මානෙල් විජිතා ප්‍රනාන්දු
ඊළඟ දිනයේ අපි ආයෙමත් අඳුරු අතීත ස්මරණයක් බලන්න ගියා.
- ඒ තමයි පොල්පොට් ගේ S 21 අංක දරණ සිර කඳවුර. පොල්පොට් ගේ කාලයේ දී සිරකඳවුරක් බවට පත් කර තිබූ පාසලක්.
1975 අප්‍රේල් 17 වන දින පොල්පොට්ගේ නායකත්වය යටතේ ක්මර් රජවරු අවසානයේ මුළු රටේම පාලනය ලබා ගත්හ.
ඔවුන්ගේ සැලැස්ම වූයේ පෞද්ගලික අයිතිය අහෝසි කිරීමයි. ජනතාව සමුපකාර ක්‍රමයට එකට වැඩ කිරීමට, ජීවත් වීමට සහ ආහාර ගැනීමට නියමිතව තිබුණි. සාමාජිකයින්ට සමුපකාරය සඳහා ඔවුන්ගේ සියලු දේපළ අත්හැරීමට සිදු විය. තරාතිරම නොබලා සියලු පිරිමින්, කාන්තාවන් සහ ළමයින්ට සහ රෝහල් රෝගීන්ට සහ වැඩිහිටියන්ට පවා ගොවිපලවල වැඩ කිරීම සඳහා ගම්බද ප්‍රදේශවලට පයින් යාමට නියෝග කරන ලදී.
ක්‍රියාවලියට විරුද්ධ වූ හෝ සැකයට පාත්‍ර වූ ඕනෑම අයෙකු මරා දමන ලදී හෝ සිරගත කරන ලදී. ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වලදී සිතා බැලීමට, වෙලෙවි වීමට, ගොත ගැසීමට ඉඩක් ලැබුණේ නැත. සියලුම සිරකරුවන් චායාරූපගත කර විස්තර ලොග් පොතට ඇතුළත් කළා ලු.

S21 සිර කඳවුර එවන් එක් සිර කඳවුරකි. එහි එක් අයෙකුට යන්තමින් ඇල වී සිටිය හැකි කුඩා සිරකුටි, සිරකරුවන් සාමුහිකව බැඳ තැබීමට භාවිතා කළ දම්වැල්, දඬුවම් කිරීමට භාවිතා කළ උපකරණ (විදුලි සැර වැද්දීම, කස පහර දීම ආදී ) ආදිය ප්‍රදර්ශනය කර තිබෙනවා. සිරකරුවන් පැන යාම වැළැක්වීමට කටුකම්බි ආවරණ යොදා තිබෙනවා.
වියට්නාම් ස්වෙච්චා හමුදාව පැමිණෙන විට ඉතිරි වී සිටි සිරකරුවන් දොළොස් දෙනාගේ ගෙල කපා මරා දමා ක්මර් රජ කල්ලිය පැනගොස් තිබුණා. ඔවුන් වෙනුවෙන් විශේෂ සමරු ඉදි කර තිබෙනවා. එතන තිබුණේ ඉතා මත් ඛේදජනක පරිසරයක්. ඒ සිර කඳවුරෙන් ගැලවීමට හැකි වූ දෙදෙනෙකු විසින් තම අත්දැකීම් පොත් වශයෙන් ලියා පළ කර තිබෙනවා. මම ඒ පොත් මිලට ගත්තා. අවස්ථාවක් ලැබුණොත් ඒවා සිංහලයට පරිවර්තනය කරන්නට යි මගේ අදහස.
ඉන්පසු අපි කාම්බෝජයේ තෙවන විශාල නගරය වන බටම්බන් බලා පිටත් වුණා. කිලෝ මීටර 300 ක පමණ ගමනක්. බටම්බන් පළාත කාම්බෝජයේ බත් පාත්‍රය යනුවෙන් හඳුන්වනවා. එහි වී වගාව හා වෙනත් වගාවන් බහුලව සිදු කෙරෙනවා.

අතර මග දී දුටු දේවල් මේ පින්තුරවල දැක්වෙනවා. ස්වාමින්වහන්සේලා ට්‍රක් රථයක පසුපස ගමන් කරන ආකාරය නිවෙස්වල පිටත ඇති පූජාසන. පෙනෙන ආකාරයට ඒවායේ පූජා පවත්වන්නේ මියගිය ඥාතීන්ට.
ඊළඟ ට අපි ගියේ බටම්බන් නගරයට කිලෝ මීටර 25ක් පමණ ඈතින් කන්දක් උඩ පිහිටි Wat Banan පන්සලට. පඩි 358 කින් සමන්විත කන්දක් උඩ පිහිටි එය සූර්ය වර්මන් රජුගේ පුත් උදයාදිත්‍ය වර්මන් විසින් 11 වන සියවසේ කරන ලද්දකැයි සැලකෙනවා. දැන් එය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මුදුනේ සිට දර්ශනය සිත් බඳනා සුළුයි. පඩි නගින්නට අමාරු නිසා මම නැග්ගේ නැහැ. ඡායාරූපවල අයිතිය මගේ මිතුරිය Sunethra Samarakoon සතු යි.

බටම්බන් නගරයට ඇතුළු වීමේදී එක් වට රවුමක තිබූ අමුතු පිළිමයක් මගේ නෙත ගැටුණා. පොල්ලක් අතින් ගත් කළු මිනිසෙකු ගේ පිළිමයක්. (පසුව දැනගත් පරිදි) ජන කතාවට අනුව ඔහු මැජික් යෂ්ටියක් තිබූ ගව පල්ලෙකි. ඔහු මැජික් යශ්ටියෙන් කළු කළ බත් මුට්ටියක් අනුභව කිරීමෙන් පසු ඉතා ශක්තිමත්, විශාල, කළු මිනිසෙකු බවට පත් විය. ඔහු එම මැජික් යශ්ටියෙන් පහර දී රජෙකු බලයෙන් පහ කර දැමූ බවයි පැවසෙන්නේ. ඉන්පසු මැජික් යශ්ටිය අතුරුදහන් විය. බටම්බං යන නමේ තේරුම “නැතිවූ යශ්ටිය” යන්නයි.
(මතු සම්බන්ධයි.)