දශක තුනහමාරකටත් පසුවත්, අප රටේ පැවති ඒ රාජ්‍ය මර්දනය සහ 60,000 කට වඩා තරුණ තරුණියන් මරා දැමූ 87-89 ඝාතන සංස්කෘතිය හා භීෂණය ඇසුරුකර නිපදවූ සිනමා නිර්මාණ තවමත් තිබෙන්නේ දෙඅතේ ඇඟිලි වලටත් වඩා අඩු සංඛ්‍යාවකි. අප ඊට කළින් 71 දී තරුණ තරුණියන් 15,000කට වැඩියෙන් සහ ඊට පසුව 2008/2009 දී 100,000 වැඩියෙන් මරා දැමූ ඝාතන සංස්කෘතීන්ටද හිමිකම් කියන නමුත් ඒ සියල්ලටම ඇත්තේ ගුරුගෙදර, මතුයම් දවස, ස්මරණ සමාප්ති (ටෙලි චිත්‍රපටය), පාංශු, ගින්නෙන් උපන් සීතල, රහස් කියන කඳු වැනි රූප නිර්මාණ සංඛ්‍යාව පමණි (නිර්මාණ එකක් දෙකක් මඟහැරනේනට ඇත). ඒ නිර්මාණ කිහිපය අතරට අලුතින්ම එකතුවූ Asoka Handagama ගේ ‘රාණී’ චිත්‍රපටය එම මර්දන යුගයේ මතකය ඇති කිසිවෙක් මඟහැරිය යුතු නොවේ.
එමෙන්ම වර්තමාන මැදි වයස් තරුණ පරපුර (මේ වන විට අවුරුදු 35-40 වයසැති) පවා මේ සිද්ධීන් සිදුවන විට ඉපදීවත් නොමැති හෝ එකල්හී ඉතා කුඩා දරුවන්ය. ඔවුන්ද මේ මර්දන යුගයේ කුරිරු අත්දැකීම් මෙවැනි සිනමාපට තුළින් හෝ ලැබිය යුතුය. එම නිසා ‘රාණි’ නැරඹිම ඒ ප්‍රගතිශිලී තරුණ පරපුරට ද වැදගත්ය.
හඳගමගේ නිර්මාණ බොහෝවිට සුවිශේෂීය. ඔහුට ඔහුටම ආවේනික ආඛ්‍යානයක් ඇත. ඔහු නිර්මාණයේදී රැඩිකල් තීරණ ගැනීමට නොපසුබටය. එම නිසාම ඔහුගේ නිර්මාණ බොහෝවිට නිර්දය විවේචනයට ද ලක්වන්නේය. හඳඟම තරම් බැනුම් ඇසූ වෙනත් සිනමා නිර්මාණකරුවෙක් නොමැති තරම්ය. එය එලෙසින්ම ‘රාණි’වෙතද අදාලය. සමාජජාලා පරිහරණය කිරීම බහුල වීමත් සමඟම මේ වන විට විවිධාකාරයේ සිනමා සහ දේශපාලන විචාරකයෝ බිහි වී සිටිති. එවැනි බොහොමයක් ලියැවිලි වලින් සිදුකරන්නේ යුක්ති සහගත විචාරයන්ට වඩා අධ්‍යක්ෂවරයාට චිත්‍රපටයක් නිවරැදිව නිර්මාණය කරන අයුරු නිර්දය චවන සමුදායකින් ඉගැන්වීමට උත්සහ කිරීමයි. ඒ මූර්ති ශිල්පියාගේ මූර්තිය විඳිණු වෙනුවට ‘නහය තව ටිකක් පුංචි වුණානම් හොඳයි’ වැනි විචාරයන්ය.
හඳගමගේ සියළුම නිර්මාණ නරඹා ඇති මට අනුව සිනමා අධ්‍යක්ෂණය (තිර රචනය නොවේ) සළකා බැලුවහොත් මේ හඳගමගේ හොඳම සිනමා අධ්‍යක්ෂණයයි. එයට චන්න දේශප්‍රියගේ කැමරාකරණයද රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයද හොඳින් අවශෝෂණය වී ඇත. ලංකාවේ සිනමාකරණයේ තවමත් නිරතව සිටින කලාත්මක සිනමා නිර්මාණයක් සිදුකළ හැකි අධ්‍යක්ෂවරුන් අතර හඳගම මේ වන විට පෙරමුණෙහිම සිටී. ඔහුගේ පරපුරේ ප්‍රසන්න විතානගේ ගේ මෑත නිර්මාණ සියල්ලකම පාහේ (ඔහු විසින් නඩත්තු කරමින් සිටි) ඒ සිනමාත්මක බව ගිලිහී තිබුණි (එක් නිර්මාණයක් පමණක් සිදුකළ නවක සිනමාකරුවන් ගැන නොවේ මා පවසන්නේ. එසේ ගත හොත් මණුවර්ණගේ ‘රහස් කියන කඳු’ මා දුටු විශිෂ්ටතම චිත්‍රපටයකි. ඒ ගැන පසුව ලියමි). සිය පෞද්ගලික දුෂ්කරතා/අපහසුතා සියල්ල මැඬගනිමින් ‘රාණි’ තුළ හඳගම තමාට හිමි කෙටි කාල සීමාව තුළ තමාගේ රූප රචනාව අපූරුවට භාව පූර්ණව කැටයම් කර ඇත.
රිචඩ් සහ ඔහුගේ මව මනෝරාණි ඔසවා ‘රාණි’ වෙත සමාජ මාධ්‍ය තුළින් ලැබුණු අධික පූර්ණ ප්‍රචාරයන් සළකා බැලීමේදී ප්‍රේකෂකයා පෙර නිගමන සහිතව සිනමා ශාලා වෙත ප්‍රවිශ්ට වීම අරුමයක් නොවේ. රිචඩ් සහ මනෝරාණි ගැන නොදැන සිටි අයවලුන් පවා පසුගිය දිනවල ඔවුන් පිළිබඳ අතීත තොරතුරු හාරා ඇවිස්සූහ. එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමේදී ම එහි මගේ මනෝරාණී හෝ මගේ රිචඩ් එහි නොමැති බවක් මට හැඟුණි. ඒ ඔවුන්ගේ රඟපෑමේ වරදක් නිසා නොවේ. මට අනුව මනෝරාණි සහ රිචඩ් යන දෙදෙනාම මීට වඩා ප්‍රතාපවත් නමුත් තැන්පත් බවකින් යුක්ත විය. එනිසා මා සිනමා ශාලාවට යන්නේම තරමක හිස් මනසකින් යුක්තවය. එම නිසාම මනෝරාණිව සහ රිචඩ්ව යම් ප්‍රමාණයකට පසෙක තබා තම එකම පුතා එවකට පැවති රජය විසින් පැහැර ගැනීම සහ ඉන්පසු මරා දැමීමෙන් කම්පාවන වැන්දඹු මවකගේ වේදනාව පිළිබඳ කතා පුවතක් ලෙස ‘රාණි’ විඳිමට මට හැකිවුණි. අතීතාවර්ජන නිසාම කිහිපවරක්ම ‘රාණි’ චිත්‍රපටය විසින් තැතිගැන්වූ මොහොතවල් වලට අමතරව මගේ ඇසට කඳුළක් ගෙන ඒමට සමත් වූ අවස්ථා කිහිපයක්ම විය.
ප්‍රබන්ධ චරිතාපදාන (Biopic) සිනමා නිර්මාණයක් සඳහා තිර රචනාවක් ලිවීම ඉතා සංකීර්ණය. එම නිර්මාණය දේශපාලනය හා බැඳුණු චරිතයක් වටා වූ විට විට එය දෙපැත්ත කැපෙන ආයුධයකි. හඳගමගේ සිනමා නිරිමාණ තුළ දේශපාලනයක් තිබෙන නමුදු ඔහු Ken Loach හෝ Bong Joon වැනි දේශපාලන සිනමාකරුවෙක් නොවේ. එබැවින් ‘රාණි’ තිර රචනාව තුළ හඳගම නම් තිර රචකයා ‘දේශපාලන ස්ථරය’ තුළ ඉතා පරෙස්සමෙන් අකුරු ගලපාගත යුතුව තිබුණි. ඔබට එයින් පිටත සෙල්ලම් කළ හැකි නමුදු Biopic නිර්මාණයක් සිදු කිරීමේදි අනුගමනය කළ යුතු මූලධාර්මික මෙන්ම රාමුගත විය යුතු නියාමන පද්ධතියක් ඇත. ඒ නිර්මාණකරුගේ තිර රචනාවෙන් අදාළ චරිතයට (හෝ චරිත වලට) සිදුවිය හැකි හානිය අවම කරගැනීමටය. බොහෝ විට එක් චරිතයක් පදනම් ව සිදු කළ හැක්කේ එක් ප්‍රබන්ධ චරිතාපදාන සිනමා නිර්මාණයකි.
‘රාණි’ හි මනෝරාණි සරවනමුත්තු ප්‍රධාන චරිතය වුවද එහි කේන්ද්‍රීය චරිතය රිචඩ් ද සොයිසාය. මනෝරාණිගේ පැවැත්ම ඇත්තේ රිචඩ් නම් වූ තම දේශපාලනික පුත්‍රයා නිසාය. ‘පිරවි’ හි රාඝවන්ගේ පුත්‍රයා වූ රඝු නම් අතුරුදන් වූ තරුණයා මෙන් ‘රාණි’ හි රිචඩ් අදිසි චරිතයක් බවට පත් නොකරන්නේ නම් හඳගම විසින් ඉතා සියුම්ව රිචඩ්ගේ දේශපාලන චරිතය සිය නිර්මාණය තුළ ගොඩ නැඟිය යුතුව තිබුණි. දත්ත හා බැඳි සත්‍යය සමඟ ප්‍රබන්ධය සෙල්ලම් කිරීමේදී සත්‍යයට හානි වේ නම් එමඟින් චරිතයට සිදුවන හානිය ඉතා බරපතළය.
Biopic සිනමා කෘතියක් කිරීමේදී තිර රචකයාට ප්‍රේක්ෂකයන් සියලු පාර්ශවයන්වම සතුටු කළ නොහැකි බව ඇත්තකි. එහෙත් තිර රචකයා විසින් සතුටු කිරීමට උත්සහ කරන ප්‍රේකෂකයාවත් (හෝ සතුටු වේයැයි සිතන ප්‍රේක්ෂකයාවත්) අවම තරමේ සතුටු කිරිමට සිය නිර්මාණයට හැකිවිය යුතුය. එසේ නොවේ නම් අධ්‍යක්ෂවරයා විසින් තිර රචනාව කෙතරම් පූර්ණව සිනමාත්මක ලෙස නිමැවූව ද එය සාර්ථක ප්‍රබන්ධ චරිතාපදානවක් ලෙස සිනමා ගතවන්නේ නැත.
Gamini Viyangoda පැවසූ පරිදි ‘රාණි’ යනු යුක්ති ධර්මය අසාර්ථක වූ රටක සාර්ථක භාව ප්‍රකාශනයකි. සිනමා ශාලාවේ විසල් තිරය අබියස එය විඳගැනීමේ වගකීම ඔබ සතුයි.
මහේෂ් මුණසිංහ-Mahesh Munasinghe