අද කියන්න යන්නෙත් රැකියා කතන්දරයක්. මගේ යෙහෙළියක් පළමු පන්තියේ උපාධියක් ලැබුවා. ඇය රාජ්‍ය පරිපාලන සේවා විභාගයෙන් ලංකාවෙන් පළවෙනියා වෙලා සමත් වුණා. ඇගේ පෙම්වතාත් ඇය සමඟම ඒ විභාගයට මුහුණ දුන් අතර ඔහු එයින් අසමත් වුණා. පෙම්වතාට තිබුණේ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක්. එහෙත් ඔහුට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබුණා. ඒත් එක්කම ඔහුට ඇමරිකාවට ශිෂ්‍යත්වයක් ලැබුණා වසර හතකට. ගෙවල් දෙකෙන්ම කිව්වේ විවාහ වී යන්න කියලා. මේ දෙන්නා විවාහ වුණා. ඒ අතර බිරිඳට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබුණා. එහෙත් ඇය පරිපාලන සේවා රැකියාව භාර ගන්නේද නැතිව කථිකාචාර්ය තනතුර භාර ගන්නේ ද නැති සැමියා සමඟ විදෙස්ගත වුණා. සැමියා ආචාර්ය උපාධි නිම කර එන විට ඇයගේ වයස පසුවී හමාරයි. දරුවන් දෙදෙනෙකු ද හිටියා. අඩුම තරමින් පාසල් ගුරුවරියක ලෙස හෝ පත්වීමක් ලබා ගන්නා වයස පසු වී තිබුණා. සැමියාගේ උගත් මිතුර මිතුරියන් පැමිණ විෂය මූලික කරුණු ගැන කතා කරද්දී ඇය තනිවම දුක් වුණා. එම විෂයෙන්ම පළමු පන්ති සාමාර්ථ ලද ඇය දැන් කුස්සියේ බයිට් හදා සාලයට ගෙනැවිත් පිළිගන්වන කෙනෙක් පමණයි. උගත් බුද්ධිමත් කතාවලට ඇය හවුල් කර ගත්තේ නැහැ.
ඇයගේ සැමියා ඉතා අලංකාර ගෙයක් හැදුවා. වාහනයක් ගත්තා. බිරිඳටත් පොඩි කාර් එකක් අරන් දුන්නා දරුවන් පාසලෙන් ගන්න ටියුෂන් පන්තියට දාන්න වගේ ඒවාට. කෙතරම් සැප සම්පත් තිබුණත් ඇය විවාහය තුළ සතුටින් නෙමෙයි හිටියේ.

ඇය දිනපතා හඬමින් නින්දට ගියේ ඇගේ සම වයසේ සිටි ගැහැණු ළමයි ඇයටත් වඩා අඩු සුදුසුකම් තිබූ අය උසස් තනතුරුවල සිටිනු දැකීමෙන්. තමාට අහිමිව ගිය කථිකාචාර්යකම ගැන අහිමිව ගිය පරිපාලන සේවා තනතුර ගැන ඇය ජීවිත කාලය පුරා දුක් වේවි.
කිසිම කෙනෙක් වෙනුවෙන් කිසිම දෙයක් වෙනුවෙන් ගැහැණියක් තමන්ගේ හීන මරා දැමීම නොකළ යුතුයි. හුඟාක් අය මහත් උජාරුවෙන් කියනවා සැමියා වෙනුවෙන්, දරුවා වෙනුවෙන් මං කළ කැපකිරීම ගැන. ඒත් ඒ ගැහැණු හිත යටින් කොතරම් අඬනවා දැයි ඔබ දන්නේ නැහැ.
කිසිම හේතුවක් නිසා තමාගේ අධ්‍යාපනය, තමාගේ වෘත්තිය, තමාගේ අනාගත සිහින බිලි දෙන්න එපා. එයාලා සමඟ යන ගමනකට එකඟතා සාදා ගන්න. එසේ ඉන්න බැරි අය වෙන්ව යාවි. එහෙත් එය ඔබට කිසි දා අවැඩක් නොවේවි. මේ ආත්මාර්ථකාමී වන්න යැයි කියන කතාවක් නොවේ. අනෙක් අයගේ ගමනට සහාය වන අතරම තමාගේ හීන මරා නොගෙන ජීවත් වන ආකාරය කියා දීමකි.
කිසිම දවසක තමාට තමා අහිමි කර නොගන්න. බොහෝ රොමෑන්ටික් පරිකල්පනා පවතින්නේ ටික කලකි. එහෙත් මියෙන තුරු තමාට තමා සිටිය යුතුය.
හීන මරා ගන්න එපා. හීන මරන්න කිසිවෙකුට ඉඩ දෙන්නත් එපා.

සංජීවනී රූපසිංහ–Sanjeewani Rupasinghe
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.
(උපුටා ගැනීම : තරුණි පුවත්පත)