මගේම අකුරු මගේ හදවත රිද්දනු දැක

බැදීමි අඩුතැන හිතේ නිදහස වඩා වඩා වැඩි⁣යෙන් පවති . දැවෙමින් පවත්නා තත්වයක වුවද, මේ සවස් කල පසුබිමින් මියුරු සංගීතයක් වාදනය වන්නට හැර, හන්තාන කඳුවැටියෙන් ඔබ්බට දෑස් දල්වාගෙන මම බලා සිටිමි.

බොහෝම කලෙකින් ලද විවේක සුවයෙන් යුක්ත මේ සැඳෑවේ මා සිටිතැයි අපේක්ෂා කල නොහැකි මානසික ව්‍යාකූල තත්ත්වයක සිට වුවද, හාත්පස බලාගෙන සිටියදී පොතක් පෑනක් ගෙන යමක් කුරුටු ගෑමට හිතට එක්වරම පැමිණි අදහසක් අනුව පරණ ලියා ඉතිරි වු CR පොතක පිටු අතර මේ වචන පොඟවමි.

නාගරික පරිසරයක වුවද, ඇතුලට වෙන්නට පිහිටි මගේ නිවස අවට මේ මොහොතේද කුරුලු කෙවිල්ලන්ගේ කිචි බිචිය නොඅඩුය. ඒ මගේ හිතට විවිධ සිතිවිලි ගෙන එන්නට සමත් තරමේ නින්නාදයක්ම විය.

වැඩ අවසන් නැති අල්ලපු ගෙදර උඩු මහල තැනීමට යොදා ඇති කොන්ක්‍රීට් කණු මත ලැග සිටින කුරුලු ජෝඩුව මදෙස බලාගෙන කිචි බිචිය පෑවේ ඔච්චමටදැයි නිකමට මට සිතිනි.

අකුරු කිරීමට වැදගත් යමක් හිතට නොනැගුනත්, හිතේ පෙරලි කරන හැඟුම් සමුදාය පොතට ගන්නට බැරි වුනත්, මියුරු සංගීත රටා හදවතේ තවරාගෙන ඔහේ ලියමි.

දරු දැරියන් පිරිවරා, තම ප්‍රිය බිරිඳ සැමියා සමඟ හෝ තම ප්‍රියයන් සමඟ සවස් කල ගත කරන ඔබට, මගේ මේ සිතිවිලි තේරුම්ගත නොහැකි වනු ඇති. මම කොහේ හෝ ඇසූ පරිදි “බැඳීම් අඩු තැන හිතේ නිදහස වඩා වැඩියෙන් පවතී” යයි අදහස් දැරුවද, ඇත්තෙන්ම මෙහි ඇත්තේ දැරිය නොහැකි පාලුවකි. තනිකමකි.

හිතක පාලු මකා ගැනීමට කවුරුන්වත් රඳවා ගත නොහැකිය. තම තමන්ට හිමි වපසරිය,තුල තම තමාගේ ජීවිත, තම තමාගේ වගකීම් දරන්නන් නගා සිටුවා තැබීම සඳහා අනවරත අරගලයක සියල්ලෝම යෙදී සිටිති.

ඉඳින්, මා මේ තනිකමට හුරු හිත, සිනමා සිත්තමක, පොතක පතක, මියුරු ගීතයක අලවාගෙන කාලය ගෙවමි.

හිත පුරාම ඇති ආදරය මුලු විශ්වය සිසාරා පා කර හරිමි. තනි නොතනි සන්තානය තුල නින්නාද දෙන සිතිවිලි මගේ තනි නොතනියට අදත්, හෙටත්, මතුවටත් මා මියෙන තෙක්ම මා සමඟ සිටිනු ඇති.

මගේම අකුරු මගේ හදවත රිද්දනු දැක මදක් නිසොල්මනේ ඈත බලා සිටිමි.

“ඔයා අපිව අඬවනවා” අද මා කියවන්නියක මට පැවසීය. “ලියද්දී මටත් ඇඬෙනවා” මම පිලිවදන් දීමි.
කෙසේ වුවද මාව කියවන ඈ වෙත හිතේ ඉපදුනේ ස්තූතිය පූර්වක ආදරයකි.

දවසේ රස මතක තුල හදවත රඳවාගෙන හිඳින මේ අලස කල්පනා සහිත විරාමය විටෙක හිතට නිවනකි.

ක්‍රම ක්‍රමයෙන් ගස් වැල් අතරින් අඳුර පිරී යනු පෙනේ. තව නොබෝ වෙලාවකින් කළුවර සමඟ එකතු වන මේ ගස් වැල් වෙන වෙනම හඳුනාගත නොහැකි වනු ඇතිය.

මගේ හදවතත් එසේ වැනිය. දුක සතුට තවරාගෙන, දුකෙන්දැයි සතුටින් දැයි වෙන වෙනම හඳුනාගත හැකි නොවන ලෙස හෙටත් මම ඔබට සිනාපිරි මුව මඬල පෙන්වමි.

මා සුන්දර යයි ඔබ පවසනු මට ඇසෙනු ද ඇත.

More From Author

සියවසට පිය නගන – ”පිං බෙහෙත් ශාලාව” හෙවත් ශ‍්‍රී ලංකාවේ පළමු නාගරික ආයූර්වේද ප‍්‍රතිකාර සේවාව.  

මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම පිළිබඳව ලියොන් ට්‍රොට්ස්කි ලියූ ලිපිය

Leave a Reply

Categories

LDM Columns