මුළු පරිසරයම
අඳුරින් වෙලිලා
කෑලි කැපිය හැකි
කළුවර
අතීතය වගේම
මහ දුකක් ඇස්
පිය මත ගුලි ගැහිලා….
හැමෝම මේ
නිදගත් මොහොතේ
මගේ සිත පමණක්
අවදිවෙලා…
නිදිමත අතිත මතකයන්
පලවාහැර දමලා…
පියවී ඇති නෙතුපියන් අතරින් ගලායන
උණුම උණු කඳුළු බිඳු
මුහුණ දිගේ ඇදී ගොස්
කොට්ටය මත
නොයෙක් නොයෙක්
දිශාවන් පුරා විසිරි ගිහිල්ලා
හරියට මගේ ජීවිතය වගේ…..
” දැන් නිදාගනින් දුවේ “
ආදරණිය කටහඬින්
කණ වැටුණු සැනෙන්
මට දැණුනේ ඇයත්
මං එක්කම නිදිනැතිව
හඬාවැටෙන බවයි
තනියට ඇගේ සිතත් ඒ මතම
අම්මේ මං දන්නවා
මගේ ජීවිතය නුඹට
මහ දුකක් බව….
විවාහය බිඳ වැටිලා..
කුරිරු මිනිසෙකු ලඟ
දිවි ගෙවමින් දුක ම
ජීවිතයම කරගත් මම
නුඹ ලඟට ආපහු ඇවිල්ලා….
මගේම කුසින් බිහිකරපු
දියණයත් සමඟම…..
එදා මම දීග යන
දවසේ නුඹ හැඬුවත්
දන්නවා මම
නුඹ තරම් කව්රුත්
සතුටු නොවුනු බව මිහිමත
තාත්තාවත් නැති
මගේ අනාගතය….
මගේ ජීවිතයේ සතුට හා
රැකවරණය තවත් මිනිසෙකුගෙන් ලැබෙන බව
නුඹට දැනුණ නිසා ……
මහමෙරක් පැතුම්
සිත පුරා ඉතිරිලා…
අළුත් කැදැල්ලකට…
සෑම ගැහැණියකගේ
ජීවිතයේ
සතුට සිනහව
උණුසුම රැකවරණය …….
හා ආරක්ෂා වත් බලාපොරොත්තුවුන
ගැහැණු අතර මමත්
තවත් එක් ගැහැණියක් වුණා….
එහෙත්…
ගතවු කාලය…..
සුන්දර කතාබහ වෙනුවට
රළු දරුණු විස වදන්…
දයාදර උණුසුම වෙනුවට
රත් පැහැගත්
අතැඟිලි වල හැඩතල
සිරුර පුරා පුපුරලා….
සෙනෙහසක දැවටීම
වෙනුවට කතානොකරන
දින සති ගෙවන්නට
සිදුවෙලා……
මට මාවම අහිමි කරලා
විවාහය…….
ජීවිතයේ නීරසම
කාලය බවට පත්වෙලා
ඔහුගේ එකම සතුටේ
බාදකය මා බව මට වැටහුණා
පා පහරින් එළියට වීසිවුනු
ජීවිතය යළිත් මගේ
අම්මත් සමග……
මට වැඩියෙන්ම දුක
මගේ අම්මා මා නිසා
විඳින වේදනාවයි …..
මේ කිසිත් නොදන්නා
නරුමයකුගේ ලෙයින් උපන්
දියණියකගේ හෙට
දවසේ අනාගතයයි……
මේ රාත්‍රිය ….
අළුත්,
වේදනාවෙන් ඇරඹෙන
මේ රාත්‍රිය දිගුයි..
උදෑසනක් යළිත් හමු
නොවන ලෙස
වේදනාවෙන් ගෙවන
මේ රාත්‍රිය අවිනිශ්චිත ජීවතය
අවසන් වනතෙක්
විඳින්නට…ම
නොගැලෙපෙන මිනිසෙකු
ජීවිතයට ලන්කරගත්
වැරැද්දට……….
සුධර්ම රත්නායක
2025 මාර්තු 08