පසුගිය 17 වන දින කොළඹ රුසියානු මන්දිරයේ පැවැති රුසියානු සාහිත්‍ය උළෙලේ දී අතිශය බුහුමනට පත් රුසියානු ලේඛකයන් වන ඇලෙක්සැන්ඩර් පූෂ්කින්, ව්ලැදිමීර් බගමොලොව් සහ යූරී බොන්දරෙව් පිළිබඳව මවිසින් සම්පාදනය කළ ‘ලෝක සාමය ඉල්ලා සිටින රුසියානු යුද සාහිත්‍යය’ නම් ලිපිය මේ සමඟ ඔබ වෙත
පසුගිය වසරට යෙදී තිබුණු රුසියානු මහා කවි ඇලෙක්සැන්දර පුෂ්කින්ගේ 225 වන ඡන්ම දිනය සහ රුසියානු යුද සාහිත්‍යයට මහගු මෙහෙයක් කළ ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් දෙදෙනකු වන ව්ලැදිමීර් බගමොලොව් හා යූරී බොන්දරෙව්ගේ ඡන්ම ශත සංවත්සර නිමිති කොට මෙම ලිපිය පළවේ.
යුද්ධය යනු පුද්ගලයකුගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීමකි. එය සටනේ යෙදී සිටින සොල්දාදුවනට හෝ නිරායුධ සිවිල් වැසියනට හෝ පමණක් සීමා නොවේ. යුද්ධය සෑම කෙනකුගේම ඉරණමෙහි බිඳවැටීමේ සලකුණක් තබයි. එය, අධ්‍යාත්මික හා සදාචාරාත්මක බිඳවැටීමකි. රුසියානු යුද සාහිත්‍යය එහි ධනාත්මක පරිණාමය හෝ අනෙක් අතට, යුද්ධයෙන් බේරුණු පෞරුෂයේ පරිහානිය සටහන් කරයි. එය, ධෛර්යයේ සහ දේශප්‍රේමයේ දස්කම් හා පාඩම් පිළිබඳ උදාහරණ සපයයි.
රුසියානු යුද සාහිත්‍යය ගැන කතා කරද්දී ඊට මහගු මෙහෙවරක් සිදුකළ ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් දෙදෙනකු වන ඇලෙක්සැන්දර් බගමොලොව් හා යුරී බොන්දරෙව් අමතක කළ නොහේ. එසේ ම, ඔවුන් ඇතුළු ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් රැසකගේ සාහිත්‍ය නිර්මාණ සඳහා ප්‍රදීපස්ථම්භයක් වූ රුසියානු ලලිත කලා ශිල්පවල පියා ලෙස සැලකෙන රුසියානු මහා කවි ඇලෙක්සැන්දර් පුෂ්කින් ද අමතක කළ නොහේ.
ඇලෙක්සැන්දර් පුෂ්කින් (1799-1837)
1799 ජූනි 06 වන දින මොස්කව් හි උපත ලද පුෂ්කින් හැදී වැඩුණේ හෙදි සේවිකාවන් සහ ප්‍රංශ ගුරුවරුන් ඇසුරේ ය. ඒ නිසා ම වයස අවුරුදු දහය වනතෙක් ඔහු කතා කරන්නට දැන සිටියේ, ප්‍රංශ භාෂාව පමණි. ඉන් පසුව ඔහු තම නිවසේ සිටි ගෘහ සේවිකාවන්ගෙන් සහ ඔහුගේ නැනීගෙන් රුසියානු භාෂාව කතා කරන්නට ඉගෙන ගත්තේ ය.
පුෂ්කින් තම පළමු කවිය ‘ටූ මයි ෆ්‍රෙන් ද පොඑට්’ නමින් ප්‍රකාශයට පත් කළේ වයස අවුරුදු 15 දී ය. ඔහුගේ පළමු දිගු කාව්‍යය වන ‘රුස්ලාන් ඇන්ඩ් ලියුඩ්මිලා’ ඔහු විසින් පළකරන ලද්දේ 1820 දී ය. එහි ප්‍රස්තුතය සහ ශෛලිය පිළිබඳව එවකට බොහෝ මතභේද ඇති වී ය.
වසර 37 ක් වූ පුෂ්කින්ගේ කෙටි ජීවිත කාලය තුළ ඔහු ඔහුට ද ඔරොත්තු නොදෙන තරම් වැඩකටයුතු රැසක් සිදුකළ ලේඛකයෙකි. එම කාලය තුළ ඔහු ආඛ්‍යාන කාව්‍ය 12ක්, නාට්‍ය කෘති හයක්, පද්‍යයෙන් කළ සුරංගනා කතා කෘති 08ක්, කෙටි කවි සංග්‍රහ 03ක්, නවකතා 06ක්, කෙටිකතා 09ක් සහ නිර්ප්‍රබන්ධ කෘති දෙකක් රචනා කර තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි ඇතුළු ලොව භාෂා බොහෝ ගණනකට පරිවර්තනය වී ඇත.
ඒ සා සුවිසල් සාහිත සේවාවක් කරමින් සිටි පුෂ්කින්ගේ පෞද්ගලික ජීවිතය කොහෙත් ම සුවපහසු එකක් නොවී ය. 1836 සරත් සමය වන විට, පුෂ්කින් ණය බරින් මිරිකී සිටි අතර නතාලියා ගොන්චාරොව් නම් ඔහුගේ බිරිඳට ප්‍රේම සම්බන්ධයක් ඇති බවට පැතිර ගිය අපකීර්තිමත් කටකතාවලට ද මුහුණ දෙන්නට ඔහුට සිදුවී ය. නතාලියාගේ අනියම් පෙම්වතා ඇගේ සොයුරිය සමග විවාහ වුව ද, නතාලියා සමග ඔහුගේ පැවැති සම්බන්ධය නතර නොවීය. එයින් කලකිරීමටත්, කෝපයටත් පත් පුෂ්කින් සිය බිරිඳගේ අනියම් පෙම්වතා ද්වන්ධ සටනකට කැඳවී ය. එම සටනේ දී පුෂ්කින්ට බරපතළ තුවාල සිදුවූ අතර, සිය ප්‍රතිවාදියාගේ දකුණු අතට සුළු තුවාල සිදුවී ය. එම දරුණු තුවාල හේතුවෙන් ද්වන්ධ සටනින් දින දෙකකට පසු පුෂ්කින්ට සිය ජීවිතය හැරයන්නට සිදුවී ය.
‘බේල්කින්ගේ කතා’ පුෂ්කින්ගේ අතිශය ජනප්‍රිය කෙටිකතා එකතුව ලෙස සැලකේ. ඊට හැඳින්වීමක් සපයන ඇලෙක්සැන්දර් ත්වර්දොව්ස්කි, පුෂ්කින් පිළිබඳව පවසා ඇත්තේ මෙසේ ය.
‘පුෂ්කින් සිය නිර්මාණශීලී ජීවිතයේ සමෘද්ධිමත් අවධියේ දී වෙඩි පහරකින් මියගිය ද, ලියෝ තෝල්ස්තෝයි ඇතුළු රුසියානු සාහිත්‍යයේ මහා ගත්කතුවරුන්ගේ ජ්‍යෙෂ්ඨයා සහ බුද්ධිමත් ගුරුවරයා හැටියට සදහට ම පවතිනු ඇත. මෙය විශ්ව ශක්තියක් වන්නේ පුෂ්කින්ට වඩා ඔවුන් වැඩි කාලයක් මිහිපිට ජීවත්වීම පවා නොතකමිනි.
එමෙන් ම, ඔහු අද්‍යතන සෝවියට් ගත්කතුවරුනට ද ගුරුවරයා සහ ඊටත් වඩා උසස් කෙනෙක්වැ පවතී. මන්ද යත්, අපගේ පූර්වජයන්ට වඩා ඔහු අපට ශ්‍රේෂ්ඨ කෙනෙක් වන බැවිනි.
විස්සරියොන් බිලින්ස්කි නම් සාහිත්‍ය විචාරකයා මෙසේ ලිවී ය.
‘පුෂ්කින්ගේ අකල් මරණය නොතකා ඔහු සදාකාලික ජෛවමය හා ජංගමශීලී ප්‍රපංචය බවට පත් වී ඇත.
ජගත් වෙසෙස් බව අනුව බොහෝ කලෙක සිට සැක රහිත සහ ස්ථිර දෙයක් බවට පත් වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍යයක නිර්මාතෘවරයා සහ පුරෝගාමියා ලෙසත්, කවියකු හැටියට ප්‍රතිමල්ලවයන් පවා ඔහුගේ නිර්මාණශීලී මහා ප්‍රඥාව ලඝුකොට නොසලකන අතර, අද්‍යතන බහුජාතික මහා රටක් වන සෝවියට් සංගමයේ ඉතා ජනප්‍රිය, ආදරය දිනාගත්, පාඨකයන්ගේ උපරිම ය ගෞරවාදරයට පාත්‍ර වූ එක ම කවියා ලෙසත් පුෂ්කින් වැජඹෙයි.
පුෂ්කින්ගේ සුවිශේෂ ලක්ෂණය වූයේ ඔහුට අයහපත් ලෙස ලිවීමට නොහැකි වීම ය. ඔහු මුල් කාලයේ ලියූ කවි පවා (ඒවායින් වෙනත් කිවීන් අනුකරණය වුව ද) එවකට තිබූ රුසියානු කාව්‍ය සම්ප්‍රදාය හා සංස්කෘතියේ මාධ්‍යයන්ට වඩා ඒවා බෙහෙවින් උසස් වී ය.
පුෂ්කින්ගේ ස්වර්ණමය නිර්මාණ නම් වශයෙන් කීම වුව ලෙහෙසි නොවේ. ‘යෙව්ගේනි ඔනේගින්’, ‘බරිස් ගඳුවොව්’, ‘තඹවන් අසරුවා’ වැනි පද්‍ය රචනයන් ද, ආලයේ සහ දර්ශනයේ කාව්‍යමය කුඩා ඛේදවාචක වන ‘කපිතන්ගේ දියැණියෝ’ ආදී ගද්‍ය රචනයන් ද, එමෙන් ම ඔහුගේ විවේචනාත්මක ලිපි ද, ගමන් විස්තර සටහන් ද, ඓතිහාසික සටහන් ද, ඉතා අනගි සංදේශයන් ද උසස්තම නිර්මාණ කෘති වේ.
පුෂ්කින්ගේ නිර්මාණ ගැන කියන විට එය ‘දක්ෂතාව’ ලෙස හැඳින්වීම උචිත නොවේ. එය ‘හාස්කමක්’ ලෙස හැඳින්වීම වඩාත් උචිත වන්නේ, ලොව මවිත කරවන ඒ නිර්මාණ සඳහා ඔහු කෙතරම් විශාල ශ්‍රමයක් වැය කළා ද යන්න ගැන පවා නොතකමිනි.
සාහිත්‍ය නිර්මාණයේ ඉතා ම උසස් කෘති අප පසක් කරගන්නා විට, ඒවා පද්‍ය හා වදන්වලින් සමන්විත වී ඇතැයි යන්න වටහා ගැනීමට පවා අපි අසමත් වෙමු. පුෂ්කින්ගේ ප්‍රඥාවට සහ අභිමතයට පමණක් හසුවැ ඒවා පණගැන්වී ඇත. අපට ඒවා පෙනෙන්නේ සොබාදහමේ අපූරු වස්තූන් ලෙස හැමදා ම පැවතුණු දේ මෙනි. ඔහු ඒවා සොබාදහමෙන් සමස්තයක් ලෙස ලබා ගත්තාක් මෙනි.
පුෂ්කින්ගේ අධ්‍යාත්මය වර්තමානයට මෙන් ම, එයටත් වඩා අනාගතයට යොමු වී ඇත. ඔහු ඔහුගේ කාලයේ ඔහුගේ සමකාලිකයන් සමග එම පරිසරයේ ජීවත් වී ය. එසේ වුව ද, ඔහු ඒ අතර ම අපේ පරපුර සමගත් ජීවත් වෙයි. අපෙන් පසු ඇති පරම්පරා සමග ද ඔහු ජීවත් වනු ඇත. පුෂ්කින්ගේ දායාදය සිතින් මවාගත නොහේ. එය ඉතා අනර්ඝ වුව ද, හුදකලා කඳු මුඳුනක් නොවේ. එහෙත්, එය අසංඛේය කඳුගැටි හා මුදුන් සහිත බලවත් කඳුවැටියකට සමාන ය.’
ව්ලැදිමීර් ඔසිපොවිච් බොගොමොලොව් (1924-2003)
1924 ජූලි 3 වන දින මොස්කව් හි කිරිලොව්කා ගම්මානයේ උපත ලද ව්ලැදිමීර් ඔසිපොවිච් බොගොමොලොව් පාසල් වියේ දී ම යුද හමුදාවට බැඳුණේ ඒ වනවිට මුළුමහත් ලෝකය ම දෙවන ලෝක යුද්ධයට ඇදී ගිය හෙයිනි. ඒ වනවිට ඔහු පාසලේ හත්වන ශ්‍රේණිය පසුකළා පමණි. සාමාන්‍ය සෙබළකු ලෙස යුද්ධය ආරම්භ කළ ඔහුට යුද්ධය අවසන් වන විට ඔහුගේම අණසක යටතේ ක්‍රියාත්මක බලඇණියක් පැවරී තිබිණි. යුද්ධයේ දී ඔහු තුවාල ලැබූ අතර, ඔහුගේ ක්‍රියාකාරී රාජකාරිය වෙනුවෙන් සේවා පදක්කම් කිහිපයක් ම ප්‍රදානය කරනු ලැබීය. 1950 වසර දක්වා ඔහු නැගෙනහිර ජර්මනියේ හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිය හමුදා සේවය දිගට ම කරගෙන ගියේය. 1950-1951 වසරවල දී අභූත චෝදනා යටතේ මාස 13ක් සිරගතව සිටි ඔහු 1952 දී විශ්‍රාම ගියේ ය.
ඔහුගේ මුල් කෙටිකතාවලින් එකක් වන ‘ඉවාන්’ (1957), අන්ද්‍රෙයි තර්කොව්ස්කි විසින් ‘ඉවාන්ස් චයිල්හුඩ්’ (1962) නමින් සිනමාවට නඟනු ලැබී ය. එහි මුල් කෘතිය චූලානන්ද සමරනායකයන් විසින් ‘ඉවාන්’ නමින් ම මෑතක දී සිංහලයට පරිවර්තනය කර තිබේ.
‘ඉවාන්ස් චයිල්හුඩ්’ චිත්‍රපටයෙන් කියැවෙන්නේ ආක්‍රමණික ජර්මානු හමුදාවන් විසින් දෙමාපියන් මරා දමන ලද අනාත පිරිමි ළමයකු වන අයිවන් සහ දෙවන ලෝක යුද්ධ සමයේ ඔහු ලද අත්දැකීම් ය. ‘ඉවාන්ස් චයිල්හුඩ්’ යනු එම යුගයේ බිහිවූ සෝවියට් චිත්‍රපට කිහිපයකින් එකකි. එහෙත්, එය ඊට පෙර නිෂ්පාදනය කරන ලද චිත්‍රපට මෙන් යුද අත්දැකීම් උත්කර්ෂයට නංවා නැත. 1962 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී, තර්කොව්ස්කි ප්‍රකාශ කළේ චිත්‍රපටය සෑදීමේ දී ඔහුට අවශ්‍ය වූයේ ‘සියලු ආකාරයේ යුද්ධයන්ට තමාගේ ඇති වෛරය ප්‍රකාශ කිරීම බවත්, ඒ සඳහා තමා ළමා කාලය තෝරා ගත්තේ යුද්ධයට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නේ ළමා කාලය නිසා’ බවත් ය.
ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නවකතාව වන්නේ ‘ඉන් ඕගස්ට් 1944’ නවකතාව යි. එය 1973 වසරේ දී ‘ද මුමන්ට් ඔෆ් ටෲත්’ යනුවෙන් ඉංග්‍රීසියට නැඟිණි. එම නවකතාව මගින් කියවෙන්නේ ස්ටාලින් විසින් පිහිටුවන ලද ‘ස්මර්ෂ්’ නම් බුද්ධි බළකායේ ක්‍රියාකාරීන් යුද පෙරමුණුවල දී අනුනමනය නළ ක්‍රියාවන් පිළිබඳව සහ නියෝග යථාවත් කර සැකකටයුතු කොල්ලකරුවන් සහ කඩාකප්පල්කාරීන් විනාශ කිරීම පිළිබඳව ය. එය අඩක් ප්‍රබන්ධයත්, අඩක් සත්‍යයත් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. එය දිග හැරෙන්නේ මිලිටරි ලිපි හුවමාරුවීම්, නියෝග, චක්‍රලේඛ, විදුලි පණිවුඩ සහ වාර්තා සහ ලේඛන හරහා ය. ‘ඉවාන්’ නවකතාව සියයකට අධික වාර ගණනක් මුද්‍රණය වී ඇති අතර, ලොව විවිධ භාෂා රැසකට පරිවර්තනය වී තිබේ. එසේ ම එය දෙවරක් ම සිනමාවට නැඟී තිබේ.
බගමොලොව්ගේ ‘ඉවාන්’ සහ ‘ඉන් ඕගස්ට් 1944’ යන කෘති මෙන් ම, ‘ද පේන් ඔෆ් මයි හාට්’, ‘ෆස්ට් ලව්’, ‘මයි ලයිෆ්’, ‘ඩිඩ් අයි ඩීරම් අබවුට් යූ’, ‘ද මූමන්ට් ඔෆ් ග්‍රීනරි’, ‘ද ආචින් මයි හාට්‘ වැනි නවකතාවලින් බොහොමයක් යුද විරෝධී නවකතා ය. ඒවා යුද්ධයේ ම්ලේච්ඡත්වයත්, කෲරත්වයත් නොබියව ලොවට හෙළි කළ නවකතා ය.
යූරී බොන්දරෙව් (1924-2020)
නවකතාකරුවකු, ලේඛකයකු සහ චිත්‍රපට තිර රචකයකු වූ යූරී බොන්දරෙව් 1924 වසරේ උපත ලැබුවේ සෝවියට් සංගමයේ ඕර්ස්ක් හි දී ය. ඔහුගේ සුප්‍රකට නවකතා වූයේ ‘ද බැටෑලියන් රික්වෙස්ට් ෆයර්’ (1957), ‘ද ලාස්ට් සැල්වෝස්’ (1959) සහ ‘ද හොට් ස්නෝ’ යන නවකතා ය. ඉන් ‘ද හොට් ස්නෝ’ නවකතාව දැදිගම වී. රුද්‍රිගු සූරීන් අතින් ‘උණු හිම’ නමින් සිංහලයට නැඟිණි. ‘ද ලාස්ට් සැල්වෝස්’ සිනමාවට අනුවර්තනය කරන ලද්දේ 1961 දී ය.
ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ ‘ලිබරේෂන්’ (1968-71) චිත්‍රපට මාලාව සඳහා තිර පිටපත් ලිවීම නිසා ය. දෙවරක් ම ඔහු ලෙනින් ගෞරව නාමයෙන් පිදුම් ලැබී ය.
කාලතුවක්කු නිලධාරියකු ලෙස දෙවන ලෝක යුද්ධයට සහභාගි වූ බොන්දරෙව් 1944 දී සෝවියට් සංගමයේ කොමියුස්ට් පක්ෂයේ සාමාජිකයකු බවට පත්වී ය. 1951 දී ඔහු ‘මැක්සිම් ගෝර්කි’ සාහිත්‍ය ආයතනයෙන් උපාධිය ලබා ගත්තේ ය. ඔහුගේ ප්‍රථම කතා එකතුව ‘ඔන් අ ලාජ් රිවර්’ 1953 දී ප්‍රකාශයට පත් වී ය.
ඔහුගේ ‘සයිලන්ස්’ (1962), ‘ද ටූ’ (1964) සහ ‘රිලේටිව්ස්’ (1969) යන නවකතා ඔහු ප්‍රමුඛ සෝවියට් ලේඛකයකු ලෙස ස්ථාපිත කළේ ය.
‘ද හොට් ස්නෝ’ (1969) නවකතාව සඳහාත් ඔහු යුද්ධයේ තේමාව යොදා ගත් අතර, එමගින් සාමාන්‍ය සොල්දාදුවන් සහ හමුදාපතිවරුන් ඇතුළු සහභාගිවන්නන් බොහෝ දෙනකුගේ දෘෂ්ටිකෝණයෙන් ස්ටාලින්ග්‍රෑඩ් සටන අපූරුවට නිර්මාණ කළේ ය. බොන්දරෙව් රුසියානු සිනමාව සඳහා ද බොහෝ වැඩකටයුතු කළේ ය. සිනමා තිරය සඳහා ඔහුගේ ම නවකතා අනුවර්තනය කිරීමට අමතරව, ඔහු ‘ලිබරේෂන්’ චිත්‍රපටයේ සම තිර පිටපත් කර්තෘ ලෙස ද කටයුතු කළේ ය.
1990 දශකයේ මුල් භාගයේ සිය දේශපාලන ජීවිතයේ දී බොන්දරෙව් ජාතික ගැලවීමේ පෙරමුණේ නායකත්වයට අයත් රුසියාවේ ජාතික – කොමියුනිස්ට් විපක්ෂ දේශපාලනයට සහභාගි වී ය. මිහායිල් ගොර්බචොව් යුගයේ අවසාන කාලය වනවිට ඔහු රුසියානු සෝවියට් සමූහාණ්ඩු සමාජවාදී ජනරජයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රබල සාමාජිකයකු බවට පත්වී ය. 1991 ජූලි මාසයේ දී ඔහු ‘ජනතාවට වචනයක්’ නම් පෙරෙස්ත්‍රොයිකා විරෝධී ප්‍රකාශනයට පවා අත්සන් කළේ ය.
වයස අවුරුදු 96ක් තරම් දීර්ඝ කාලයක් සුජීවත්ව සිට 2020 මාර්තු 29 වන දින මොස්කව් හි දී මියගිය බොන්දරෙව්, සිය ‘උණු හිම’ නවකතාව ගැන මෙසේ පවසයි.
‘යුද්ධ විශේෂඥයන්ගෙන් මට ලැබුණු මාහැඟි උපදෙස් ගැන මා මෙහි දී මතක් කරන්නේ කෘතඥතාවෙනි. 1942 දෙසැම්බර් මාසයේ දී නිරිතදිග ස්ටාලින්ග්‍රාඩය හා එම පෙදෙසේ සිදුවූ දැඩි සටන් ගැන සවිස්තර හා සැබෑ පුවත් ඉදිරිපත් කරන එකම නවකතාව මෙය පමණක් නොවන බව කිව යුතු ය. මේ කාර්යයේ දී යුද විශේෂඥයෝ විශාල ආධාර දුන් හ. මේ සටන්වලට සහභාගි වූ මා මෙම නවකතාවෙන් විස්තර කරන්නේ දෙවැනි මුරභට හමුදාව ගැන ය. එහෙත්, මේ කතාව සිදුවීම් වැළක් එකතු කිරීමක් නොවේ. මෙහි සමහර වීරයන් හා සේනාංක සැබෑ අය වුව ද, වැඩිදෙනා පරිකල්පිතයෝ වෙති.’
ලෝක සාමය උදාකරනු වස් මිත්‍ර පාක්ෂික රටවල් හා එක්ව දෙවන ලෝක යුද්ධයේ දී වැඩි ම ජීවිත හා දේපළ ප්‍රමාණයක් බිළිදුන් රුසියාව සැමදා යුද්ධය ප්‍රතික්ෂේප කර සාමය හා සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියාකළ ජාතියකි. එදා මෙදාතුර සෝවියට් දේශයේ සහ රුසියාවේ බිහිවූ විශිෂ්ට සෝවියට් රුසියානු ලේඛකයන් ද එසේ ම ය. ඔවුහු තම නිර්මාණ මගින් යුද්ධය උත්කර්ෂයට නොනැඟූ හ. යුද්ධයේ ම්ලේච්ඡත්වයත්, කෲරත්වයත් එහි ඇති නිස්සාරත්වයත් ගැන කතා කළෝ ය.
එසේ ම තම දේශයේ පවත්නා සාමය හා සන්හිඳියාවට ප්‍රහාරයන් එල්ල වන සෑම මොහොතක ම දේශප්‍රේමයෙන් යුතුව තම රට වෙනුවෙන් තම ජාතිය වෙනුවෙන් සටන් වදින්නට ද පසුබට නොවූ හ. එදා මෙදා තුර බිහිවූ සහ බිහිවෙමින් පවතින රුසියානු සාහිත්‍යය මානව දයාවෙන් පිරී පවතින්නේ එහෙයිනි.’
අනුර බී. සෙනෙවිරත්න





