සමන් කළුආරචිචි:
මේ ඡායාරූපයේ තියෙන ලියුම් කවරය දිහා බලන්න.
ඒක මගේ අතට පත් වුණේ සරේ (Surrey) මහජන පුස්තකාලයෙන්.

මේ කවරය මා අතට පත්‌වෙද්දී තවත් තිස් තුන් දෙනෙකු අතර මේ කවරය එහාට මෙහාට හුවමාරු වෙලා තිබුණා. දවස් ගණනින් නෙමෙයි… සති මාස ගානක් තිස්සේ. අවුරුද්දක් දෙකක් පුරාම.
ඒත් ඒ එකම වහලක් යට සිටින පිරිසක් අතර නෙමෙයි. විවිධාකාර නිලතල දරන, විවිධාකාර පිරිස් අතර.
Surrey කියන්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ භූමි ප්‍රමාණයෙන් විශාලතම නගරය. මේ විශාල නගරයේ, විවිධාකාර උප නගර පුරා විහිදී විසිරී තියෙන පුස්තකාල දහයත්, ඊට අනුබද්ධ විවිධාකාර ආයතනවල සේවය කරන පිරිසත් අතර තමයි මේ කවරය ඇතුළේ විවිධාකාර ලිපි ලේඛන, සුළු සුළු උපකරණ, පාර්සල් වගේ දේවල් හුවමාරු වුණේ.

මේ කවරය නිකම්ම නිකම් සාමාන්‍ය කඩදාසි කවරයක්.
අඩුම තරමින් ගනකම කාඩ්බෝඩ් කවරයක්වත්, කල් පවතින ඉටි වැස්මකින් වැසුණු කවරයක්වත් නෙමෙයි.
ඒත් 33 දෙනෙකු අතර හුවමාරු වෙලා කවරය මගේ අතට පත්වෙද්දීත් ඉතා හොද මට්ටමක ඒක තිබුණා.
සිහින් වැහි බිඳු නොකඩවා ඇද හැළුණු වැහිබර හැන්දෑවක තමයි මේ කවරය ඇතුළේ තිබුණු පාර්සලය පුස්තකාලයෙන් මං භාර ගත්තේ.
සරේ පුස්තකාල ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සේවය කළත් මා එහි වැටුප් ලබන සේවකයෙකු නෙමෙයි. ඒ නිසා එහි තිබූ පාර්සලය මගේ වාහනය නවතා තිබූ තැනට නොතෙමා පරිස්සමින් ගෙනි යන්නට මට අවශ්‍ය වුණා. ඒත් වැහි බිඳු වැටී තෙත බරිත වූ බැවින් ඒ කවරයේ ගමනාන්තය මගෙන් අවසන් වුණා.

එසේ නොවුණා නම් මේ කවරය රාජකාරී කටයුතු වෙනුවෙන් තවත් බොහෝ දෙනෙකු අතරට යා හැකිව තිබුණා. ලබන්නාගේ නම ලියන්නට කවරයේ වෙන් කර තිබූ ඉඩකඩ අනුව නම් රාජකාරී කටයුතු වෙනුවෙන් දින, සති, මාස, අවුරුදු ගණනින් අසූ දෙනෙක් (80ක්) අතරට මේ කවරය ගමන් කරන්නට හැකියාව තිබුණා.
කැනඩාව කියන්නේ දියුණුවේ හිනිපෙත්තේ සිටින රටක්.
ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන සංවර්ධිත රාජ්‍යයක්.
විසල් නගරයක් වන සරේ නගර සභාවටත් මුදල් හදල් අතින් කිසිම අහේනියක් නැහැ. අනෙක් සෑම රටකම පාහේ සරේ නගර සභාවේත් ප්‍රධානතම ආදායම තමයි මහජන බදු මුදල්. සමෟද්ධිමත් සරේ නගර සභාවට රාජකාරී ලිපි පාර්සල් වෙනුවෙන් අලුත්ම අලුත් ලියුම් කවර තොග පිටින් මුදා හැරීම වැය පක්ෂයට දැනෙන තරම්වත් දෙයක් නෙමෙයි.
ඒත් අතිශය සුළු මුදලක් වැය වන මේ සාමාන්‍ය කඩදාසි කවරය පවා මෙතරම් වාර ගණනාවක් පාවිච්චි කිරීම තුළින් කොයි තරම් නම් අපූරු පණිවිඩයක් ද මේ කියන්නේ?
ඒ පණිවිඩයෙන් කියා පාන්නේ මහජන බදු මුදල් වෙනුවෙන් කොයි තරම් නම් වගවීමක් ආණ්ඩුව දරනවා ද යන්න යන්න විතරක්ම නම් නෙමෙයි. මහජන බදු මුදල් වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් දක්වන ගෞරවය සහ සැළකිල්ලයි.
ලියුම් කවරය මා අතට පත් වුණු මොහොතේ මේ සටහන මෙසේ ලියන්නට මට සිත් වුණේ කොළඹ ගාලු මුවදොර ගාල් කර දමා තිබූ හිටපු ජනාධිපතිවරයාගේ 76ක් වූ උපදේශක මණ්ඩලයේ සුඛෝපභෝගී මෝටර් රථ සමුදායේ රූප පෙළක් මේ කවරය දකිද්දී මට සිහිපත් වූ නිසයි.
මහජන බදු මුදල් කෝටි ගණනින් කාබාසිනියා කළ මේ උපදේශක මණ්ඩලයට අඩුම තරමින් ලියුම් කවරයක් ප්‍රතිචක්‍රීයකරණය කරන්නට තරම් සරල උපදෙසක් සිය ජනාධිපතිවරයාට දෙන්නට තරම්වත් බුද්ධියක් තිබුණා නම් තමන් සූරා කෑ බදු මුදල් වෙනුවට රුපියල් දහසකින් හෝ රටට සේවයක් කළා යැයි මරණාසන්න මොහොතේ හෝ සැනසෙන්නට ඉඩක් තිබුණා.
ඒත් කෝකියන් තිස් හතර දෙනෙක් වට කරගෙන මිලියන දහයක මුදලක් මාස්පතා සිය කෑම බීමට පමණක් වෙන් කර ගත්ත, ඒ වගේම විශ්‍රාම ගිය රූප සුන්දරියන්ගෙන් පවා උපදෙස් ගන්නට තරම් බාල මට්ටමකට ඇද වැටුණු ජනාධිපතිවරයෙකුගෙන් රටේ ජනතාවගේ බදු මුදලට ගෞරවයක් හිමිවේ යැයි සිතීමත් විහිළුවක්.
කමක් නැහැ… වේයන් කන්නට පෝෂ (Porsche) රථ තියෙන තරමට පොහොසත් රටකට ලියුම් කවරයක් කියන්නේ ඉතින් මොකක් ද?

සමන් කළුආරචිචි-Saman Kaluarachchi





