මගේ පළමුවෙනි කැමරාව

ඉවරයක් නැතිව පින්තූර ගන්න එක පටන් ගත්තේ අද ඊයේ නොවේය.
මගේ පළමුවෙනි කැමරාව මට ලැබුනේ 2001 වර්ෂයේදීය. පින්තූර ගැනීමට මගේ ඇති අධික කැමැත්ත පිලිබඳව මනා ලෙස දැන හුන් බැවින්, මා පුතු ඉපදීමට මාස කිහිපයක් තිබියදී, සිංගප්පූරු ගමනක් ගොස් එන විට මගේ ප්‍රියාදරයා විසින් ගෙන එන ලද්දෙන්, මගේ පුතාගේ කුඩා වියේ පටන් පින්තූර ගෙන එකතු කර ගැනීමට මට හැකි විය. එම පින්තූර මුද්‍රණය කර එහි පිටුපස සිද්ධිය හා දිනය ලියා ලැමිනේට් කර සාදා ඇති පින්තූර ඇල්බම කිහිපයක්ම මා සතුය.

ඊටත් අවුරුදු හතකට පමණ පසු මම ඩිජිටල් කැමරාවක හිමිකාරීත්වය ලැබීමි. අප තිදෙනාම චීන සංචාරයක ගොස් සිටියදී ඔහු විසින් ඒ මිලදී ගෙන දුනි. හිතේ හැටියට පින්තූර ලබා ගත් අතර සංයුක්ත තැටි තුල රඳවා, අද ද මගේ තනි නොතනියට ඒවා මගේ ළඟ සුරැකිව තබාගෙන ඇත.

අද මෙන් නොව එකල සෙල්ෆි පොටෝ ලබා ගැනීමට පහසුකම් නොතිබූ බැවින් එවැනි පොටෝ නම් එකක් වත් නොමැත. හරියටම කිව්වොත් අපි දෙදෙනා සෙල්ෆි පොටෝ එකක් වත් අරගෙන නොමැත.

කාලය ඉගිල යද්දී, අපේ ජීවිත වල ලොකු ලොකු වෙනස්‌කම් සිදුවූ අතර, ඒ මැදින් මමත් පුතණුවෝත් අද දක්වා ආ ගමන සපැමිණ ඇත.
වෙනසකට ඇත්තේ අප තිදෙනෙක් වෙනුවට දෙදෙනෙකු සිටීම පමණය.

ඊටත් ටික කාලයකට පසුව වෛවර්ණ පින්තූර ගත හැකි ස්මාට් දුරකතනයක් මම විසින් මට මිල දී ගතිමි. යන එන තැන, පාර තොට, මල්, ගස්, මගේ ඇහැට ප්‍රිය සෑම දේම මගේ ජංගම දුරකථනයේ ගබඩා කර ගතිමි.

මගේ පින්තූර ගැනීමේ කැමැත්තට අප්පච්චිගෙන් සේම පුතාගෙන්ද ලැබුනේ, ලැබෙන්නේ නොමද සහායකි. ඒ කාලයේ සේම පින්තූරයක් වෙනුවෙන් නැවතීමට, පෙනී සිටීමට පුතණුවන් ද කිසිවිටෙක අදිමදි නොකරන බැවින්, ඒ මට මහා සහායක්ම විය.

මා සතුව දැනට පවතින ස්මාට් දුරකථනය සාමාන්‍ය තත්ත්වයේ එකක් බැවින් පින්තූර වල තත්ත්වය එතරම්ම සාර්ථක නැත. පින්තූරය යම්තාක් දුරකට පැහැදිලි කිරීම සඳහා ජංගම දුරකතනය තුල ඇති විවිධාකාර යෙදවුම් ද පාවිච්චියට ගනිමි.

කරුණු එසේ වන අතර, මගේ පුතා මා වෙනුවෙන් ඉතා හොඳ පින්තූර ලබා ගත හැකි, පහසුකම් සහිත ස්මාට් දුරකථනයකට මාරු වන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරන ලද මුත්, ඊට වඩා දේවල් කිරීමට ඇති බව පවසමින් මම ඒ අවස්ථාව මග හරිමින් සිටියෙමි.

අවසානයේදී, ඒව කෙසේ වුවත් ඉක්මණින් ඉටු නොවන බව දැන, ඔහුගේ ඉගෙනුම් කටයුතු අවසාන වීමට පෙර එවැන්නක් මිලදී ගන්නා ලෙස පවසා ඒ ගැන තවදුරටත් ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ඔහු විසින් ම නවතා දැමීය.

පසුගියදාක, මගේ පුතාගේ ජංගම දුරකථනය බසයක දී සොරා ගන්නා ලදී. ඒ සොයා ගැනීම වෙනුවෙන් කල හැකි සහ යුතු සියල්ලම ඉටු කල නමුත් මේ වන තෙක් ආපසු එය නොලැබිණි. ඒ පිළිබඳව තිබෙන බලාපොරොත්තුව එසේම තිබියදී, ඔහු වෙනුවෙන් එදිනෙදා කටයුතු සඳහා නැතුවම බැරි ජංගම දුරකථනයක් මිලදී ගැනීමට අපි දෙදෙනාම තීරණය කලෙමු.

නිරීක්ෂණ, නිගමන, තීන්දු තීරණ සියල්ල ම’පුතා ගේය.

ඒ මෙසේය.

අපි අලුත් දුරකථනයක් මිලදී ගනිමු.
එය හොඳ තත්ත්වයේ නවීන එකක් වීම අත්‍යවශ්‍යය.
පින්තූර කොලිටිය සුපිරි විය යුතුය.
එයට වියදම් වන මුදල දරන්නේ පුතා විසිනි.

හොඳම තීරණය නම්,

අලුත් ස්මාට් ජංගම දුරකථනය මා වෙනුවෙනි.

මගේ පරණ දුරකථනය ඔහු වෙනුවෙනි.

හොඳම දේ මටය.
ඕනෑම දෙයක් පලමුව මටය.
ඒ කිසිදු ඉල්ලීමකින් තොරවය.
බලකිරීමකින් තොරවය.

ඒ අප්පච්චි කල සැටිය.

අප්පච්චිගේම පුතු යනු, පෙනුමෙන් පමණක්ම නොවන්නේය.
ඇතුළු හදවතින්ද ඔහු අප්පච්චිගේ පුතාය.

මේ සංසිද්ධීන් හීන නොව හැබෑවක් ම බව අත්විඳින මං, ලොවේ සිටින වාසනාවන්තම භාර්යාව සහ අම්මා නම් වන්නේමය.

“නව දුරකථනය මා වෙනුවෙන් යනු” එක් සංසිද්ධියක් පමණක් බව අවසන ලියා තැබිය යුතු බව ඇතුලු හදවත මට පැවසීය.

හදවත සතුටින් පිරී ඉතිරී යන්නේ භාණ්ඩ ලැබීමෙන් නොව, කෙනෙකුගේ හදවත තුල අප ඉන්නා ස්ථානය පිළිබඳ අල්ප මාත්‍ර සංවේදනයකින් වන්නේමය.

මා ආශීර්වාද ලත් කාන්තාවක වන්නේ එහෙයිනි.

More From Author

මර්දන යුගයේ මතකය- රාණි | අසෝක හඳගම

විකල්පය ඇත්තටම කියැ වෙනවද

Leave a Reply

Categories

LDM Columns