“යාන්තම්
පොහොට්ටු මතුවුණු
මල් පැල
සල්පිල්වල”
ඉහත සංක්ෂිප්ත කවිය සොරා ගන්නේ “දිලිප් කුමාර ලියනගේ” කවියා විසින් “වසන්ත ප්‍රියංකර නිවුන්හෑල්ල” කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහය වන ” සුනිල මිණි” පිළිබඳව තියා තිබුණු සටහනකින්. කවිය මුල්ම කියවීමේදී ක්ෂණිකව මැවී පෙනුනේ ළමා ලපටින් විවිධ රියලිටි වේදිකා මත ඉඳින දසුන්. ළමුන්ගේ නිදහස් භවය සහ විවෘත භාවය හොඳ හැටි වෙන්දේසි කරන ගිහාන්ගේ පොඩ්ඩෝ වැඩ්ඩෝ වැනි වැඩසටහන් . බොහොමයක් මෙවන් වැඩසටහන්වලට දරුවන්ව ඉදිරිපත් කරවීමේ අරමුණ දරුවාගේ දක්ෂතාවයට වේදිකාවක් සොයා දීම නොව දරුවා හරහා තමන්ගේ ආර්ථිකයේ ගැටලු වලට පිළිතුරක් සොයා ගැනීමයි . බොහොම අතලොස්සක් දක්ෂතාවයට වේදිකාවක් සොයා ආවද බහුතරයක් අපට හමුවන්නේ ඉහත අරමුණ සහිතවයි .
ඉතින් මේ කෙටි කවිය ක්ෂණිකවම මා පත්තු කළේ “යන්තම් පොහොට්ටු” නම් යෙදුමයි . සල්පිල්වලදී වෙන්දේසි වෙන්න නම් වෙන්දේසි කරන භාණ්ඩයේ කුමන හෝ විශේෂත්වයක් තිබිය යුතුයි . එවිට තමයි ඒවාට ඉහළ ලංසු ලැබෙන්නේ . සල්පිලට ගෙනත් තියෙන්නෙ මල් ගහක් . මල් ගහක් වූ පමණින් සල්පිලේ ඉහළ ලන්සුවකට වෙන්දේසි වීමට ඉඩ සැලසෙන්නේ නැහැ . මේ පැලවල ඇති විශේෂත්වය යන්තම් පොට්ටු මතුවී තිබීම . මේ පැල වලට ඉහළ ලංසුවක් ලැබීමට උත්තේජනය පොහොට්ටු. මේ පොහොට්ටු සැඟවුණු අරමුණක් වෙනුවෙන් තමන් පාවිච්චි වෙන බව නොදනී.
වර්තමාන සමාජය දේශපාලන සන්දර්භය තුළ විකුණන්නටත් විකිණෙන්නටත් විශේෂත්වයක් පෙන්විය යුතුයි . මේ පුංචි කවිය හරහා ගැඹුරු සමාජ දේශපාලන සංවාදයකට මං පාදා ගත හැකියි .
සුනිල මිණක් කියවා ලද ආශ්වාදයත් කියවූ අය කියන කතාත් අසා “සුනිල මිණි” කියවීමේ මහත් ආශාවක් හටගෙන තිබේ.

හිල්මි සුපුන්-Hilmi Supun





