මෙම ජයග්‍රහණය විපතකටත් වඩා වැඩි යි !

නොබෙල් සාහිත්‍ය සම්මානලාභී
ලාස්ලෝ ක්‍රස්නහොර්කායි

László Krasznahorkai

ජෙනී : ඔබට මේ මොහොත කොහොම ද දැනෙන්නේ?

ලාස්ලෝ: මෙය විපතකටත් වඩා වැඩි දෙයක්. නොබෙල් ත්‍යාගයෙන් පසුව සැමුවෙල් බෙකට් දැක්වූ ප්‍රතිචාරය මට දැන් සිහි වෙනවා. මම මේ කියන වාර්තාව ගැන ඔබට මතක ද? ප්‍රශ්න නැහැ, උත්තර නැහැ. “මොන විපතක් ද?” යන වාක්‍යය ඔබට මතක ද? ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණු බව දැනගත් පසු ඔහු පැවසූ පළමු වාක්‍යය එය යි. “මොන විපතක් ද.?” ඒ නිසයි මම ඔබට මුලින් ම කිව්වේ මෙය විපතකටත් වඩා වැඩි දෙයක් බව. ඒ වගේ ම මෙය සතුටක් වගේ ම ආඩම්බරයක්. මට ඉතාමත් සතුටුයි, ඒ වගේ ම මට ඉතාමත් ආඩම්බරයි, මොකද සැබවින් ම මෙතැන් සිට ශ්‍රේෂ්ඨ ලේඛකයන් සහ කවීන් ඇතුළත් පරම්පරාවක සිටින්නට ලැබීමෙන් මගේ මව් භාෂාව වන හංගේරියානු භාෂාව භාවිත කරන්න මට ශක්තියක් ලැබෙනවා. මේ ‘පුංචි භාෂාව’ භාවිත කිරීම ගැන මම සැබවින් ම ආඩම්බර වෙනවා. ඉතා සතුටු යි. මම මුලින් ම ස්තුතිවන්ත වෙන්නේ පාඨකයන්ට යි. හැමෝට ම තම තමන්ගේ මනඃකල්පිතයන් භාවිත කිරීමේ හැකියාව නැවත ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. මන්ද මනඃකල්පිතයකින් තොර නම්, එය සම්පූර්ණයෙන් ම වෙනස් ජීවිතයක්. පොත්පත් කියවන්න සහ සතුට විඳින්න, හැම අතින් ම පොහොසත් වෙන්න එය අවශ්‍යයි. මොකද මේ පෘථිවියේ ඉතාමත් අසීරු කාලවල ජීවත් වෙන්න අවශ්‍ය කරන අධික ශක්තිය කියවීම අපට ලබා දෙනවා.

ජෙනී : ඇත්ත වශයෙන් ම. ඔබ දැන් සිටින තැන අපට විස්තර කරන්න කැමති ද? ඔබ දැන් කොහේ ද ඉන්නේ, ත්‍යාගය ගැන දැනගන්න ලැබුණ ම ඔබට එය කොහොම ද දැනුණේ?

ලාස්ලෝ: මම ඉන්නේ අසනීපයෙන් සිටින මිතුරකුගේ ෆ්‍රැන්ක්ෆර්ට් ඇම් මේන්වල තියෙන මහල් නිවාසයක. මම ඔහුව බලන්න ආවා. මම නොබෙල් ත්‍යාගලාභියෙක් බව මට විශ්වාස කරන්න බැහැ. නමුත්, මට ඇත්තට ම සතුටුයි.

ජෙනී : ඔබ කිසිසේත් ම එය බලාපොරොත්තු වුණේ නැද්ද?

ලාස්ලෝ: ඇත්තෙන් ම මම පුදුමයට පත් වුණා. මුලින් මම ඒක ගණන් ගත්තේ නැහැ.

ජෙනී : ඔබේ ගැඹුරු ම ආස්වාදජනක මූලාශ්‍ර මොනවා දැයි අපට කියන්න පුළුවන් ද?

ලාස්ලෝ: මගේ ආස්වාදජනක ම මූලාශ්‍රය තමයි, තිත්තකම. ලෝකයේ වර්තමාන තත්ත්වය ගැන හිතනකොට මට හරිම දුක යි. ඒ නිසා, තිත්තකම තමයි මගේ ගැඹුරු ම ආස්වාද මූලාශ්‍රය. මෙය සාහිත්‍යයේ ඊළඟ පරම්පරාවට හෝ ඊට පසු පරම්පරාවන්ටත් ආස්වාදයක් විය හැකි යි. ඒ තමයි, මේ නරක කාලයෙන් කෙසේ හෝ ගොඩ එන්නට ඊළඟ පරම්පරාවට යමක් දීමේ ඇති ආස්වාදය. මොකද මේවා ඉතාමත් අඳුරු කාල වකවානු. මේ කාලයෙන් ගොඩ එන්නට පෙරට වඩා අපට වැඩි ශක්තියක් අවශ්‍ය යි.

ජෙනී : එසේ නම්, ඔබ කියන ආකාරයට මේ අඳුරු කාලවල දී ජීවත් වීම සඳහා ලිවීම ඔබට මොන තරම් වැදගත් ද?

ලාස්ලෝ: ලිවීම කියන්නේ ඇත්තටම මගේ පුද්ගලික දෙයක්. මම සාමාන්‍යයෙන් මා ලියන දේ ගැන කතා කරන්නේ නැහැ, ඒ වගේ ම මම එය වෙනත් ලේඛකයන්ට සහ කවි මිතුරන්ට පෙන්වන්නෙත් නැහැ. මම පොතක් ලියනවා, ඊට පස්සේ මගේ ප්‍රකාශකයන්ට දෙනවා, ඉන් පස්සේ මට ටික කාලයක් අවශ්‍ය වෙනවා. ඊළඟට දවසක් එනවා මම නැවත පටන් ගන්න. ඊට පස්සේ මම කලින් කළ දේට වඩා හොඳ අලුත් පොතක් නැවත පටන් ගන්නවා.

ජෙනී : ඔබ විවිධ ස්ථානවල ජීවත් වන බව මට පෙනී ගොස් තිබෙනවා. එක තැනක විතරක් නෙවෙයි නේ ද?, ඒක නිවැරදි ද?

ලාස්ලෝ: ඔව්, එය නිවැරදි යි. මම ජීවත් වෙන්නේ හංගේරියාවේ. බුඩාපෙස්ට් අසල, කන්දක් මුදුනේ. ඒ වගේ ම මම ට්‍රයිස්ටේවලත්, සමහර වෙලාවට වියානාවලත්, පැරණි ඔස්ට්‍රියානු-හංගේරියානු රාජාණ්ඩුවේත් ජීවත් වෙනවා.

ජෙනී : ඔබ මෙම ජයග්‍රහණය සමරන්නෙ කොහොම ද?

ලාස්ලෝ: මේ පුදුමාකාර ආරංචිය මම බලාපොරොත්තු වුන එකක් නෙවෙයි. ඒ නිසයි මට වෙනස්කම් කරන්න බැරි. සමහරවිට හවසට අපි පෝට් වයින් සහ ෂැම්පේන් එක්ක මෙහේ ෆ්‍රැන්ක්ෆර්ට්වල ඉන්න මගේ යාළුවෝ එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන්න පුළුවන්.

පරිවර්තනය: අනුර බී. සෙනෙවිරත්න

More From Author

බෝල්ෂෙවික් විප්ලවයට සම්බන්ධිතව කෘති පරිවර්තනය කිරීමේදී මාගේ මූලික අරමුණ වුණේ අප ජීවත් වන ලෝකය උඩු යටිකුරු කළ සමාජ විප්ලවය ගැන වර්තමාන සමාජයට කියවා ගැනීමට අවස්ථාවක් ලබා දීමටයි.

මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (9 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348