සමන් කළුආරචිචි:
Sunshine Coast
Hidden Between the Ocean and Forest
නොනවත්වා රළ බිඳෙන ශාන්තිකර සාගරයත්,
නිල් පැහැ කඳු යායට මායිම් වූ වනරොදත් අතරට මැදි වුණු නිසංසල මුහුදු පුරවරයක් තමයි කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ පිහිටලා තියෙන Sunshine Coast කියන්නේ.

වැන්කුවර් නගරයේ ඉඳන් මුහුදු යාත්‍රාවකින් (ferry) මේ අති සුන්දර භූමියට පිය නැගුවාට පස්සේ කෙනෙකුට දැනෙන්නේ සංකීර්ණ වෙච්ච අපේ ජීවන ගමනෙන් තරමක ඉස්පාසුවක් ලැබුණාය වගේ හැඟීමක්… එහෙමත් නැතිනම් භාවනාවක් වගේ හිත එක්තැන් කරවන නිස්කලංක භාවයක්.

සාගරය අද්දර ගල් තලාවක වාඩිවෙලා රන්වන් හිරු රැස් දහරේ පහස ලබන අතරේ වනාන්තරය පිස ගෙන එන මුහුදු රැළිවල මිහිරි සංගීතය නිදහසේ විඳින්නට තරම් ඔබට ඉස්පාසුවක් තියෙනවා නම් ජීවිතයේ කිසිදා අමතක නොවන අත්දැකීම් ගොන්නක්ම විඳ ගන්නට පුළුවන් වේවි.
මේ සුන්දර භූමිය සිය පාරම්පරික නිජ භූමිය කරගත් මිනිසුන්ගේ ජීවන අත්දැකීම් බෙදා හදා ගනිමින් සුන්දර කතා බහක යෙදෙන්නට….!
නිසංසල නගරයේ කලබලකාරී අවහන්හලක කවුළුවක් අද්දරට වෙලා උණුසුම් කෝපි කෝප්පයක් බිඳින් බිඳ තොල ගාන්නට…!

සාගරය අද්දර උස් තුරු මුදුන් මත සිටින රාජාලියන්.. උකුස්සන් පලවා හරින්නට අසාර්ථක උත්සාහයක යෙදෙන මුහුදු ලිහිණියන් දෙස බලමින් සිනහවක් නගන්නට…!

මාළුවෙකු පිහිනා යන තෙක් තමන්ගේ පාඩුවේ බලා ඉන්නා කොක් රංචුවක ඉවසීම දකින්නට….!

අලස සුවයෙන් ගල් තලා මතටම ඇළුණු තාරකා මත්ස්‍යයන්ගේ සිරුරු හිරු එළියට දිදුලන අයුරු නරඹන්නට…!
සිය දරු පැටවුන් නිදහසේ හිරැ රැස් විඳින තෙක් විමසිල්ලෙන් බලා සිටිමින් ආරක්ෂාව සපයන සීල් අම්මාවරුගේ අසිරිය දකින්නට…!

මේ හැම දේටමත් වඩා ඔබ විස්මිත කරවන තවත් අත්දැකීමක් තියෙනවා. එක්වරම මහා ජල කඳක් මතු කරමින් සාගරය දෙබෑ කරගෙන ඔබේ දෑස් ඉදිරියේම ඉහළට මතු වන තල්මසුන්ගේ අතිශය චමත්කාරජනක දර්ශනයයි ඒ!

ජීවිතයේ වරක් දෙවරක් පමණක් දකින්නට ඉඩක් ඇති ඒ අතිශය දුර්ලභ අත්දැකීම අවස්ථා ගණනාවක දීම අපේ දෑස් ඉදිරිපිට මීටර් කිහිපයක් ඈතින් දකින්නට තරම් අපි ද වාසනාවන්තයෝ වූවෙමු.

කැනඩාවේ මුල් පුරවැසියන්ගේ ප්‍රෞඩ නිජ භූමියක් වූ මේ භූමිය සැබවින්ම පාරාදීසයක්මය!
(Photo credits to the family)

සමන් කළුආරචිචි-Saman Kaluarachchi





