මාධ්‍ය සම්මාන උළෙලේ දී වසරේ හොඳම ජනමාධ්‍යවේදියා ලෙස සම්මාන ලැබිය.
දෙමළ – මුස්ලිම් මෙන්ම දෙමළ – සිංහල සහයෝගිතාවය වෙනුවෙන් නිරන්තරව පෙනී සිටි නඩේසන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මකව මැදිහත් විය. ඒ පිළිබඳව ඔහුගේ සමීප මාධ්‍ය සගයෙකු වූ ශන් තවරාසා ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය වෙත මෙසේ ප්‍රකාශ කර තිබේ; ”සටන් විරාම කාලේ නැගෙනහිර ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැටියට අපි සංවිධානය කළා සංචාරයක් වන්නිය හා යාපනයට. ප්‍රදේශයේ දෙමළ – මුස්ලිම් මාධ්‍යවේදීන් තිස්පස් දෙනෙක් විතර ඒකට එක් වුණා. මේ වැඩේට පුරෝගාමී වුනේ නඩේසන්. ඒ වගේම ‘හිරු’ කණ්ඩායම කොළඹ සංවිධානය කරපු සිංහල – දෙමළ කළා උළෙලට නඩේසන් එයාගේ දායකත්වය ලබා දුන්නා.
පෞද්ගලික දුෂ්කරතාවක් නිසා මට ඒකට යන්න බැරි වුණා. කොළඹ ඉඳන් නඩේසන් මට ටෙලිෆෝන් කරලා කිව්වේ සිංහල උරුමයේ කට්ටිය හා දිවයින පත්තරේට සම්බන්ධ පිරිසක් එකතුවෙලා ඒකට පහර දෙන්න ආවා, ඒත් ඔහු කිව්වා වැඩේ ඉවරවෙලා මිසක් එන්නේ නැහැ කියලා.”
මරා දැමුණු නඩේසන්ට අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ සිරුර කිලිනොච්චියටත්, පසුව ඔහුගේ උපන් නෙල්ලිඅඩි වෙතත් ගෙන යනු ලැබිණි. සොවින් තැවුණු නෙල්ලිඅඩි නඩේසන්ගේ ඥාති හිතමිත්‍ර දහස් ගණනක් ප්‍රදේශවාසී ජනයා එදිනෙදා කටයුතු අත්හැර, කඩසාප්පු වසා දමා අවසන් බුහුමන් පිණිස නෙල්ලිඅඩි මහජන ක්‍රීඩාංගනයට එක්වුහ. ඊලාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ (EPRLF) නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් නඩේසන්ගේ අවමංගල උත්සවය පැවත්විණි.
දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නඩේසන් ඝාතනය හෙළා දකිමින් ජුනි 9 වැනිදා කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක් සංවිධානය කළ අතර ඊට සමගාමිව ත්‍රිකුණාමල නගරයේ එක් දින හර්තාලයක් ද දියත් කෙරිණි.
දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන නඩේසන් ඝාතනය හෙළා දකිමින්, විරෝධය පාමින් නිවේදන නිකුත් කර තිබිණි.

මේ අතර නඩේසන් මරා දැමීම සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් නොවුණු අතර ඒ ගැන කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට පත්නොවිණි. එහෙත් උත්සන්න වූ මර්දනය හමුවේ මඩකලපුවේ මාධ්‍ය සංවිධාන කෙමෙන් බිඳ වැටෙන්නට විය. ඔහු සමඟ එක්ව වැඩ කළවුන් අතර ඉදිරියෙන්ම සිටි ශන්තවරාසා , තුරෛරත්නම්, වේදනායගම් හා චන්ද්‍රකුමාර් ආදී ප්‍රමුඛ මාධ්‍යකරුවන් රටින් පිටුවහල් වන්නට තීරණය කළහ. තවත් බොහෝවුන් මඩකලපුව අත්හැර කොළඹට පැමිණීමට තීරණය කළ අතර සෙස්සෝ නිහඬ වූහ.
නඩේසන් සමරුවක් වසරක් පාසා මඩකලපුවේදී පැවැත්වේ. එහෙත් ඒවා හුදු ප්‍රචාරාත්මක සමරු පමණක් බවට පත්ව ඇත්තේ නඩේසන් මරා දැමීම ගැන විමර්ශනයක් කරන්නටවත් 21 වසක් පුරාවට කිසිදු බලපෑමක් කර නොමැති බැවිනි.
ඉෂංඛා සිංහආරච්චි-Ishanka Sinharchchi