පුරාණ කියවීමට අනුව, ආභස්සර බඹ ලොවින් සෞම්‍ය ආලෝක සංඥාවක් දිගේ මෘදු මොලොක්
පෘථිවි තලය මතට පාදූර්භූත වූ ඉතා සියුමැලි ගැහැනිය කබොල් වූ දූලි පොළොවෙහි පැලූණු පතුලින් හිටගෙන කොරල රැඳි දෑතින් බිඳුනු හදවත පිළියම් කරන්නී ද?!
සුචරිතය යනු හුදෙක් හුදෙකලා වචනයක් නොව කාලානුරූපීව විවිධ වටිනාකම් කෙමෙන් එකතු වෙමින් පරිණාමය වන්නකි. එසේනම් මානව ශිෂ්ඨාචාරයේ ශිෂ්ඨත්වය ගොඩ නැගෙනුයේ කෙසේද ඒ දයාවෙන් එකට අත්වැල් බැඳ සෞන්දර්යවාදී ගමනක යෙදෙන ස්ත්‍රීන් හා පුරුෂයින් ගෙනි. තමන් සිත් ගත් ගැහැණු සතා හට බලය පෙන්වා බලහත්කාරකම් කරන පිරිමින්ගෙන් හෝ නිවට නියාලුව ඒ සියලු වද වේදනා උහුලා සිටින ගැහැණුන්ගෙන් ශීලාචාර ශිෂ්ටාචාරයක් බිහි නොවේ. විනීත බව, ශීලාචාරය, සුචරිතය ගැහැණුන්ගෙන් පමණක් අපේක්ෂා කළ ප්‍රාග් යුග පසුකොට ලෝකය වේගයෙන් ඉදිරියට පැමිණෙමින් ඇත.
“මිනිසුන් “යන පොදු නිර්ණායකය යටතේ සියල්ලන් හැඳින්විය හැකි අවධියක වුවද ගැහැණුන්ගේ දිනය තවමත් මෙතරම් උත්කර්ෂයට නැංවනුයේ මන්ද?
මවගේ ගර්භාෂයෙන් මිදී මෙලොවට පය තැබූ දා සිට බොහෝ වාරයක් දැරියන්ගේ සවනට ඇසෙන ” ගැහැනු ළමයි කෙසේ හැසිරිය යුතුද?” යනාදී ප්‍රාථමික ගණයේ අවවාද අනුශාසනා
ඉදිරි ලෝකයට තවදුරටත් වලංගු නොවනු ඇත.
එකම ලෙසින් රළු සුමටතා ඇති මහපොළොව විඳින හා විඳවන, එකම ප්‍රණ වායුව ආශ්වාස කරන, එකම ආකාරයේ සතර මහා ධාතුවෙන් උපන් මානවයා ගැහැණුන් හා පිරිමින් ලෙස බෙදා අගතිගාමී ලෙස වෙනස්ව සැලකීම කවදා ඇරඹුණේදැයි අපි නොදත්තෙමු.
ලෝකයේ පැවැත්ම පිළිබඳ සුපුවත තමාගේ හද තුළ පවත්වන නියමාකාරයෙන් පුරුෂාර්ථය දත් දයාර්ද වූ සැබෑ පිරිමින් විසින් ද,
තම ස්ත්‍රී වර්ගයා වෙත ස්නේහවත් ශක්තිමත් ගැහැණුන් විසින්ද එම බෙදීම් සීමා මකා දමමින් පවතී.
ගැහැණියක් විසින් තමා සතු වගකීම් යුතුකම් හරි හැටියෙන් නිවැරදි ලෙස අවබෝධ කරගත යුතුවන්නේ එසේ හෙයිනි.
අද ලෝකයේ මව්වරුන් මත හෙට ලෝකයේ ක්‍රියා කලාපය පවතින බව ඒබ්‍රහම් ලින්කන් මහතා විසින් පවසා ඇත.
වියවුලෙන් වියවුලට ගිය බොහෝ සමාජ අර්බුදයන්හි මූලය සොයන සමාජ ගවේෂකයන් හට අවසානයේ පොදුවේ නිරීක්ෂණය වනුයේ බිඳුණු දරුවන් බිඳුණු වැඩිහිටියන් බවටද, ඔවුන් ලෝකයේ වටිනාකම් විනාශ කරන්නන් බවටද පත්වීමේ ප්‍රවණතාව ඉතා ඉහළ බවයි. කුඩා උඳුපියලි පත්‍රය තුළ
නාරිටි දාර පිහිටා ඇති අයුරු පවා තීක්ෂණව සකස් කළ සොබා දහම දරුවන් දැරීමේත් වැදීමෙත් හැකියාව ගැහැනු සත්ත්වයාට ලබා දුන්නේ ඇයි?
තම වර්ගයා පවත්වාගෙන යෑමේ ප්‍රජනන ක්‍රියාවලිය සඳහා විශ්මිත වූ හැකියාවන් විවිධ ලෙසින් වෙනස්ව ජීවීන්ට ලබා දෙන ස්වභාවධර්මය තුළ ස්ත්‍රීන් මහ පොළොවේ ජීවය පවත්වා ගැනීමේ ප්‍රමුඛ හිමිකාරියන් බවට පත්වූයේ කෙසේද?
“ලෝකයේ සියලු සෞන්දර්ය බිහි වී ඇත්තේ මව් කිරෙන් හා හිරු රැසින්” යැයි රුසියානු මහා ලේඛක
මැක්සීම් ගෝර්කී විසින් වරක් පවසා ඇත.
ස්වභාවධර්මය විසින් ගැහැණිය නිසඟයෙන් මහපොළොවට බැඳ දමා තබන පලමු සහ ශක්තිමත් ම යදම මාතෘත්වයයි.
පොළොව, මුහුද, කඳු, ගංගා හැඳින්වීමට කාන්තාවන් ආදේශ කර ඇත්තේ
ජෛව විද්‍යාත්මකවම
කාන්තාවට උරුම වූ දරාගැනීමේ හා ඉවසීමේ හැකියාව සංකේතවත් කිරීම සඳහා නොවන්නේද?
තමන්ගේ වටිනාකම් තමා විසින්ම තක්සේරු කරගත් ගැහැනියක් මවක, බිරිඳක, සොයුරියක, යෙහෙළියක ලෙසින් කාන්තාව සතු සියළු භූමිකා වඩා හොඳින් පණ පොවන්නීය වඩාත් සුන්දර වඩාත්ම
බුද්ධිමත් ගැහැනියයි..ඒ ඇය කිසිවිටක තමන් සතු ශක්තීන් අව ප්‍රමාණ නොකරන නිසාය.
ජීවිතයේ සතුට තමා තුළම කණිමින් සොයා බාහිර ලෝකයට පතුරාලීම කළ හැක්කේ ඉතා සුන්දරම ගැහැණුන්ට පමණකි

සිය හදවත් පැලුම් තුලින් හිරු එළිය රිංගවාගන්නා සොඳුරු කාන්තාවෝ රළු කබොලක් සහිත පෘථිවිතලය මත රිදුම් දරා නොවැටී සිටිමින් සිය සංතාන තුළ පිපෙන නෙක වර්ණැති පුෂ්පයන්ගේ සුවඳ ලෝකයට
පතුරවති.
මගේ මේ ලියමන පැලුණු පතුල් හෝ රළු දෑත් ඇතිව හෝ නැතිව එහෙත් හදවත් පැලුම් තුලින් හිරු රැස් උරා ලෝකය ස්නේහයෙන් උණුසුමව තබන්නට වෙර දරන එවන් ලලනාවන්ට උපහාර පිණිසය.
වත්සලා කන්නන්ගර