දිවයිනේ ආරම්භ කරන ලද පළමු පිං බෙහෙත් ශාලාව නොහොත් නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව , 1925 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින ආරම්භ කරන ලද මහනුවර මහා නගර සභාවේ කටුකැලේ නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාවයි .
ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ දේශීය වෙදකම, ඈත රාවණා යුගය දක්වා දිවෙන බවත්, එහි ආදී කතෘවරයා පුලස්ති නම් ඝෘෂිවරයා බවත් කියවේ . දේශීය වෙදකම සහ ඉන්දීය ආයූර්වේද වෙදකම අතර බොහෝ සමානකම් දක්නට ඇති බව විද්වත් මතයයි. ස්වභාවික පරිසරය හා බැඳුණු දේශීය පාරම්පරික වෙදකම, බටහිර වෛද්‍යක‍්‍රම ප‍්‍රචලිතව නොතිබූ ඈත යුගයේ පටන්, ලාංකීය ජන ජීවිතයේ කොටසක්ව පැවතිණි. දරුවකු ඉපදී සති දෙකක් තුල ලබාදෙන උරබෙහෙත් සහ මාස තුනක් ඉක්මවූ පසු ලබා දෙන රත කල්කය, අධි ප‍්‍රතිශක්තීකරණ ඖෂධයක් බව අදට ද ජන විඥණය තුල ගැඔුරෙහි තැන්පත්ව ඇති කරුණකි.

වර්තමානයේද විවිධ සෞඛ්‍ය ගැටළු සඳහා , ආයූර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර කෙරෙහි වැඩි විශ්වාසයක් දක්වන මහනුවර මහා නගර සභා බල සීමාවේ ජනතාව වෙනුවෙන් , නාගරික ආයූර්වේද වෛද්‍ය සේවාව සියවසකට ආසන්න කාලයක් පුරාවට මහනුවර මහා නගර සභාව මගින් පවත්වාගෙන යනු ලබයි.
1925 වර්ෂයේ ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම නාගරික නිදහස් ආයූර්වේද වෛද්‍ය සේවාව, මහනුවර මහා නගර සභාව සතු වන අතර, නාගරික ජනතාවට අවැසි වෛද්‍ය ප‍්‍රතිකාර , උපදෙස් හා ඖෂධ ලබාදීම නොමිලේ එමගින් සිදු වූ බැවින්, එවකට ජනතාව අතර එය වඩාත් ප‍්‍රචලිත වූයේ ” පිං බෙහෙත් ශාලාව ” නමිණි.
මහනුවර මහා නගර සභා බල ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ මානසික , ශාරීරික සෞඛ්‍ය ඉහළ නැංවීම, ඖෂධ පැලෑටි වගා කිරීම තුලින් ඖෂධ නිශ්පාදනය , නොමිළේ ප‍්‍රතිකාර සේවාවන් හා උපදෙස් ලබාදීම දැක්ම කොටගෙන, දිවයිනේ ආරම්භ කරන ලද පළමු පිං බෙහෙත් ශාලාව නොහොත් නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව , 1925 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින ආරම්භ කරන ලද කටුකැලේ නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාවයි .
එවකට නගරය තුල ආයූර්වේද ප‍්‍රතිකාර කෙරෙහි පැවති දැඩි අවශ්‍යතාවය හේතුවෙන් , 1940 වර්ෂයේ අස්ගිරිය, ගැටඹේ, බූවැලිකඩ යන ප‍්‍රදේශවලද 1950 වර්ෂයේ කටුගස්තොටද ,1962 වර්ෂයේ අම්පිටිය හා අරුප්පල ද , 1963 වර්ෂයේ මහයියාවද , 1987 වර්ෂයේ ජාතික පොළ සහ 1988 වර්ෂයේ රෝසවත්ත හා දංගොල්ල යන ප‍්‍රදේශවලද , නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලා ආරම්භ කිරීමට මහනුවර මහා නගර සභාව විසින්, ජනතා අභිලාශයන් පරිදි කටයුතු කර ඇත.
නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලා මගින් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍යවන ඖෂධ, වඩාත් විශ්වාසදායී ලෙස ලබාදීමේ අරමුණින් යුතුව , 1940 වර්ෂයේ ආරම්භ කරන ලද ගැටඹේ ආයූර්වේද ඖෂධ නිශ්පාදනාගාරය අදවන විට වඩාත් ක‍්‍රමවත්ව හා නවීණ යන්ත‍්‍රසූත‍්‍ර වලින් පරිපූර්ණව ඖෂධ නිශ්පාදනයේ යෙදී සිටී. අම්පිටිය, අරුප්පල හා දුණුමඩලාව වැනි නාගරික ඔසු උයන් පවත්වාගෙන යමින් එයින් ගන්නා ඖෂධ වර්ග යොදා දෙසඳුන් කල්කය , පිණ්ඩ /සර්පෂාදී /නීල්‍යාදී /සීතෝදක /පීනස් නිර්ගුන්ඩ වැනි තෙල් වර්ගද , විවිධ ක‍්‍රාන්ත වර්ග ,ගල් තැළුම් ලේපය , අර්ශස් ලේපය ආදී නිශ්පාදන රාශියක්ද එ් අතර වේ. කොරෝනා අවධානම හේතුවෙන් රට වසා තබා ඇති කාල සීමාවේ නගරයේ ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ අරමුණින් 26,000 ක් ඉක්මවූ නාගරික සෑම නිවසකටම පැමිණ, නොමිලේ ලබාදුන් සුවධරණී ප‍්‍රතිශක්තිකරණ ඖෂධයද මෙම නිශ්පාදනාගාරයේම නිපදවූවකි.
නාගරික ආයූර්වේද ප‍්‍රතිකාර සේවාව ,පුරා වසර 96 ක් අඛංණ්ඩව ලබාගත් ජනතා විශ්වාසය තුලින් රුව වර්ධන සත්කාර කෙරෙහිද මේ වනවිට අවධානය යොමුකර ඇත. සියයට සියයක්ම ස්වභාවික ඖෂධ භාවිතාකොට නිපදවන ලද නිලීකාහර හර්බල් පවුඩර් , ඡුවික‍්‍රාන්ති හර්බල් පවුඩර් , කේෂ රංජනී තෛලය , නෙල්ලි චූර්ණය , සුදුහඳුන් චූර්ණය , වෙනිවැල්ගැට චූර්ණය , ආයූර්වේද ෂැම්පු , බොඩිවොෂ් , ෆේස් වොෂ් වැනි නිශ්පාදන මේ වනවිටත් නාගරික ඖෂධ අලෙවිසැල් වළින් ජනතාවට විශ්වාසදායිව ලබා ගැනීමට අවස්ථාව සළසා ඇත.
නාගරික ජනතාවට ලබාදෙන අතිරේක සේවාවන් වශයෙන්, තෙල් බෙහෙත් ගැල්වීම , වාශ්ප ස්වේද, නාඩි ස්වේද, ශිරෝධාරා , ආක්ෂි පූර්ණ වැනි ප‍්‍රතිකාර ලබාදීමේ අරමුණින් 2013 වර්ෂයේ ආරම්භ කරන ලද අස්ගිරිය නාගරික පංචකර්ම ඒකකය ජනතාව අතර වඩාත් ප‍්‍රචලිතව ඇති තවත් සේවාවකි . ඉතා සහනදායී ගාස්තුවක් අයකරමින් සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙහි ප‍්‍රතිකාර, පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ , සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයක් මගින් සිදුකෙරේ.
ස්වභාවික ඖෂධ භාවිතාකරමින් සිදුකරනු ලබන ප‍්‍රතිකාර කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තබා ඇති මොහොතක , නාගරික ආයූර්වේද දෙපාර්තමේන්තුව මගින් , යහපත් කායික හා මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම උදෙසා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යාමද සිදුකරයි. රූපවාහිණී හා ගුවන් විදුලි වැඩසටහන්, ග‍්‍රාමීය වැඩසටහන් මෙන්ම පාසල් වැඩසටහන් ද ඒ අතර වේ.

ජාතික උරුමයක් වශයෙන් සැළකෙන දේශීය වෛද්‍ය ක‍්‍රමය , වියැකී යා නොදී විධිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම උදෙසා, හිටපු ආයූර්වේද වෛද්‍ය ඒ. කේ. නීල් ශාන්ත මහතාගේ මැදිහත්වීමෙන්, පාසල් විෂය මාලාවට දේශීය වෛද්‍ය ක‍්‍රමයද ඇතුලත් කරන ලෙස ඉල්ලා සකස් කරන ලද යෝජනාවක් ගරු මහා සභාවේ සම්මුතියෙන් ආයූර්වේද කොමසාරිස්වරයා වෙත යැවූ ශ‍්‍රී ලංකාවේ එකම පළාත් පාලන ආයතනයද මහනුවර මහා නගර සභාවයි.

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ පූර්ණ උපදේශකත්වය හා අධීක්ෂණය මත, ප‍්‍රධාන නාගරික ආයූර්වේද වෛද්‍ය ඞී.එම්.ඞී.ටී. කේ. දිසානායක මහත්මිය සමග ආයූර්වේද වෛද්‍ය මඩුල්ල ඇතුළු පනහකට ආසන්න කාර්ය මණ්ඩලයක් මගින් නාගරික ආයූර්වේද දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක වන අතර නූතන සමාජ පරිවර්තනයන් හමුවේ කාළීණ අවශ්‍යතා හඳුනා ගනිමින්, නාගරික බදුගෙවන ජනතාවගේ කායික මානසික නීරෝගීභාවය ආරක්ෂාකරදීමේ පුණ්‍යවන්ත මෙහෙවර ඉදිරියටත් , අඛංණ්ඩව පවත්වා ගැනීම උදෙසා මහනුවර මහා නගර සභාවේ ආයූර්වේද සේවාව සියවසක් අභියස අභිමානයෙන් යුතුව පෙළගැසී සිටී.
දයා උඩුරාවණ