කව්බෝයි ක්‍රිකට් – සංස්කෘතික පරිහානියේ කැඩපත

පසුගිය 28 දා ඩුබායිහි දී පැවති 2025 ආසියා කුසලාන පුරුෂ T20 ක්‍රිකට් අවසන් තරගය දිනූ ඉන්දීය කණ්ඩායම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වන පාකිස්ථාන ස්වදේශ කටයුතු ඇමති මොශින් නක්වි අතින් ජය කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ අතර එම ක්‍රියාව පිළිබඳව ක්‍රීඩා ලෝකය තුල උණුසුම් වාදවිවාද මතු වෙමින් තිබෙන තතු යටතේ, ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම පිළිබඳව රාවය පුවත්පතේ (2011 මැයි 08 සහ මැයි 15) පළ වූ මේ ලිපිය යළි පළ කිරීම අවස්ථාවෝචිත යයි කල්පනා කළෙමු – සංස්කාරක

දසවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොබෝදා ඉන්දු උප-මහද්වීපයෙහි දී නිමාවට පත් විය. එහෙත්, ක්‍රිකට් උනුසුම මැකී ගොස් නැත: තදනන්තරව, ඉන්දියානු අයි.පී.එල්. තරගාවලිය ඇරැඹුනු බැවිනි. නුදුරු අතීතයෙහි මාස කීපයකට පමනක් සීමා වූ ක්‍රිකට් සමය මෙකල වසර පුරා රඳවා ගැනුමට ක්‍රීඩා පරිපාලකයන්, අනුග්‍රාහක සමාගම් ඇතුලු සියලු පාර්ශ්වයෝ වග බලා ගනිත්.

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුර ක්‍රිකට් විචාරකයන් ද, විස්තර කථකයන් ද, මාධ්‍යවේදීන් ද, ක්‍රීඩා ලෝලීහු ද, සුපුරුදු පරිදි, නොවැදගත් සංවාදයන්හි පැටලී සිටියහ. අසවල් ක්‍රීඩකයා කපා හැරියේ මන්ද? අසවල් ක්‍රීඩාංගනයට තරගයක් නොදුන්නේ මන්ද? අසවල් දුර්වලතා සහ අක්‍රමිකතා සිදු වූයේ කාගේ වරදින් ද? යනාදී වසයෙනි. රාවය පත්‍රයෙහි පල වූ ඇතැම් ලිපියකින් ක්‍රිකට් විශයයෙහි බලපැවත්වෙන කලාපීය දේශපාලනය, වර්ගවාදය හා වානිජ්‍යය ප්‍රශ්න කෙරී තිබුන ද, සමස්තයක් ලෙස, යට කී සියලු විශ්ලේශන, ඒ හෝ මේ කාරනාව විවේචනය කිරීමෙන් සෑහීමට පත් වූවා විනා වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවෙහි ජුගුප්සාජනක මුහුනුවර ගෝලීය සංස්කෘතික ඛාදනයේ හා පරිහානියේ ප්‍රකාශනයක් ලෙස දැක ගැනුමට අපොහොසත්ව තිබුනි. එබඳු වටහා ගැනීමක් සඳහා අදාල ප්‍රස්තුතය ඓතිහාසික වූත් ජාත්‍යන්තර වූත් සන්දර්භයක් තුල සාකච්ඡා කල යුතු ය.

ලෝක කුසලාන තරගාවලියෙහි කෙටි ඉතිහාසය දෙස හැරී බලන කල්හි එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අන්දම – දශක දෙක තුනක් ඇතුලත එහි ප්‍රේක්ශක සංඛ්‍යාවෙහි දැවැන්ත ආරෝහනය යමෙකුට පෙනී යයි. තරගාවලිය නිමිත්තෙන් නිකුත් වන නිල සමරු භාන්ඩ ලැයිස්තුව පමනක් පිටු ගනනාවක් පුරා දිවෙයි (1975 ප්‍රාරම්භක අවස්ථාවෙහි නිකුත් කෙරුනේ සිහිවටන තුන හතරක් පමනි) . තරගාවලියට පෙර සිට ම, ඊට සහභාගි වන සෑම රාජ්‍යයක ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තලය වනුයේ ක්‍රිකට් ය.

අනෙක් අතට, ක්‍රිකට් පවතිනුයේ රටවල් ස්වල්පයක පමනක් හෙයින් ‘ලෝක කුසලානය’ යන නම පවා උචිත නැතැ යි යමෙකු පැවසුවහොත් එය ද අසාධාරන නොවේ. එසේ නම්, ප්‍රස්තුත තරගාවලිය අලලා ගත් ඝෝශාවෙහි හා උන්මාදයෙහි අරුත කිම?

අප ජීවත් වන මේ ධනේශ්වර යුගයෙහි ක්‍රීඩාව සුලු පිරිසකගේ වරප්‍රසාදයක් මිස මහජනතාවන්ගේ උරුමයක් නොවේ. ලෝක ජනගහනයෙන් අති බහුතරයකට ක්‍රීඩා කිරීමෙහි ඉඩප්‍රස්ථා නොමැත. ඔවුන් විනෝදාස්වාදය ලබනුයේ හුදෙක් ක්‍රීඩාව නැරඹීමෙනි. එහෙත්, ධනපති ක්‍රමය එම අවස්ථාව වුව ධනෝපායනයෙහි යොදවයි (නා නා ප්‍රකාර වෙලෙඳ දැන්වීම් සඳහා ඉඩ සලසනු වස් රූපවාහිනී තිරයෙහි ක්‍රීඩාව දිස්වන රාමුව ප්‍රමානයෙන් කුඩා වන අයුරු නිරීක්ශනය කරන්න). ක්‍රිකට් ප්‍රවර්ධනය පිනිස ඉදිරිපත්ව සිටින අනුග්‍රාහක සමාගම් විසින් එය අධික ලාභ උපදවන ව්‍යවසායයක් බවට – ක්‍රීඩාව ද, ක්‍රීඩකයන් ද උනු කැවුම් මෙන් විකිනෙන හුවමාරු භාන්ඩ බවට පත් කෙරී ඇති බව නොකිවමනා ය. ඔවුන්ට, ක්‍රීඩාව යනු තම නිපැයුම් අලෙවි කර ගැනුමෙහි ද, තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනුමෙහි ද, බදු සහන ලබා ගැනුමෙහි ද වාහකයකි. මෙලෙස, ඔලිම්පික් උලෙලේ සිට පාසල් “බිග් මැච්” දක්වා සකලසියලු ක්‍රීඩා උත්සව අනුග්‍රාහකයින් අතර තරගයක් බවට පෙරැලී තිබෙන තතු යටතේ, ඊනියා “ක්‍රිකට් වසන්තයක්” පිලිබඳව කෙරෙන දැවැන්ත ප්‍රචාරයෙහිත් ඉරිදා පොලකින් නැඟෙන ගාලගෝට්ටියෙහිත් වැඩි වෙනසක් නැත. සත්තකින් ම, මේ කාලකන්නි අවධියෙහි වෙලෙඳපොල නීතියට අවනත නොවන මොනයම් ක්‍රීඩාවකට වුව පැවැත්මක් නොමැත. කෙටියෙන් කියතොත්, නූතන ක්‍රිකට් කර්මාන්තය වටා මුදල් ගැවසෙනුයේ ඩොලර් කෝටි ගනනිනි.

Version 1.0.0

Cricket Lovely Cricket! – ඒ මා කුඩා කල කියැවූ පොතක නම ය. ක්‍රිකට් යනු අධිරාජ්‍යවාදයෙහි – බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙහි නිපැයුමකි. එහෙයින් ම, එය උපතේ සිට ම මුදල් ගනුදෙනු සමඟ බැඳී පැවතිනි. 1697 දී සසෙක්ස්හි සංවිධානය කෙරුනු මංගල ක්‍රිකට් තරගය මත් ගිනි පනහක් වෙනුවෙන් පැවැත්වූවක් බව බි්‍රතාන්‍ය විශ්වකෝශය පවසයි. නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ පියා හැටියට පිලිගැනෙන ඩබ්ලිව්. ජී. ග්‍රේස් (1848-1915) වෘත්තීය ක්‍රීඩාවෙහි නිරත විය.

W. G. Grace

එසේවතුදු, එවක ක්‍රිකට් ක්‍රීඩාව මුදලේ ආධිපත්‍යයට මුලුමනින් නතුව තිබුනේ නැත. පෙර කී ග්‍රේස් ලකුනු නොලබා දැවී ගිය අවස්ථාවක දී, ක්‍රීඩා ලෝලීන් රැස්ව සිටින්නේ තම පිති හරඹය නැරඹීමට බැවින් තමාට නැවතත් පන්දු එවන ලෙස කියා සිටි බැව් පැවසේ! සත්තකින් ම, අඩ සියවසකට පෙර පවා ක්‍රිකට් සංසන්දනාත්මකව සුන්දර ක්‍රීඩාවක් ලෙස පැවතිනි. වාද්‍ය සංගීතය එහි දැවැන්ත වැදගත්කමත් පූර්න වර්ධනයත් සාක්ශාත් කලේ ධනවාදය යටතේ බැව් ජර්මානු සංගීතඥ හාන්ස් අයිස්ලර් සඳහන් කලේ ය. එසේ ම, ක්‍රිකට් ක්‍රීඩාව එහි ඉහල ම තාක්ශනයත් පරිපූර්න රූපාකාරයත් අත්පත් කොට ගත්තේ ධනවාදය යටතේ ය.

තෙලෙස්වැනි සියවසෙහි පටන් වැඩවසම් එංගලන්තයෙහි ප්‍රත්‍යන්ත පෙදෙස්වල පැතිර තිබුනු ‘ක්‍රයිස්’ ක්‍රීඩාව ක්‍රිකට් යනුවෙන් බෞතීස්ම කෙරුනේ සතලාස්වැනි සියවස අග දී ය. ඒ වූ කලි ධනවාදයෙහි ආරම්භක (ප්‍රගතිශීලී) අවධිය යි. අනතුරුව ක්‍රමිකව වර්ධනය වූ ක්‍රිකට්, ධනවාදයෙහි ඉහල ම අදියර ලෙස ලෙනින් හැඳින්වූ අධිරාජ්‍යවාදය යටතේ එහි ඉහල ම රූපය – ටෙස්ට් ක්‍රිකට් – අත්පත් කොට ගති. ඒ වන විට, විධිමත් ක්‍රිකට් ක්‍රීඩාව ග්‍රාමීය ජනතාව වෙතින් ලන්ඩනය කේන්ද්‍ර කොට ගත් වරප්‍රසාදිත ධනපති පන්තිය අතට මාරු වී තිබිනි. දැවැන්ත ප්‍රාග්ධනයක හිමිකරුවන් ද, හිරු නොබසින අධිරාජ්‍යයෙහි පාලකයන් ද වූ මේ ධනපතීන් හට ක්‍රිකට් වෙනුවෙන් වැය වන ධන සම්භාරයත් දිගු කාලයත් ප්‍රශ්නයක් නොවී ය. තව ද, තම ව්‍යාපාරික ගනුදෙනුවල දී සහ තම ෆැක්ටරි තුල දී කිසිසේත් රැකිය නොහැකි වූ “මහත්මා ගති” ඔවුහු තම ක්‍රීඩාවට ආරෝපනය කලහ. වැඩි කල් නොයා එය එංගලන්තයෙහි ජාතික ගිම්හාන ක්‍රීඩාව බවට පත් විය.

කෙසේවෙතත්, වැඩවසම් නශ්ටාවශේශ සමහරක් ද ක්‍රිකට් ක්‍රීඩාවට මුසුව තිබිනි. මුල දී, එම ක්‍රීඩාව හුදෙක් රදල පෙලැන්තියට සීමා විය. 1960ගනන් වන තෙක් ම ‘මහත්වරුන් සහ ක්‍රීඩකයන්’ අතර (gentlemen vs players) වාර්ශික තරග පැවැත්විනි. මහත්වරුන් ඉදිරිපසින් ක්‍රිඩාගාරය සම්ප්‍රාප්ත වන විට ක්‍රීඩකයන් ඇතුලු වූයේ පස්සා දොරෙනි!

George Washington

ජෝර්ජ් වොශිංටන්ගේ අනුශාසකත්වය යටතේ, එංගලන්තයට හා ඔස්ටේ්‍රලියාවට පවා පෙර ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කල අමෙරිකාව සහ කැනඩාව තුල එය ජාතික ක්‍රීඩාව ලෙස ස්ථාපනය නොවූයේ, තම වංශවත්භාවය පිලිබඳව අමෙරිකානු හා කැනේඩියානු ධනපතීන් තුල හට ගත් සැක සාංකාව නිසා බැව් හාවර්ඩ් සරසවියෙහි සමාජ විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. ක්‍රිකට් සමාජයන්හි සභාපති තනතුර ‘President’ යනුවෙන් හැඳින්වෙයි නම් දේශයේ නායකයාට ඒ නම උචිත නොවන්නේ මන්දැයි 1780 දී අමෙරිකානු ජනරජයේ දෙවෙනි ජනාධිපති ජෝන් ඇඩම්ස් කොන්ග්‍රසයෙන් ප්‍රශ්න කලේ ය (එස්. පතිරවිතාන, “How America escaped being a cricketing country?˜” Sunday Observer” 15’10’2006).

John Adams

ජාත්‍යන්තර මට්ටමින් කාන්තා ක්‍රිකට් ප්‍රචලිතව තිබීම නොතකා එම ක්‍රීඩාව විශයයෙහි ගතානුගතික පුරුශෝත්තමවාදය තවමත් එක්තරා දුරකට බලපැවැත්වෙයි. ක්‍රිකට් ක්‍රීඩාවෙහි පැරනිතම හා ප්‍රමුඛතම මූලස්ථානය වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයෙහි (MCC) සාමාජිකත්වය එදා සිට ම ස්ත්‍රීන්ට අකැප ය. “ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මක්කම” ලෙස ප්‍රකට සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩා මන්ඩපයෙහි දිගු ආලින්දය අදටත් ස්ත්‍රීන්ට තහනම් ප්‍රදේශයකි.

1877 දී ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් සඳහා නිශ්චිත තරග කාලයක් නොවී ය (එංගලන්තය හා දකුනු අප්‍රිකාව අතර 1939 දී පැවති ටෙස්ට් තරගයක් දින නවයකට පසුව අත්හැර දමන ලද්දේ එංගලන්ත පිලට සියරට බලා යන නැව අල්ලාගත යුතුව තිබූ බැවිනි!). දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව, කඩා වැටුනු ජාතික ආර්ථිකයන් පිලිසකර කිරීමෙහි වෑයමක නිරත වූ ධනපතීහු ටෙස්ට් ක්‍රිකට් දින පහක (පැය 30 ක) උපරිමයකට යටත් කලහ.

ටෙස්ට් ක්‍රිකට්හි දී, එක් පිලකට ක්‍රීඩා වාර (ඉනිම) දෙක බැගින් හිමි වන අතර ඉනිමක් තුල යැවෙන පන්දු වාර (ඕවර) සංඛ්‍යාවෙහි සීමාවක් නැත. එහෙයින්, පිතිකරුගේ ක්‍රීඩා ශෛලිය – එහි සියලු සබලදුබලතා මැනවින් නිරීක්ශනය කරමින් සුදුසු උපමාරු යෙදීමෙහි අවස්ථාව පන්දු යවන්නාට හිමි වෙයි. එසේ ම, දුර්වල පන්දු පමනක් තෝරාබේරාගෙන දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමෙහි අවස්ථාව පිතිකරුට හිමි වෙයි. ක්‍රිකට් ක්‍රීඩාවෙහි දැකිය හැකි සෑම මනරම් පිති හැසිරවීමක් (strokeplay) සහ සෑම මනරම් පන්දු විශේශයක් ම වර්ධනය කෙරුනේ යට කී අධ්‍යයනයෙහි හා පලපුරුද්දෙහි ප්‍රතිඵලයක් වසයෙනි.

වෙනත් බොහෝ ක්‍රීඩා මෙන් නොව, ටෙස්ට් ක්‍රිකට් වානිජ රකුසාගේ ග්‍රහනයට හසු වූයේ වඩාත් සෙමෙනි. එයට පැහැදිලි හේතුවක් තිබිනි. දින කීපයක් මුලුල්ලෙහි පැවැත්වෙන, නිතර ජය පරාජයෙන් තොරව අවසන් වන, විටෙක ප්‍රේක්ශකයා අලසභාවයට පත් කරන ක්‍රීඩාවක් මුලුමනින් වානිජකරනය කිරීම අසීරු කටයුත්තක් විය. ඒ සඳහා සාමාන්‍ය ක්‍රීඩාවෙහි දැකිය හැකි මෙකී ‘දුර්ගුන’ අහෝසි කල යුතුව තිබිනි. එය කල හැකි වූයේ ක්‍රීඩාවෙහි ස්වරූපය මත් වෙනස් කිරීමෙනි.

ක්‍රිකට් සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහල ගියේ, 1960 දශකයෙහි, වානිජමය කොන්දේසි මගින් නිර්නිත සීමිත ඕවර තරගවල ආරම්භයත් සමඟිනි. ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිජ භූමිය වන එංගලන්තය සම්බන්ධයෙන් වුව මෙය සත්‍යයකි. ඕනෑ ම ක්‍රීඩාවක මූලාරම්භයට – දරුවන්ගේ ‘හැංගිමුත්තු’ සෙල්ලමට පවා ආර්ථික පදනමක් ද සමාජ-මනෝවිද්‍යාමය පසුබිමක් ද තිබෙන බව පෙන්වා දීම අසීරු නොවේ. එතෙකුදු නොව, දෙන ලද ක්‍රීඩාවක සෑම නව ප්‍රභේදයක් මත් මෙකී සාධකද්වයෙහි ඵලයකි. එබැවින්, ක්‍රිකට් ක්‍රීඩාවෙහි සංක්ශිප්ත ප්‍රභේදය හෙවත් සීමිත ඕවර තරග බිහි වූයේ කිනම් තතු යටතේ ද?

පශ්චාත් යුදකාලීන ලෝක පර්යාය වඩවඩා අර්බුදයට යත් ම ධනේශ්වර සමාජ ජීවිතයෙහි කලබලකාරී බව, අවිවේකය, නොසන්සුන්තාව හා නොඉවසිලිමත්කම වඩවඩා උග්‍ර විය. මෙහි ප්‍රතිඵලයක් වසයෙන්, එතෙක් ආර්ථික ක්ශේත්‍රයෙහි ක්‍රියාත්මක වූ – වඩා සරලව කියතොත්, භාන්ඩ හා සේවා සම්බන්ධයෙන් බහුලව බලපැවැත්වුනු, සෑම කාර්යයක් ම කඩිනමින් සපුරා ගැනුමෙහි අවශ්‍යතාව නොහොත් “ක්ශනික නූඩ්ල්ස්” සංකල්පය සංස්කෘතික උපරි-ව්‍යුහය තුලට ද කාවැදිනි. එතෙක් සාපේක්ශ නිදහසක් භුක්ති විඳි ක්‍රිකට් ක්‍රීඩාව තුල මේ ප්‍රවනතාව ඉස්මතු වූයේ එක් දින ක්‍රිකට් වසයෙනි. වැඩි ප්‍රේක්ශක පිරිසක් ඇද ගැනීම, රූපවාහිනී සජීවී විකාශන අයිතියෙහි විනිමේය වටිනාකම, අනුග්‍රාහකයින් සොයා ගැනුමෙහි පහසුව, ඔට්ටු තැබීමේ ව්‍යාපාරයන්හි සාර්ථකත්වය, නව ගොදුරු බිම් එලිපෙහෙලි වීමෙහි විභවය යනාදී කී නොකී වෙලෙඳ අරමුනු එය පිටුපස පැවතිනි.

1963 දී, එංගලන්ත ප්‍රාන්ත කන්ඩායම් අතර ජිලට් කුසලානය සඳහා පැවති ප්‍රථම අත්හදාබැලීමෙන් ම එහි ශක්‍යතාව පෙනී ගියේ ය. අනතුරුව පැන නැගි එක් දින ජාත්‍යන්තර තරග (ODI) බෙහෙවින් ජනප්‍රිය විය. ලෝක කුසලාන තරගාවලියට පාර කැපුනේ එලෙසිනි.

ටෙස්ට් ක්‍රිකට් මෙන් නොව, සීමිත ඕවර ප්‍රභේදය තුල ක්‍රීඩා තාක්ශනයෙහි හෝ කෞශල්‍යයෙහි අභිවර්ධනයට හිතකර වාතාවරනයක් නොපවතී. හැකි තාක් වේගයෙන් ලකුනු රැස් කිරීම පිතිකරුගේ අභිප්‍රාය වන අතර ප්‍රතිවාදී පිලෙහි මූලික අරමුන (පිතිකරු දවා ගැනුම නොව) ඔහුට ලකුනු නොදීම ය. වඩා ශෝචනීය වනුයේ පන්දු යවන්නාට අත්වන ඉරනම යි. තමාට නියමිත පන්දු වාර ස්වල්පය තුල දැඩි නීතිරීතිවලට යටත්ව ඔහු පන්දු යැවිය යුතු ය. උපක්‍රමික වසයෙන් වුව පා ඉන්නට පිටින් පන්දුව යොමු කිරීමට ඔහුට අවසර නැත.

එමතුදු නොව, එක් දින තරග සඳහා නිතර ම තනතිලි සැකසෙනුයේ ද පිතිකරුවන්ගේ වාසියට ම ය. මේ සියල්ලෙන් පැහැදිලි වනුයේ කුමක් ද? සීමිත ඕවර ක්‍රිකට් යනු හුදු වෙලෙඳාමක්, එනම්, ප්‍රේක්ශක පාරිභෝගිකයා පිනවීම ඉලක්ක කර ගත් ව්‍යාපාරයක් බව යි. මේ අතර, වානිජමය ව්‍යවසායයක් වසයෙන් මේ නවතම ක්‍රීඩාවෙහි ගැබ් වන බලය හඳුනා ගත් කෙරී පැකර් නමැති ඕස්ටේ්‍රලියානු ධන කුවේර මාධ්‍ය හිමිකරුවා ක්‍රීඩකයන් මිල දී ගෙන පුද්ගලික ලෝක තරගාවලියක්සං විවධානය කලේ නිල ක්‍රීඩාවට අභියෝග කරමිනි. එතැන් පටන්, ඉතා කෙටි කලක් ඇතුලත නා නා විධ අංගෝපාං – වෛවර්න පිජාමා, ධාරා ආලෝකය, ධවල පන්දුව, ජව කෙලිය (power play) යනාදිය ක්‍රිකට්වලට එකතු විය. මින් බොහොමයක් ක්‍රීඩාව මත බලෙන් පැටවුනු ඒවා මිස එය විසින් සැබවින් ම ඉල්ලා සිටින ලද වෙනස්කම් නොවේ. ක්‍රිකට් ක්‍රීඩකයන් හට කවදත් ඔබිනුයේ තාපය අඩුවෙන් අවශෝශනය වන සුදෝසුදු වස්ත්‍රය පමනි.

Kerry Packer

එසේ ම, දිවා-රාත්‍රි තරග ක්‍රීඩකයන්ගේ කායික හා මානසික ආරෝග්‍යයට එතරම් හිතකර නොවන බව වෛද්‍ය මතය යි. නමුත්, රූපවාහිනී නාලිකා ඔස්සේ කෝටි සංඛ්‍යාත ගෘහස්ථ ප්‍රේක්ශක සමූහයක් ක්‍රීඩාවට ආකර්ශනය වීම හමුවේ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යය පරදුවට තැබීම වඩා ලාභදායී බව සංවිධායකයෝ තේරුම් ගත්හ. මොවුහු උශ්නාධික අරාබි කතරට පවා “පිජාමා ක්‍රිකට්” අපනයනය කලහ; එතෙකිනිදු නො නැවතී, හොංකොං සික්සර්ස් නමැති සය-සාමාජික කුඩා ලෝක තරගාවලියක් ද බිහි කලහ (මෙහි යටි අරමුන වනුයේ, හොංකොං වැටමායිම පැන හැකි නම් ප්‍රකෝටි සංඛත්‍ාත පාරිභෝගික ජනතාවක් වෙසෙන චීනය තුලට ක්‍රිකට් රැගෙන යෑම යි). අභිනවයෙන් හඳුන්වා දෙන ලද Twenty 20 ප්‍රකාරය ගැන කවර කතා ද?

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිය යටත් විජිතයන් හට ක්‍රිකට් හඳුන්වා දෙන ලද්දේ ශතවර්ශයකටත් පූර්වයෙන් වුව දකුනු ආසියාව පුරා වසංගතයක් මෙන් “ක්‍රිකට් උන” පැතිර ගියේ ඉතා මෑතක දී ය. වඩා නිශ්චිතව කියතොත්, 1983 දී ඉන්දියානු කන්ඩායම ලෝක ශූරතාව හිමි කර ගත් පසුව ය. අනතුරුව, 1992 දී පාකිස්තානු පිල ද 1996 දී ශ්‍රී ලංකා පිල ද ලෝක ශූරයින් ලෙස අභිශේක ලැබීමත් සමඟ ඉන්දු උප-මහාද්වීපයෙහි ක්‍රිකට් උන්මාදය පෙර නොවූවිරූ මට්ටමට උත්සන්න වූ අතර මෙකල එය දොරක් දොරක් පාසා රැව් දෙන මාතෘකාවක්ව තිබේ. වෙසක් පුරපසලොස්වක දිනයෙහි ජනතාව ආගමික වත්පිලිවෙත්හි නිරත කරවනු වස් එදින රූපවාහිනියෙන් ක්‍රිකට් නොපෙන්වීමට පියවර ගන්නැයි මෙරට බෞද්ධ ශික්ශූහු වරෙක රජයෙන් ඉල්ලා සිටියහ (අභිනව ක්‍රිකට් රැල්ලෙහි තරම මතු නොව චිරාගත ආගම මුහුන දී සිටින අර්බුදයෙහි පරිමාව ද ඉන් පෙන්නුම් කෙරේ!).

විජිත රාජ්‍යයන්හි ක්‍රිකට් ක්‍රීඩාව මුල දී බි්‍රතානත්‍ ජාතිකයන් හා ඉංග්‍රීසි උගත් ස්වදේශීය ප්‍රභූ පෙලැන්තිය අත පැවතීමත් වත්මන් ක්‍රිකට් පිපාසාව එක්තරා දුරකට සිසිල් බීම නිශ්පාදකයන් ප්‍රමුඛ බහු ජාතික සංගත කීපයක හා මාධ්‍ය ආයතනයන්හි අනුග්‍රහයෙන් නිර්මිත දේශපාලන උපායක් වීමත් කරනකොටගෙන මේ කලාපයෙහි බොහෝ දෙනා තුල ක්‍රිකට් අරබයා පවතිනුයේ හදිසියේ වගා කෙරුනු, කෘත්‍රිම රුචිකත්වයකි. පන්දු පිටියෙහි භාවිත වන පරිභාශාවේදයවත් ඔවුහු හරිහැටි නො දනිති.

එක් දින ක්‍රිකට්හි, මුල දී ඕවරයකට 3.0ක් පමන වූ ලකුනු රැස් කිරීමෙහි දල වේගය නොබෝ කලෙකින් 5.0 දක්වා වැඩි විය. 1990 ගනන්වල, ශ්‍රී ලංකා පිලෙහි ආරම්භක පිතිකරුවෝ මෙයට නව මානයක් දෙමින් ක්‍රීඩාව උඩුයටිකුරු කලහ; එනම්, පන්දු රැකීම සීමා කෙරුනු මුල් ඕවර 15 තුල විශාල ලකුනු ප්‍රමානයක් හඹා ගියහ. ඔවුන් තම පිති ප්‍රහාරය දියත් කලේ ඕවරයකට 08-10 නැතහොත් ඊටත් වැඩි වේගයකිනි. යම්කිසිවෙකු පැවසූ පරිදි, එය ගිනිකෙලි සංදර්ශනයක් විය. ශ්‍රී ලංකා පිලට 1996 ලෝක ශූරතාව හිමි වූයේ ද මූලිකව ම මෙකී උපායෙහි ‘සාර්ථකත්වය’ හේතුවෙනි. මෙහි ප්‍රධාන භූමිකාව (master blaster) රඟපෑ සනත් ජයසූරිය තරගාවලියෙහි අනගිතම ක්‍රීඩකයා ලෙස නම් කෙරිනි. එක් දින ක්‍රිකට්හි වේගවත් ම ශතකය හා අර්ධ ශතකය, වැඩි ම හයේ පහරවල් සංඛ්‍යාව, ඕවරයක් තුල රැස් කල වැඩි ම ලකුනු ගනන යන ලෝක වාර්තා ඔහුගේ ගිනුමට බැර විය. “ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය” ලෙස සැලකෙන Wisden Cricketers’ Almanack වාර්ශිකය තම චිරාගත සම්ප්‍රදායට පවා පිටුපාමින් එතෙක් එංගලන්ත භූමියෙහි ක්‍රීඩා නොකල ජයසූරිය වසරෙහි හොඳ ම ක්‍රීඩකයන් පස් දෙනා අතරට තෝරා ගති.

ජයසූරිය වීරයෙකු වූයේ පන්දු පිටියෙහි පමනක් නොවේ. ඔහු වෙලෙඳපොලේ ද වීරයෙක් බවට පත් විය. ඉන්දියාවෙහි පෙප්සි සමාගම ඔහු සමඟ ප්‍රචාරක ගිවිසුමකට එලඹුනේ ක්‍රීඩකයෙකු සඳහා තමන් ඒ තාක් නොගෙවන ලද මුදලක් ඔහුට පිරිනමමිනි. LMD නමැති මෙරට ප්‍රමුඛතම වානිජ සඟරාව “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ඔහුට උපහාර දැක්වී ය. වෙලෙඳ ප්‍රචාරයට සම්මාදම් වූ ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩකයා ජයසූරිය නොවෙතත් මෙහි සුවිශේශත්වයක් ඇත. ඔහුගේ ප්‍රහාරාත්මක පිති හරඹය ක්‍රිකට් ක්‍රීඩාවෙහි වර්ධනයකට වඩා වානිජ ලෝකය ලද ජයග්‍රහනයක් හැටියට ව්‍යාපාරිකයෝ ගනන් බැලූහ.

ශ්‍රී ලංකා පිලෙහි ‘සාර්ථකත්වය’ දුටු සෙසු රටවල් ද ජයසූරිය අච්චුවේ ප්‍රහාරකයන් සෙවීමෙහි උත්සුක විය. ප්‍රතිඵලය ඉතා ප්‍රකට ය: පන්දුවට පහර දීමෙහි කලාත්මක තාක්ශනය “වල් අඩි” හා “පොල් අඩි” මගින් විස්ථාපනය කෙරිනි. එක් දින තරගයට අවතීර්න වන ටෙස්ට් පිතිකරුවන්ට පවා එලෙස ලකුනු ලබා ගැනුමට බල කෙරී ඇත. ධනපති මාධ්‍ය ආයතන මත යැපෙන, කලෙක ක්‍රිකට් ක්‍රීඩාව බැබලවූ රිචී බෙනෝ, ඉයන් චැපල්, සුනිල් ගවස්කාර් බඳු ප්‍රවීනයන් පවා ඉන් වශීකෘතව කෑ මොර දෙන අතර ඊට හුරේ දමන, විටෙක ප්‍රචන්ඩකාරීව හැසිරෙන අති විශාල ප්‍රේක්ශක ජනකායක් ද නිර්මානය කෙරී ඇත. මේ වනාහි ජරපත් ධනේශ්වර සමාජයේ සංස්කෘතික ඛාදනයෙහි පැහැදිලි පිලිබිඹුවකි.

Richie Benaud-Ian Chappell-Sunil Gavaskar

අනෙක් අතට, ක්‍රිකට් ක්‍රීඩාවෙහි මෙකී පරිහානිය හුදෙක් වානිජකරනයෙහි විපාකයක් හැටියට සැලකීම වැරදි ය. පන්ති සමාජයෙහි නිර්මිතයක් වූත් ක්‍රීඩා බලධාරීන්, විස්තර කථකයන්, මාධ්‍යවේදීන්, අනුග්‍රාහකයන් හා දේශපාලනඥයන් විසින් නිරන්තරයෙන් උද්දීපනය කෙරෙන්නා වූත් ඉතා ම විසකුරු, ජුගුප්සාජනක මනෝභාවයක් වන ජාතික විඥානය ද ඊට බෙහෙවින් වග කිව යුතු ය. වඩා සිත් ගන්නාසුලු කාරනාව නම්, කලෙක පරගැති ක්‍රීඩාවකැයි අවඥාවෙන් ක්‍රිකට් බැහැර කල උදවිය – ඇතැම් ජනතාවාදීන් හා ජාතික චින්තනවාදීන් පවා එලිපිට නොවේ නම් රහසිගතව එය වැලඳගැනීම යි.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම හිමි වීමට පෙර, මෙරට ක්‍රිකට් පිටියෙහි පැවති (ලියුම්කරු සියැසින් දුටු) එක්තරා යථාර්ථයක් ඇත: ප්‍රේක්ශක ප්‍රභූව තම පිලට මෙන් ම ආරාධිත පිලට ද සමෝසමව අත්පොලසන් දුන්හ. ප්‍රේක්ශාගාර තුල ජාතික ධජ ලෙල දුනි නම් ඒ ඉතා කලාතුරෙකිනි. හූ හඬක සේයාවකුදු නොවී ය. එහෙත්, මෙතතු වෙනස් වීමට ගත වූයේ එක් රැයකි; ජාත්‍යනුරාගයෙන් මත් කරන ලද අලුත්, ආගන්තුක, ලුම්පිත ප්‍රජාවක් පිටිය ආක්‍රමනය කිරීමත් සමඟිනි.

Sisira Jayasuriya

ප්‍රකට සමාජ විද්‍යාඥයන් දෙදෙනෙකු වන ඩේවිඩ් ඩන්හැම් හා සිසිර ජයසූරිය පෙන්වා දෙන පරිදි, “වාර්ගික ගැටුම, භීශනය, අසමානතාව, පරිපීඩනය, දරිද්‍රතාව, අයථා දේශපාලනය යනාදියෙන් හෙම්බත්ව සිටි මෙරට ජනතාව ක්‍රිකට් ක්‍රීඩාව වෙත ඇදී ගියේ රටක් වසයෙන් ශ්‍රී ලංකාව දිනුමක් ලද එක ම ක්ශේත්‍රය එය වූ බැවිනි. පුරා දශකයක් ප්‍රචන්ඩතාව අත්දුටු සහ ධර්මිශ්ඨ සමාජයක් පිලිබඳ පූර්ව සිහින වාශ්පීභවනය වනු දුටු රාජ්‍යයකට ක්‍රිකට්වලින් ලැබුනේ මහඟු අස්වැසිල්ලකි. එමගින් මහජනතාවන් හට පලා යෑමෙහි මඟක් විවෘත විය” (“He who pays the piper: Mephistopheles and the opiate of one-day cricket˜” Pravada, 1999, කලාපය 6,1). මෙරටෙහි ක්‍රිකට් ජනප්‍රිය වීමෙහිලා ඉවහල් වූ එබඳු සුවිශේශ සාධක පැවතියේ වුව, ක්‍රිකට් සමඟ කැලතුනු ජාතිකවාදය කිසිසේත් තනි රටකට සීමා වූවක් නොවේ. සියලු ක්‍රීඩාවන් විශයෙහි පොදුවේ අවුලුවනු ලබන ජාත්‍යොන්මාදය වැඩී එනුයේ එක ම මූලයකිනි: පරිහානිගත ධනේශ්වර ක්‍රමයෙනි. එහෙයින්, මෙය හුදු ලාංකේය ප්‍රපංචයක් වසයෙන් සලකා ගැනුමෙහි දී, පූර්වෝක්ත ලේඛක දෙපල පාඨකයාගෙන් වසන් කරනුයේ එම අති මූලික කරුන යි.

නිශ්පාදනයෙහි භූගෝලීයකරනයත් සමඟ ජාතික රාජ්‍යය නමැති යල්පිනූ සංකල්පයෙහි පල්ල ගැලවී ගිය ද, සංස්කෘතික ක්ශේත්‍රයෙහි තවමත් ජාතිකාභිමානය ඔජ වඩවනු ලැබේ. මහජනතාවන් තුල ව්‍යාජ දෘශ්ටිවාදයක් රෝපනය කරමින් ද, ජාතීන් භේදභින්න කරමින් ද (ඉන්දියාව හා පාකිස්ථානය අතර ක්‍රිකට් තරගයක් යනු කුඩා යුද්ධයකි) ලෝක පරිමානව ධනපති පන්ති පාලනය තවදුරටත් පවත්වාගෙන යෑම මෙහි අරමුන යි. තරගකාරී ක්‍රීඩාව ජාතිකවාදයට සරු පසකි. ක්‍රීඩා ලෝලීන් ජාතික කොඩි වනමින් ද ජාතික ගී ගයමින් ද ඔල්වරසන් නඟන අතරෙහි ව්‍යාපාරිකයෝ තම ලාභ රේට්ටු ඉහල නංවා ගනිති; පාලකයෝ මර්දනය දැඩි කරති.

ජාතික විඥානය ඒ ඒ භූමියෙහි දී විවිධ ස්වරූප ගනී. ක්‍රිකට් ක්‍රීඩාවෙහි පොල්මඃකාර එංගලන්තයෙහි දී එය ඉංග්‍රීසි (ඇන්ග්ලෝ සැක්සන්) සංස්කෘතික ජාතිකවාදය වෙයි. ඉන්දියාවෙහි දී එය හින්දු ස්වෝත්තමවාදය සමඟ ද, පාකිස්ථානයෙහි දී එය එක්තරා දුරකට ඉස්ලාම් මූලධර්මවාදය සමඟ ද බැඳී පවතී. දකුනු අප්‍රිකාවෙහි දී (මෑතක් වන තෙක්) එය නිල වර්නභේදවාදය විය. ඇබොරිජීනු ස්වදේශිකයන් හට ක්‍රිකට් වරම අහිමි කැන්ගරු දේශයෙහි දී එය සුදු ඕස්ටේ්‍රලියාවක් පිලිබඳ ස්වප්නයකි- ජාතික කන්ඩායම්වලට ඉඳහිට වෙනස් ජනවර්ගයන්ට අයත් ක්‍රීඩකයන් ඇතුලත් වීම නොතකා එය එසේ වෙයි.

ජාතිකවාදයෙහි ලාංකේය ප්‍රවර්ගය සිංහල වර්ගවාදය සමඟ සම්මිශ්‍රිත ය- මෙරට ක්‍රිකට් විශයයෙහි පැතිරුනු වර්ගවාදය 1970 දශකය තරම් ඈතට දිව යන බව පෙන්වා දෙනු ලැබ ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි වීමටත් පෙර, එංගලන්තයේ ඕවල් පිටියෙහි බෙදාහරින ලද පත්‍රිකවකින් අයැද සිටියේ වර්ගවාදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වර්ජනය කරන ලෙස යි (මයිකල් රොබර්ට්ස් හා ඇල්ෆ්‍රඩ් ජේම්ස්, Crosscurrents: Sri Lanka and Australia at Cricket, 1998).16 මේ චෝදනාවෙන් නිදහස් වනු පිනිස දෙමල ජාතික ක්‍රීඩකයෙකු හට ද ඉඳහිට ජාතික කන්ඩායම තුල ඉඩක් ලබා දීමට වර්ගවාදී ධනපති කොලඹ ආන්ඩු වග බලා ගත් අතර මුත්තයියා මුරලිදරන් අඛන්ඩව කුසලතා පෙන්වීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් විය.

ජාතිකවාදය, ජාත්‍යන්තර කම්කරු පන්තියෙහි එකමුතුවට බාධාකාරී වන බව ධනේශ්වර ආන්ඩු මැනවින් දනී. ලෝක පරිමානව, ප්‍රාග්ධනයෙහි වහලුන් වන වැටුප් ශ්‍රමිකයන් හට රටක් ජාතියක් නැති වග කම්කරු ව්‍යාපාරයෙහි නායකයෝ එදා සිට ම පෙන්වා දුන්හ. “ජාතිකාභිමානය නමැති දරුනු ශාපයෙන් ඔබ විමුක්තව සිටින වග මා නිරීක්ශනය කලේ බලවත් සන්තුශ්ටියකිනි” යි වරක් එංගල්ස් මාක්ස්ට ලියා යැවී ය.

Karl Marx-Friedrich Engels

අනෙක් අතට, ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත එල්ල වන දූශන චෝදනාවලින් (match-fixing) පැහැදිලි වනුයේ මොවුන්ගේ ජාත්‍යනුරාගය අල්ලසට යට වන බව යි. සමහරුන් වැඩි මූල්‍ය වාසි ගෙනෙන “ලීග් ක්‍රිකට්’ වෙනුවෙන් “ජාතික මෙහෙවර” පාවා දෙන බවට ද මැසිවිලි නැඟේ. මේවායෙහි සැබෑ වරදකරු ඒ හෝ මේ ක්‍රීඩකයා නොව ඔවුන් එතැනට ඇද දමන්නා වූ සමාජ ක්‍රමය යි.

ධනේශ්වර යුගයෙහි දී තියුනු මුහුනුවරක් ගත් පුද්ගලවාදය අනෙක් ඕනෑ ම ක්ශේත්‍රයක මෙන් ම ක්‍රීඩා ලෝකය පුරා ද ඔඩු දුවන පිලිලයක්ව තිබේ. ක්‍රිකට් යනු කාන්ඩ ක්‍රීඩාවක් වුව පන්දු යැවීම, පන්දු රැකීම හා පන්දුවට පහර දීම යන අංශත්‍රයෙහි දී ම පුද්ගලවාදය ක්‍රියාත්මක වනු පෙනේ. ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කුසලතා හෙවත් “ක්‍රිකට් වාර්තා” හුවා දැක්වීම මෙහි පැරනිතම රූපය වන අතර කේවල නිපුනතා මත ක්‍රීඩකයන් ශ්‍රේනිගත කිරීම (ranking / rating) මෙහි නවතම, වඩාත් අශෝභන අංගය වෙයි. මෙලෙස, ධනපති ජනමාධ්‍ය හා වෙලෙඳ සමාගම් විසින් නන් අයුරින් පුම්බනු ලබන “ක්‍රිකට් තරු” අද්‍යතන සමාජය මත පතුරුවනුයේ සුලුපටු ආනුභාවයක් නොවේ. ක්‍රීඩා ලෝලීහු, විශේශයෙන් ම, බාල හා තරුන පරපුරු මේ සේරිවානිජ චරිත පරමාදර්ශ ලෙස සැලකීමට පුරුදුව සිටිත්.

ඕනෑ ම ක්‍රීඩාවක දී, ක්‍රීඩකයන්ගෙන් අපේක්ශා කෙරෙන එක් වැදගත් ගුනාංගයක් ඇත. ඒ, ක්‍රීඩකත්වය (sportsmanship) යි. 1932-33 වකවානුවෙහි එංගලන්ත පිලෙහි නායකයා විසින් යොදා ගැනුනු “ඇඟට පන්දු යැවීම” (“bodyline attack”) නමැති කුප්‍රකට උපාය (මෙය පිතිකරුවන්ට අනතුරුදායක විය) බඳු ඇතැම් විරල සිද්ධියක් හැරුනු විට, කලකට පෙර, පොදුවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙතින් මෙය නොඅඩුව විද්‍යමාන විය. දැවී ගිය පිතිකරුවෙකු විනිසුරුගේ තීරනයට පෙර ම ක්‍රීඩාගාරය වෙත පිය නැඟීම එවක ඉතා සුලභ දසුනකි. එසේ ම, දැවී ගිය බවට තීන්දු කෙරුනු පිතිකරුවන් යලි පිටියට කැඳවීම ද නිතර සිදු විය. එහෙත්, කල් යත් ම, දැවී ගිය බොහෝ පිතිකරුවන් පෙරලා ක්‍රීඩාගාරය කරා පැමිනියේ විනිසුරුට රවමිනි. අනෙක් අතට, ජාතිකවාදී විශබීජයෙන් ආසාදිත ඇතැම් විනිසුරන් පක්ශග්‍රාහී තීරන ලබා දුන් අවස්ථා ද ඇත. මේ අයුරින්, කලෙක “මහත්වරුන්ගේ ක්‍රීඩාව” (gentlemen’s game) ලෙස බුහුමන් ලද ක්‍රිකට් “මහත් හොරුන්ගේ ක්‍රීඩාවක්” බවට පෙරැලීම නිසා මධ්‍යස්ථ විනිසුරන් මතු නොව කැමරා පුනර්රූපන මත යැපෙන තෙවැනි විනිසුරෙකු යෙදවීමට ද, ආරාවුල් බේරන තරග තීරකවරුන් පත් කිරීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට සිදු විය. සාමාන්‍යයෙන්, තරග තීරකයන් ලෙස බඳවා ගැනෙනුයේ ක්‍රීඩකත්වය මැනවින් ප්‍රදර්ශනය කල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ය. ඒ සඳහා සුදුස්සන් තේරීම අද කලුනික සෙවීමක් වී ඇත.

සියලු මානුශික සබඳතා හුදෙක් ද්‍රව්‍යමය ගනුදෙනු බවට ඌනනය කෙරුනු සමාජයක ක්‍රීඩාවෙහි ආචාර ධර්ම පමනක් නොනැසී ඉතිරි විය හැකි ද? 1999 ලෝක කුසලාන තරගාවලියෙහි දී, ලකුනු අසූවක් ලබා සිටි පාකිස්ථානු පිතිකරු පාදයෙහි ආබාධයකින් බිම වැතිර ගත් කල්හි ඕස්ටේ්‍රලියානු පන්දු රකින්නන් ඔහු දුවද්දී දවා ගැනුමට හසු කර ගත් අශෝභන ලීලාව මත් ක්‍රීඩාවෙහි වත්මන් ස්වභාවය මොනවට කියාපායි. මෑත ඉතිහාසයෙහි, අභ්‍යන්තර මතභේද හා පුද්ගල ගැටුම් උද්ගත නොවූ එක ද ජාතික ක්‍රිකට් පිලක් වත් නොමැත- ක්‍රීඩාව ජීවනෝපායයක් වීමෙහි ප්‍රතිඵල එබඳු ය. වර්තමානයෙහි, නිල ක්‍රිඩාව මත් සූදු කෙලියකි. ඇතැමෙකුට එය ලොතරැයි දිනුමකි. තරගාවලියෙහි වීරයාට පිදෙන සුඛෝපභෝගී රථයෙන් එය සංකේතවත් වෙයි. මෙකල ටෙස්ට් ක්‍රිකට් වුව තනිකර වෙලෙඳ ව්‍යාපාරයකි. එහි පැවති අතරමැද විවේක දිනය පවා ක්‍රීඩකයන්ගෙන් උදුරාගනු ලැබ ඇත. ආයෝජකයන්ගේ නවතම ජාවාරම හෙවත් ඉන්දියන් ප්‍රෙමියර් ලීග් කුසලාන තරගාවලිය (IPL Trophy) දහඅටවැනි සියවසෙහි වහල් වෙලෙඳාම සිහියට නංවයි. වෙනසකට ඇත්තේ එදා ‘වහලුන්ට’ කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් හිමි නොවීම යි. මෙකී තරගාවලිය සඳහා කි්‍රීඩකයන් හට ලන්සු තැබෙනුයේ ඩොලර් මිලියන ගනනිනි. 2008 දී ඇරැඹනු ප්‍රථම වෙන්දේසියෙහි දී ම කි්‍රීඩකයන් 75ක් ඩොලර් 36,780,000 මුදලකට අලෙවි වූ අතර එක් කි්‍රීඩකයෙකුගේ සාමාන්‍ය වටිනාකම ඩොලර් පන් ලක්ශයක් පමන විය!

ක්‍රිකට් ක්‍රීඩාවෙහි මේ දැවැන්ත පරිහානිය ධනේශ්වර සංස්කෘතියෙහි ශීඝ්‍ර කුනු වීමට අනුරූප වෙයි. එදා පැවති සම්භාවනීය ක්‍රීඩාවත් මෙදා ‘කව්බෝයි ’ ක්‍රීඩාවත් අතර පවතිනුයේ ප්‍රගාඪ පරතරයකි. ධනවාදය තම අවධිය තුල පරිපාකයට පත් වාද්‍ය සංගීතය තමන් යටතේ ම පරිහානියට ගොදුරු කලේ යම් සේ ද, එසේ ම, එය තමන් විසින් පෝශනය කෙරුනු ක්‍රිකට් ක්‍රීඩාව තමන් අතින් ම දූශනය කරනු ලැබ තිබේ.

ලිපිය ආරම්භයෙහි දී මා සඳහන් කල ඒ අපූරු කෘතියෙහි කතුවරයා තවමත් ජීවතුන් අතර සිටී නම්, තමාගේ මීලඟ පොතට මෙලෙස නම් තබනු සිකුරු ය: Cricket Ugly Cricket!

[සත්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමිත්තෙන් කම්කරු මාවත පුවත්පතට (1999 ජූනි 25 / ජූලි 09 කලාප) මවිසින් ලියන ලද “ක්‍රිකට් ක්‍රීඩාවේ අවගමනය: වානිජකරනය, ජාත්‍යනුරාගය හා පුද්ගලවාදය” නමැති ලිපියෙහි ඇතැම් කරුනු මෙහිලා උපුටා ගැනිනි]

More From Author

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත “දෛවයේ උරුමය” කෘතිය ජනගත කිරීම ඔක්තෝම්බර් මස 3….

ස්වෛරී පලස්තීනයකට සහයෝගය දැක්වීමේ දී ඕස්ට්‍රේලියාව සංකේත භාවිතයෙන් ඔබ්බට යා යුතුය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348