“ඇවිද්ද පා” W.A. අබේසිංහයන් ගේ ”දේශ දේශාන්තරයෙහි”

රූ.1600/- ක් පමණක් වැය කර , රටවල් රැසක මෙන්ම ලෝ පසිඳු නගර කිහිපයක මම සිත් සේ සංචාරය කළෙමි. එය නිකම් සංචාරයක් නොව එකී රටවල සාහිත්‍යය, සංගීතය, නර්තනය ආදි සකලවිධ කලාවන් ගැන මෙන්ම, මානව සබඳතා පිළිබඳ මනා පරිචයක් ඇති විද්වත් මඟ පෙන්වන්නකු (guide) ද සමග කළ චාරිකාවකි. එනම් විශිෂ්ට තම සාහිත්‍ය ධරයකු වූ අධිනීතිඥ, ආචාර්ය W.A. අබේසිංහයන් ගේ ”දේශ දේශාන්තරයෙහි” නමැති අගනා කෘතියේ පිටු 417 ක් පුරා දින 10 ක කාල සීමාවක් තුළ මහත් ආශාවෙන් කළ සැරි
සැරියකි.

එය මූලික වශයෙන් ඉන්දියාව,නේපාලය, රුසියාව, සයිප්‍රසය, ජෝර්ජියා ව,
සිරියාව, ලෙබනනය, සිංගප්පූරුව, දකුණු කොරියාව හා මොංගෝලියාව ද යන රටවල් හා ඒවායේ ප්‍රධාන නගරවල දැකිය යුතු සුවිශේෂී වැදගත් ස්ථාන රැසක්ම ආවරණය කළ චාරිකාවකි.

කවිය ගැන විශේෂ උනන්දුවක් දක්වන අබේසිංහයන් ඉන්දියාවේ බෝපාල් නුවර, භාරත්
භවන් හි පැවති ,’ කවිතා ඒෂියා සමුළුව පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්නේ එහිදී හමු වූ විවිධ රටවල කවීන් හා කවි රචනා පිළිබඳ විමර්ශනයක් ද කරමිනි. පංජාබ් ජාතික ‘මංජිත් තිවානා’ එහිදී කළ මෙම ප්‍රකාශය, මනුෂ්‍යත්වය එක මිටට කුළුගන්වන්නකි.

“මා කෙනෙක් දිහා
බලන්නේ ,මනුෂ්‍ය ප්‍රාණියකු හැටියට විතරමයි’

ඉන්දියාවේ සියලුම සිද්ධස්ථාන වලට සහ බෝපාල් සමීපයෙහි පිහිටි සාංචිය, අග්‍රා හි ටාජ්මහල්, හා දිල්ලියේ රතු බලකොටුව තුළට ද ඔහු අප කැඳවාගෙන යයි.

යටත් විජිත යුගයේ ඉන්දියාවේ විසුරේ කෙනෙකු වූ මවුන්ට් බැට්න් සාමිගේ බිරිඳ එඩ්විනා හා ජවහර්ලාල් නේරු අතර පැවැති සමීප සබඳතාවය ගැන ද, ප්‍රකට ලේඛකයකූ වූ මුල්ක්රාජ් ආනන්ද් ගේ ලාංකික පෙම්වතිය ගැන ද රසබර තොරතුරු රැසක් මෙහි ඇත.
***. ***
සෝවියට් දේශයේ (රුසියාව) ලෙනින් ග්‍රාද් ( ශාන්ත පිටස්බර්ග්) නගරය ජර්මානු හමුදාවෙන් ආරක්ෂා කර ගැනීමට
සටන් වැදුණු, දින 872 ක් කොටුවී සිටි සොල්දාදුවන් ඇතුළු නගරවාසී
න් ලක්‍ෂ 15 ක් දිවි පිදූ ඛේදවාචකය ගැන ද එහි සඳහන්ව ඇත. සාර් පෙළපතේ වාසභවනය වූ වින්ටර් මාලිගය හා එහි ගොඩනැඟිලි 5 ක පිහිටුවා ඇති ඓතිහාසික මෙන්ම සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන හර්මිටේජ් කෞතුකාගාරය ගැන විස්තරයක් ද මෙහි ඇත.මොස්කව් හි ලෙනින් ස්මාරකය, හංස විල මුද්‍රා ණාට්‍ය ය රඟ දැක්වූ බොල්ෂොයි රඟහල, පිළිබඳව අගනා විස්තරයක් ද ඇත. එසේම කළු මුහුද ආශ්‍රිතව ඇති මනස්කාන්ත ‘සෝචි’ හි ඇති මතෙස්තා උණු දිය ස්නානය හා ඊට මග පෙන්වන සෞඛ්‍ය නිකේතන ගැන ද අපූරු විස්තරයකි.

ජෝර්ජියාවේ ‘ටිබිලිසි’ අග
නුවර හා එහි වැසියන්ගේ විශ්මිත ආගන්තුක සත්කාර ගැනත්, 2 වන ලෝක යුද ජයග්‍රහණයේ නියමුවා වූ ජෝශප් ස්ටාලින් ගේ නිවස පිහිටි, ගම වන ‘ගෝරි’ වෙත ගිය ගමන ගැනත්, සුන්දර ‘බර්ජෝම්’ නුවර ගැනත් ආකර්ශනීය තොරතුරු ද වේ.

සිරියාවේ ‘දමස්කස්’ නුවර පලස්තීන සරණාගත කඳවුරු ගැන සඳහන් කරන කතුවරයා නිරුවත් කුඩා දරුවන්ද, අඩක් විලිවසා ගත් කාන්තාවන් හා එම පවුල් ජීවත් වන පුංචි ඉඩකඩ ගැන ද සානුකම්පික හැඟීමෙන් යුතුව සඳහන් කරයි.

සයිබීරියාවේ ටයිගා වනාන්තරය, විසල් බයිකාල් විල, බෙන්තෙයි කඳු වැටිය උඩින්, මොන්ගෝලියාව බලා ගිය පියාසැරිය අපූරුය. මොන්ගෝලියාවේ අගනුවර වූ ‘උලන් බතෝර්’ හි පැවැති ලේඛක සමුළුවට සහභාගි වූ ලේඛකයා සමාජවාදී බෞද්ධ රාජ්‍යයක් වූ එහි රාජ්‍ය කෞතුකාගාරයේඇති ප්‍රාග් ඓතිහාසික සත්ව පොසිල හා දුලබ පළිඟු පාෂාණ වර්ග ගැන ද අගනා විස්තරයක් කරයි.

පුවත්පත් කතුවරුන් ගේ,සමුළුවකට සහභාගි වෙමින් දකුණු කොරියාවේ දින 4 ක කෙටි කාලයක් සියෝල් නුවර රැඳී සිටි කතුවරයා,එරට සංකර වී ඇති කොරියානු බෞද්ධ සමාජය ගැනත් විග්‍රහයක් කරන අතර, එහි පැවැති සාදයේ දී එක් එක් අමුත්තන්ට සංග්‍රහ කිරීමට එක් එක් කොරියානු තරුණිය බැගින් යොදවා තිබීම ගැන පවසා ඇත්තේ, සංග්‍රහශීලීත්වය ‘ටිකක් දුර දිග ගියා යැ’ යි සඳහන් කරමිනි.

සිංගප්පූරුවේ දියුණුව ගැන හා එහි දියුණුව ළඟා කර ගැනීමට ‘ලී ක්වාන් යූ’ ගත් පරිශ්‍රමය ගැන සඳහන් කරන කතුවරයා, සන්තෝෂා දිවයින හා සාගරය මතින් ගිය ත්‍රාසජනක කේබල් රිය ගමන ගැනත්, විවිධාකාර වෙළඳ සංකීර්ණ ගැනත් සඳහන් කරයි.

දිනක් ටැක්සියකින් යන විට මෙහි ජාතිවාදයක් නැත්දැයි කතුවරයා රියදුරුගෙන් විමසා ඇත.

“මුස්ලිම් ජාතිවාදයක් මුලදී ඇති වේගෙන ආවා”

“ඒ ජාතිවාදයට මොකද උනේ”

“ඩිෂුම්.. ඩිෂුම්.

(ඔහුගේ පිළිතුර එපමණකි.)

‘සිංගප්පූරුවේ මානව හා භෞතික සංවර්ධනයත්, නිදහසත්, විනයත් යන කරුණු තුනම එකම දම්වැලක ශක්තිමත් පුරුක් ය. කඩන්ට, බිඳින්ට, ගලවන්ට බැරි තරමටම ශක්තිමත්ය. ඒ තරමටම තහවුරුය.

චීන සංචාරයේදී බීජිං හි තහනම් නගරයට ගිය ගමනත් එහි රජමාලිගා සංකීර්ණය, චීන ජාතික කෞතුකාගාරය, මියුසියම් පැලස්, ගැනත් විස්තර කර ඇත. මේ රජ. මාළිගා සංකීර්ණයේ කාමර 9999 කි.එහි අවසන් ‘මිංග් අධිරාජයාට, අවුරුදු 13 – 17 ත් අතර සුරූපී බිසෝවරුන් 55 ක් සිට ඇත. වසර 3 කින් ඔවුන්ගේ සේවාව නතර කර, අතහැර දමනු ලබති.

.කතුවරයාගේ දියණියක වූ ‘ප්‍රතිභා’ හමුවීමට නවසීලන්තයේ උතුරු දිවයිනේ ‘පාමර්ස්ටන් නෝර්ත්’ හි ගතකළ තෙමසක කාලය පිළිබඳ විස්තරය පිටු 71 ක් පුරා ඇත.පවිටු භූමි පුත්‍ර වාදයත්, ආගමික මූලධර්ම වාදයත් යන දෙකම එහි ජනතාවත්, එහි ආණ්ඩුවත්, බැහැර කර ඇති බවත්, එහි පවතින්නේ බහු සංස්කෘතික වාදය බවත් සඳහන් කරයි. ආදී වාසීන් වන ‘මවුරි’ ජනයා සමඟ සහයෝගී පැවැත්මක් එරට පවතී. නවසිලන්තයේ ඇති සාමකාමී වාතාවරණය ගැන සඳහන් කරන කතුවරයා “මගේ මිණිපිරියන් දෙදෙනාටත්, ඔවුන්ගෙන් පැවතෙන මතු පරම්පරාවටත්, නවසීලන්ත යේ දී නිසි රැකවරණය ලබන බව මා තුළ ඇති විශ්වාසය අද මට මහත් සැනසිල්ල ක්” යයි සඳහන් කර ඇත.

කතුවරයා කර ඇති සඳහන කින් මෙම ලිපිය මම අවසන් කරමි.

“ලෝකය කොතරම් පුංචි ද? ජනතාවන් අතර ඇති දුර ප්‍රමාණය මොන තරම් කෙටි ද? මෙවන් ලොවක බේද සමනය කොට, එකම පවුලක් සේ ජීවත් වන්නට මිනිසුන්ට බැරිද? ලොවෙහි ඇවිදින විට, නන් වග මිනිසුන්, නන් විධ කරුණු දැනගන්නා විට, කෙනෙකු තුළ උපදින ඒ අහිංසක සිතිවිල්ල, අසාධාරණ සිතිවිල්ල කැයි චෝදනා කරන්නට ඔබට පිළිවන්ද?

( මනුෂ්‍යත්වයේ චාරිකාවක් බඳුවූ මෙය, මා කියවූ සාර්ථකම දේශාටන වාර්තාවයි.)

More From Author

බූරුවා බෙරිහන් දෙන්නේ ඇයි ?

එහෙම දවස් තිබුනා..

Leave a Reply

Categories

LDM Columns