‘මම’ නමැති ජීවියාගේ දිනචර්යාව

නැව ගිලුනත් බෑන්චූන් වගේ ඉන්න මගේ හිත අද දවස පුරාම මැලවුන ගමන්ය. එහෙම දවසුත් ඉදහිට වත් තියෙන්න එපාය.

හේතුවක් නැතිව හිත බර වූනේ මොකටද කියලා කියන්නත් තේරෙන්නේ නැති සමහර දවස් තියෙනවා මේ මටත්, කොයි කාටත් වගේම.

මගේ දින චර්යාව අනුව පැය විසිහතර මට වෙලාවකට මදි වගේය. කරන වැඩකුත් නැති නිකමුත් නැති නමුත්, වැඩ කර ගන්න තියෙන වෙලාව මදි වගේ එකක් හැම තිස්සෙම මට දැනෙන දෙයක්.

දවසකට උපරිමව පැය පහක් හෝ හයක් නිදාගන්න මට, රෑට කලින් නිදාගත්තොත් මහ පාන්දර 3 ට 4 ට ඇහැ ඇරීම සාමාන්‍ය සංසිද්ධියකි. ඊට වඩා නිදියෑමක් ලොවෙත් නැති නිසා අවදි වූ වහාම උණු තේ එකක් නම් නැතිවම බැරිය. කොයි දොස්තර කිව්වා වුනත් මේ තේ එක නම් අතාරින්නටම බැරිය.

තේ බොන ගමන් අන්තර්ජාලයේ එහෙම මෙහෙ සැරි සරා, ලියන දෙයක් ලියා, සුබ පැතුම් යවන අයට යවනවාමය. යාලුවෝ ගොඩාක් නැති මට ඉද හිට එක දෙකක් උදෑසන සුබ පැතුම් ලැබෙනවාය. ඉඩ ලැබෙන. හැටියට පෙරලා සුබ පැතූවද,  සමහර වෙලාවට මට ඒවා මග හැරීම නරකම පුරුද්දක් බවද දනිමි.

කෑම පිසීම ආශාවෙන් ම කරමි. උයාපිහා අවසන් කර, ගේ දොර අතුගා, මල් ගස් වලට වතුර ද දමා, දිනයේ මා වෙනුවෙන් වෙන්කල පැය භාගයක කාලයක් තුල ශාරීරික යෝග්‍යතා ව්‍යායාම  කිහිපයක් කරමි. නොකලොත්, හිතට හරි නැතිය. එබැවින් නොවරදවා, නොකඩවා එහි නිරත වෙමි.

සෑමදාම ස්නානය, පුරුද්දකි. පිරිසිදුව ට, ලස්සනට ඉන්නට මම මා වෙනුවෙන් වෙහෙස වෙමි. වියදම් දරමි.

පිලිවෙලකට හැඳ පැළඳ කාර්යාලය වෙත යමි. ඉතාම උද්යෝගයෙන්, සතුටින් මගේ කාර්යාලය කටයුතු වල නිරත වෙමි.

කාර්යාලය නිමවී, බොහෝ විට පයින් ඇවිද නිවස වෙත එමි. ඉන් එහාට මම ඉතාම නිදහස් ජීවියෙක්මි. අර්ලි ඩිනර් හෙවත් කෑවා නොකෑවා සේ දැනෙන ලෙසට  සවස හයට රාත්‍රි ආහාරය ලබා ගමි. විභාග කටයුතුවල නිරත වන්නේ නම් රාත්‍රි දේශන වලට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමි. පොතේ පතේ වැඩ, ඔය අතර කොහොම කොහොම හරි කර ගනිමි.

මගේ දවස මීටත් වඩා වෙනස් වන්නේ නම් ඒ මගේ පුතා ගෙදර ඇත්තේ නම් පමණි.

මගේ ප්‍රියතම විනෝදාංශය චිත්‍රපට නැරඹීම වන අතර බොහෝ විට ඒ ඉංග්‍රීසි චිත්‍රපට වේ.

ඊට අමතරව පොත් කියවීම, ගීත ඇසීම, අලුතින්ම එක්වූ ජංගම දුරකථනයේ නෝට් පෑඩයේ අකුරු ඇමිණීම ඉතාම ආශාවෙන් කරමි.

අකුරු ඇමිණිම ඇබ්බැහියක් දක්වා වර්ධනය වී ඇති අතර, ඒ සඳහා දකුණතේ මහපට ඇඟිල්ල අධික ලෙස භාවිත කිරීම නිසා දොස්තර නෝනා කෙනෙක් හමුවීමට ද සිදුවිය.  තාමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන ගමන්ය.

හිත දැන් හරි ගොසින්ය. මැලවී හේබෑවී ගොස් සිටි හිතට දැන් සනීපයක් දැනේ. හේතුව මේ ලිවීම හැර වෙන යමක් නොවන්නේය.

තරු විසුල රාත්‍රි අහසේ කොයි කලාවකට හෝ අයත් චන්ද්‍රයා පායා ඇත්දැයි නිකමට හෝ බැලීමට මට නොසිතේ.

හිරු නගින, හිරු බසින, සඳු නගින, සඳු බසින දවස් කීයක් නම් මං ගෙවා ඇතිද..

ගෙවීමට තව කීයක් නම් ඉතිරිව ඇතිද..

කවුරු දනී ද ඉතින්.

දවසේ නිමාව අද්දරට පැමීණ ඇති බව දනවන නිදිබර දෑස්,  රාත්‍රි කලුවරට යොමා පියා ගතිමි.

More From Author

ඉතාලියේ රියදුරු සහ ගුවන් ගමන් බලපත් ගැටලුව සම්බන්ධ පැනයට පිළිතුරු නොදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මඟ හරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *