“…රසයෙන් තොරව ලේසියෙන් ඉඳුරන් පිනවිය නො හැකිය. ඒ නිසා ම නීරසව ලියන දෙයින් සිත පිනවීම අපහසුය. රසවත් ආහාරයකින් රස නහර පිනා යන්නාක් මෙන් රසවත් ලිවීමකින් සිත හෙවත් බුද්ධීන්ද්‍රය පිනා යයි…”
ලියන කලාව – බඹරැන්දේ සිරි සීවලී හිමි…
බඹරැන්දේ සිරි සීවලී හිමියන්ගේ, ලියන කලාව (දෙවන මුද්‍රනය 2002 – ගොඩගේ) කෘතියේ 52 පිටුවේ සටහනක වූ ඉහත උපුටනය මෙහි බහාලමින් මා මේ සැරසෙන්නේ “වමට දකුණට යොවුන් පොත් වැඩසටහන” යටතේ ග්රැෆිකෙයාර් ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද -ප්‍රදීප් ඉඳුනිල් පියරත්න තරුණ ලේඛකයාගේ මතක මල් පැස කෘතිය කියවා ප්‍රබෝධවත් වූ රස මනස අකුරු කිරීමටය. විඳි රසයක ගැබ්ව තිබූ රස පහස ඒ හැටියෙන් ම අකුරු කිරීම ඉතා අපහසු කාර්යයක් බව දනිතත් හැකි හැටියට ඒ කාර්යයේ නිරත වීමට මම උත්සාහ දරමි.
මතක මල් පැස, යොවුන් නවකතා ශානරයේ අනු ශානරයක් ලෙස සැලකෙන විත්ති කතා මොඩලයේ ආභාෂය නොඅඩුව ලබමින් රචිත ප්‍රබන්ධාත්මක එළැඹුමක් බව කිව මනාය. විත්ති කතා යන්නෙහි අර්ථය ස්වයං ලිඛිත චරිතාපදානයක ළමා වියෙහි තතු ගැබ්වුණ පරිච්ඡේද කිහිපයක් ලෙසට ද සැලකීම වරදක් නොවන්නේ එහි දී කතුවරයාගේ ළමා දිවි සැරියේ සැබෑ තතු ගැබ්වීම නොවැළැක්විය හැකි හෙයිනි, ඔහුගේ ජීවිතයට සමීප කුටුම්භගත ජීවිත විදාරණය, ඊට අයත් පුද්ගල චරිත විභාගය, අවට පරිසරය මෙන් ම අමතක නොවන සහ තමාගේ වර්තමාන ජීවිත ජයග්‍රහණයට බලපෑම් සහගත වූ අතීතයට අයත් ප්‍රමුඛ සිද්ධි පාදක අවස්ථා ආදිය විත්ති රචනයේ අන්තර්ගත වියමන සාර කිරීමෙහිලා කතුවරයාට සහාය වන හෙයිනි.
ප්‍රදීප් ඉඳුනිල්ගේ මතක මල් පැස මගේ කියවීමේ රස උල්පත පාදමින් මා කැඳවා ගත් වින්දන අවකාශය උසස්ය. මන්ද යත් ඔහු අප හමුවේ විවර කර පෙන්වන විත්ති සිතුවම, විචිත්‍ර වර්ණයෙන් හැඩගැන්වීමේ සමත් අත්දැකීම් රාශියක් කතුවරයාගේ ජීවිතයේ අතීතය පුරා විසිරී තිබීමය. අත්දැකීම් පරාසය කොතරම් ප්‍රබල වුවත්, බලපෑම් සහගත වුවත් ඒවා ප්‍රබන්ධයකට ගොනු කිරීමේදී කතුවරයකු හමුවේ ඇති බලවත්ම අභියෝගය වන්නේ ඒවා රසවත්ව පෙළගස්වමින් තමන්ගෙන් පරිබාහිර රසවින්දන කලාපයක් තුළ එහි වූ ස්වභාවික රස නුසුන් කොට විසුරුවා හැරීමය. ප්‍රදීප් ඉඳුනිල් තරුණ ලේඛකයා එම අභියෝගය ඔහු අපේක්ෂා කරන්නට ඇති ප්‍රමාණයටත් වඩා ජයගෙන ඇති බව දැනීමේ සංඥාවක් ලෙසිනි මා සීවලී හිමියන්ගේ ලියන කලාවේ උපුටනයක් මෙම සටහනේ ශීර්ෂය ලෙසින් ගෙනහැර පාන ලද්දේ.
විත්ති කතා සහ සංචාරක සටහන් ආදී ලේඛනය කෙරෙහි නොතිත් ආශා බන්ධනයකින් වෙලී සිටින රසිකයකු ලෙස මා, මතක මල් පැස කියවීමෙන් ලද්දේ අප්‍රමාණ වින්දනයකි. කතුවරයා මා කැඳවා ගෙන යන ලද ආන්තික ගැමි සංස්කෘතික කලාපය, පුද්ගලිකව මා විඳි මගේ අතීතය නියෝජනය කරන කලාපයෙන් දුරස් අත්දැකීම් සහිත වුවත් නිර්ධන පන්ති විඥානයට අයත් මානව කලාපය සමාන ය. විඳි මානව වේදනාව සමානය, අහිමි වූ අවස්ථා සමාන ය. ඒ අර්ථයෙන් ගත්ත කල මතක මල් පැස, මගේ අතීත මතක පැසෙහි පිපී ඇති මල් දර්ශනය කරන්නකි.
සැබැවින්ම ප්‍රදීප් ඉඳුනිල්ගේ මේ කෘතිය තෙවැන්නකුගේ ආකර්ෂණයට මෙතරම් ලක් කරලීමේ සමත්කම පූර්ණ ලෙස දරා සිටින්නේ ඔහු, අත්දැකීම් රචනා කරන්නකු නොවී ඒවා ප්‍රබන්ධයකට ගොනු කිරීමෙහිලා දක්වන ප්‍රශස්ත උත්සාහය නිසා ය.
“ලිවීම කලාවකි.. මෙයට අයත් අංග දෙකකි. එයින් එකක් ලිවීමය. අනික ක්‍රමානූකූලව ලිවීමය. නිකම්ම ලියූ පමණින් හෝ වැඩි වැඩියෙන් ලියූ පමණින් හෝ ලිවීම කලාවක් නොවේ. ඒ සඳහා ක්‍රමවත් ව, කලාත්මක ව ලිය යුතුය…” ලියන කලාව – සිරි සීවලී හිමි
අප ප්‍රබන්ධ රචනයකින් තෘප්තියක් හෝ රසයක් හෝ විඳින්නේ නම් එය එසේ වන්නේ අදාළ ප්‍රබන්ධය, කලාව තුළ හැසිරෙන කල්හිය. නැතහොත් එය හුදු ලිවීමක් කියවන්නේය යන්නෙන් එහා නොයන්නකි, නොවිඳින්නකි. කවර ප්‍රබන්ධයක වුව කතුවරයාගේ සංස්කෘතික කලාපයට විවර වූ කවුළු දක්නට ඇත්තේ ප්‍රබන්ධය, කලාව නියෝජනය කරන හෙයිනි. කලාව සංස්කෘතියේ ප්‍රරකාශනයක් ලෙස ගැනෙන බැවින් ප්‍රබන්ධ සංස්කෘතිය, අදාළ භාෂාව නියෝජනය කරන සංස්කෘතියේම රූපකයක් වීම නොවැළැක් විය හැකිය. විත්ති කතා ප්‍රබන්ධ ශානරයේ දී මෙම අන්තර් සබඳතාව ඍජුව සහ පැහැදිළිව ගැබ්වන අතර එනිසාම එය ජනශ්‍රතිකාංගයක වටිනාකම ද හිමි කර ගන්නා බව නොකිව මනාය. මට අනුව ඒ අර්ථයෙන් ගත් කළ මතක මල් පැස, පාසල් ශික්ෂයන්ගේ ජනශ්‍රතිකාංග ඇසුර සඳහා නම් කළ හැකි අමතර කියවීමේ පොතක හැඩය ද ගනී. එනිසා ම මෙම විත්ති කතා ප්‍රබන්ධය පාසල් ළමුන්ගේ ඇසුරට පත් කිරීම අගනා ආයෝජනයක් බව ද කියනු කැමැත්තෙමි.
මතක මල් පැසෙහි කතුවරයාගේ වර්තමාන චරිතය කුළුගැන්වෙන අතීතයට අදාළ අවස්ථා සහ සිද්ධි පෙළගැස්මක් බව මතු දැක්වූයෙමි. ඒ අනුව අජපල්, ගොපල්, සැවුල් නම් ලත් ආරම්භක විත්ති වාචික ත්‍රිත්වය මෙම කෘතිය, පාඨකයාගේ මනස සමග ආත්මීය එකඟතාවක රඳවා ගන්නා බව මට දැනේ. සිය පවුල සමග ඒකාත්මික ගෘහ සත්ව පාලනය සහ කතුවරයාගේ ළමා විය අතර පැවතියා වූ ඓන්ද්‍රීය ඒකාබද්ධතාව අපගේ ආස්වාදය එකවරම පැහැර ගන්නේ ඒවා ප්‍රබන්ධ ව ඇති ආඛ්‍යානයේ විචිත්‍රත්වය හේතුවෙනි. බලන්න මේ ලිවීම..!
“…රබර් වත්තට එළු රංචුව ලිහල අරිනව. හවසට එයාල කොළ කාලා ගෙදරටම එනව පේළියට. වැස්සියො බුරුල සහ වස්සො තව අඟපසඟ වන වන එන්නෙ. පොඩි පැටව් නටනවත් එක්ක…” (අජපල්.. පිටුව 20)
“…දැනුත් පාන්දරට වගේ ම රෑට නිදා ගන්න කලිනුත් ඒ සත්තුන්ගෙ අනන්ත අප්‍රමාණ මතක එක පෙළට ඇවිත් මගෙ තනිය මකනව. ගෙදර හිටපු සතුන්ගෙ රූප වගේ ම මෙහි ලිවිය හැකි නොහැකි සතුන්ගේ මතක හැමදාම මං පසුපස්සෙ එයි. සත්තු කියන්නෙ අපේ ජීවිත කතාවෙ මග අරින්න බැරි පරිච්ඡේදයක්…” (ගොපල්.. පිටුව 25)
“…දෙල් ගහේ ඉඳල රතු කුකුළ අඬලනවා. රඹුටන් ගහේ ඉඳල කාබේරි කුකුළ අඬලනව. කුකුළු කූඩුවෙ ඉඳල තව එකෙක් අඬලනව. පැදුර අකුළල නැගිටල යද්දි සමහර දාට අම්ම දර ළිපේ බිත්තරයක් බදිනව පේනව. ලාම්පු එළියට තාච්චියෙ කහ මදේ තවත් දිලිසෙනව. අම්ම ගම්මිරිස් පොඩ්ඩක් ඒක මැද්දට දානව. ඒ බැදිල්ල සියුම්. ඒ මතකය ම ලස්සන රූපයක්…” (සැවුල්.. පිටුව 32)
මෙවැනි රූපකාර්ථවත් බසක් ඔස්සේ කෘතියේ අපේක්ෂකාර්ථ පාඨකයාට මැනවින් ග්‍රහණය වන්නේ සිතුවම් කරන ලද ගැමි පරිසර චිත්‍රයක
අනුරසිරි හෙටිටිගේ