අහසක් වගේ සිතිවිලි මැවෙන දවසක් ඊයේ.

පුතු එන පෙරමග බලන ගමන් දහසක් වැඩ අස්සේ විසල් අහසට නෙත් යොමු වෙන්නේ ඉබේටමයි.
උදා හිරුකිරණ වෙනදාට වඩා ආලෝකමත් කියලා දැනුනා ම සුබෝධාරාම දිහාවින් අහසට ගොඩවෙන ඉර දිහා බැලුවා. වලාකුළු ඉරාගෙන මතුවෙන ඉර අහසේ අපූරු රටාවක් මවලා තිබුනේ. ජංගමයත් අරගෙන උඩම තියෙන වහලයක් නොමැති එළිමහනට දුවගෙන ගිහින්, පොටෝ කීපයකුත් වීඩියෝවකුත් සටහන් කරගෙන මයි ආපහු ආවේ. දහවල් වෙන්න වෙන්න වෙනදාට වඩා රස්නයක් දැනුණ නිසාම විදුලි පංකාවත් වැඩ එක පිම්මට.

පුතු වෙනුවෙන් රසම රස අතුරුපසක් එක්ක, දහවල් කෑම වේල සකස් කලේ තව ඉතින් දවස් කීය ද මේ වගේ වෙන්නේ කියලා හිතන ගමන්මයි. හිත හිරවෙනවා නොදැනීම. ඉක්මනටම ඒ සිතිවිල්ල බැහැර කරලා මේ මොහොතේ සිතිවිල්ල පවත්වා ගන්න හිතා ගත්තා.


හවස් වරුවේ මා පුතු වෙනුවෙන් මගේ හිතේ නැගුන සිතිවිලි සටහන් කරමින් සිට, හුන් තැනින් නැගිටින ගමන් ගේ ඇතුලතින් තිබ්බ මල් පෝච්චි එළිමහනෙන් තබන්නට නැගී සිටියාමයි, හාත්පස බොඳ වූ ආලෝකයක් පැතිරී තියෙනවා දැක්කේ. දෑස් එසවූ පමණින් හන්තාන දෙසින් නැගී තිබුණ දේදුනුපාට දේදුන්න ඇසේ ගැටුනේ.
ආයෙත් දිව්වා උඩට. දේදුන්න ඉක්මනට මැකී යාවී යයි බියක් ඇති වුණ නිසාම හරි හදිසියක් ඇතිවෙලා තිබුණේ මට.
පිණිකුඩු වැස්සට දියවෙන්නට ඉස්සර ඒ ආශ්චර්යමත් දේදුන්නත් විවිධ කෝණ වලින් ජංගම දුරකථනයේ සටහන් කරගත්තා.
ගෙදර ඉන්න දවසට මැවෙන දහසකුත් එකක් වැඩ ඉවර කරලා, රාත්‍රි ආහාරය සූදානම් කරන්න මුලුතැන්ගෙය පැත්තට යන වෙලාවේ පැති ජනේලයකින් මං ආයෙම දැක්කේ, සෞම්‍ය එළියක් හාත්පස විහිදුවමින් වටකුරුවට පායා එන මැදින් පුන් පොහෝ සඳ.
ගේ ඇතුලේ පවා මං යන යන තැන මා එක්ක යන එන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ජංගම” දුරකථනය ඒ වෙලාවේ මා අතේම තිබුණ බැවින්, ආයෙම ක්‍රියාත්මක වුනා. වෙනදාටත් හඳ පෑයුවාම මං ඒ හඳ කැමරාවේ සටහන් කර ගන්නවා. ඒත් අද ගත්ත පින්තූර හරීම පැහැදිලි ආලෝකමත් පින්තූර.
පුතා ගෙනත් දුන්න අලුත් ජංගම දුරකථනය මගේ හිතට සතුට එකතු කර ගන්න ලොකූ උදව්වක් දෙනවා. “අම්මා ෆෝටෝ ගන්න ආස නිසා හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක් ගන්න” කිය කියාමනේ හිටියේ. දැන්ම අලුත් දුරකථනයක අවශ්‍යතාවයක් නැති හින්දා ඒ අදහස මං මගහරිමින් හිටියට, පුතාගේ දුරකථනය බසය තුලදී අස්ථානගත වුණාට පස්සේ එයාට දුරකථනයක් ගන්නවා වෙනුවට මට ඉස්තරම්ම එකක් අරන් දීලා මගේ පරණ දුරකථනය එයා ගත්තා. හිත හිරිවැටෙන හැඟීමක් එක්ක මං ඒක භාරගත්තේ ඇහේ සතුටු කඳුලක් ඉපදුන සිතිවිල්ලකින්.
එයාගේ දුරකථනය නැතිවීම ගැන මං දුක් වෙන වෙලාවක පුතා කිව්ව වචන ටිකකින් මං නිරුත්තර වුණා.
අම්මා මගේ ෆෝන් එක නැති වුණේ අම්මට ෆෝන් එකක් අරන් දෙන එක ඉක්මන් වෙන්නමයි කියලයි මට හිතෙන්නේ..”
අම්මගේ සතුට වෙනුවෙන් තමන් දෙවෙනියට දාගන්න මේ වයසේ දරුවන් ගැන ඇත්තමයි මං ගොඩක් අහලා නෑ. ඊටත්, මේ වගේ දේවල් වලට කොල්ලොනේ කොහොමත් වැඩිපුර ආස.
මගේ හිතේ තියෙන, නැගෙන, මැවෙන හැඟීම් අකුරු කරලා ඉවර කරන්නේ කොහොමද?

මව් හිත නොරිද්දන එකම ඇති. වෙන තෑගි බෝග නැතිවට. පාවිච්චි කරන වචනයක පවා ආදරය, උණුසුම රඳවන, මගේ පුතා වැනි පුතුන් සෑම මව් හිතක්ම සනසවන්න ඕන. දරුවන්ගේ වචන නිසා මව් ඇසින් වැටෙන කඳුලු වල බර මං දැකලා තියෙනවා.
ඊයේ දවස පුරාවට අහසේ නොයෙක් අවස්ථාවන් දකිමින්, විඳිමින් ජීවත් වුන මට, මේ විසල් අහස තරමට නිමක් නැති ආදරයක්, රැකවරණයක්, දෙන මා පුතු වෙනුවෙන්, හිතේ නැගෙන සිතිවිලි වලින් විතරක්ම හැම මොහොතක්ම පිරී තියෙන එකේ පුදුමයක් නෑ.
එයා පුංචිම කාලේ ” පුතේ ඔයා මට කොච්චර ආදරේද?” කියලා ඇහුවම, ” අහස උසටයි, පොළව යටටයි, මේං මෙච්චරකුයි ” කියලා දෑත දෙපසට විහිදුවනවා.
ඒ මං එයාට එහෙම කියන හින්දා.
ඒ වචන මතක තියාගෙන ඉඳලා පෙරලා මටත් කියන්නේ.

අනෙක් සෑම දෙයක්මත් එහෙමයි. පුංචිම හිත් වලට, පුංචිම කාලේ ඉඳලම සෙනෙහස, ආදරය, ගුණවත් කම් වපුරන්න ඕනේ.. ඒ අස්වැන්න තමා පසු කාලෙක මව්පිය අපි සැනසීමෙන් අත්විඳින්නේ.

More From Author

ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන් වෙනුවෙන් හඬක් 

නෙතන්යාහු සටන් විරාමය කඩකරයි……

Leave a Reply

Categories

LDM Columns