අනුර බී. සෙනෙවිරත්න:
චිලී සමාජවාදී පක්ෂයේ නායක සැල්වදෝර් අයියන්දේ ජනාධිපතිවරයාගේ අභාවයට පසුගිය සැප්තැම්බර් 11 වන දිනට වසර 52ක් සපිරිණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
සැල්වදෝර් අයියන්දේ චිලියේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙන්නේ 1970 සැප්තැම්බර් 4 වැනි දින ය. ඒ, අසාර්ථක මැතිවරණ තුනක පරාජයකින් පසුව ය. එරට සමාජවාදී පක්ෂයේ නායකයා වූ ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වී ය..
චිලී රාජ්‍යයේ පිහිටි තඹ පතල් ජනසතු කිරීම සහ ඔහුගේ පූර්වගාමියා වූ චිලියේ හිටපු ජනාධිපති එඩ්වාඩෝ ෆේ‍්‍රගේ ඉඩම්ප‍් රතිසංස්කරණ වැඩසටහන දිගට ම පවත්වාගෙන යාම ඇතුළු ජනතා හිතවාදී ප‍්‍රතිසංස්කරණ මාලාවක් ඔහු සිය ධූරකාලය තුළ ක‍්‍රියාත්මක කළේ ය. එම ක‍්‍රියාකාරකම් නොඉවසූ එරට දක්ෂිණාංශය සහ නික්සන් පරිපාලනය වහා ම අයියන්දේගේ ආණ්ඩුව පෙරළා දැමීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ ය.

ඒ අනුව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් විසින් චිලී ආර්ථිකය විනාශ කිරීම සඳහා අදිසි අවහිරතා දියත් කිරීම ආරම්භ කරන ලද්දේ ය.3# සමාජවාදී ක‍්‍රියාමාර්ගවලට එරෙහි අයියන්දේගේ ආණ්ඩුවේ ම අභ්‍යන්තර විරුද්ධවාදීන් එරට මිලිටරි නායකත්වය සමඟ ඒකාබද්ධ වූයේ, ඒ අනුව ය. එහි ප‍්‍රතිඵලය වූයේ, 1973 සැප්තැම්බර් 11 වන දින ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේ, අයියන්දේට එරෙහිව කුමන්ත‍්‍රණයක් දියත් කිරීම ය.

පිනෝචේගේ නියෝග මත අයියන්දේ රැඳී සිටි ජනාධිපති මන්දිරයට චිලී ගුවන් හමුදාවෙන් බෝම්බ හෙලන ලද අතර, හමුදා අත්අඩංගුවට පත්වීමේ අවමානයෙන් මිදෙන්නට ඔහු සිය දිවි හානිකර ගත්තේ ය. පිනෝචේගේ එම නින්දිත හමුදා කුමන්ත‍්‍රණයෙන් පසුව, චිලී ජාතිකයන් දහස් ගණනක් සන්නද්ධ හමුදාවන් විසින් අත්අඩංගුවට ගෙන මරා දමනු ලැබී ය.

සියදිවි නසා ගැනීමට පෙර චිලී දේශයත්, තම ආදරණීය චිලී ජනතාවත් අමතා සැල්වදෝර් අයියන්දේ විසින් සිදුකරන ලද අවසන් කතාව ලෝක විප්ලව ඉතිහාසයේ ඓතිහාසික ප‍්‍රකාශයක් බවට පත්ව තිබේ. මේ එම ඓතිහාසික ප‍්‍රකාශය යි.
මාගේ මිතුරනි,
නිසැකව ම මෙය මට ඔබ ඇමතීමට ලැබෙන අවසාන අවස්ථාව වනු ඇත. ගුවන් හමුදාව විසින් ‘මැගලන්සේ’ ගුවන්විදුලි මධ්‍යස්ථානයේ ඇන්ටනාවලට බෝම්බ දමා ඇත.
මගේ වචනවල ඇත්තේ කලකිරීමක් මිස දොම්නසක් නොවේ. ජනතාව ඉදිරිපිට දුන් උත්තරීතර දිවුරුම පාවාදුන් චිලියේ සොල්දාදුවන්, නාමික අණ දෙන නිලධාරීන්, නාවික හමුදාපති ලෙස තමන්ව ම පත් කරගත් අද්මිරාල් මෙරිනෝ සහ ඊයේ පමණක් රජයට තම විශ්වාසවන්තභාවය සහ පක්ෂපාතීත්වය ගැන ප‍්‍රතිඥාදෙමින් ‘පැරාමිලිටරි’ පොලිසියේ ප‍්‍රධානියා ලෙස තමන්ව ම පත් කරගත් නින්දිත ජෙනරාල් මෙන්ඩෝසා වැන්නවුන්ට සදාචාරාත්මක දඬුවමක් ලැබේවා !
ඒ අනුව, මට මෙරට වැඩකරන ජනතාවට කීමට ඉතිරිව ඇත්තේ එක දෙයකි. ඒ, මම ඉල්ලා අස් නොවෙමි කියා ය. ඓතිහාසික බලහුවමාරුවක ස්ථානගත වී සිටින මම, මගේ ජීවිතයෙන් ජනතාවට පක්ෂපාතිත්වය ගෙවන්නෙමි. එමෙන් ම, දහස් ගණන් චිලී වැසියන්ගේ යහපත් හෘදසාක්ෂිය තුළ අප රෝපණය කළ බීජ කිසි දිනෙක මැලවී නොයන බව විශ්වාස යැයි ද මම ඔවුනට කියමි.
ප‍්‍රතිගාමිත්වයට බලය ඇති හෙයින්, ඔවුනට අප අභිබවා යාහැකි වුව ද, සමාජ ක‍්‍රියාවලීන් අපරාධයකින් හෝ බලහත්කාරයෙන් නතර කළ නොහැකි ය. ඉතිහාසය අපේ ය. මිනිසුන් විසින් ඉතිහාසය නිර්මාණය කරනු ලබයි.
මගේ රටේ වැඩකරන ජනතාවනි,
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරන බවට පොරොන්දු වූ සහ යුක්තිය සඳහා වූ මහත් අභිරුචියෙන් පමණක් කටයුතු කළ මිනිසෙකු කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට, ඔබ සැමවිට ම දැක්වූ පක්ෂපාතීත්වයට මම ඔබට ස්තූති කිරීමට කැමැත්තෙමි. එමෙන් ම එය සිදුකරමි.
මේ නිශ්චිත මොහොතේ, මට ඔබ ඇමතීමට හැකි අවසාන මොහොතේ, මෙම පාඩමෙන් ප‍්‍රයෝජන ගන්නට මම කැමැත්තෙමි. ජෙනරාල් ෂ්නයිඩර් විසින් ඉගැන්වූ සහ කමාන්ඩර් අරායා විසින් නැවත තහවුරු කරන ලද සන්නද්ධ හමුදාවල සම්ප‍්‍රදාය බිඳ දමන වාතාවරණයක් විදේශ ප‍්‍රාග්ධනය සහ අධිරාජ්‍යවාදය, ප‍්‍රතිගාමිත්වය හා එක්ව නිර්මාණය කර තිබේ. විදේශ ආධාර මත බලාපොරොත්තු තබා තම තමන්ගේ ලාභ සහ වරප‍්‍රසාද දිගට ම ආරක්ෂා කර ගැනීම සඳහා බලය නැවත අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන අය එම සමාජ කොටස්වල ම ගොදුරු ය.
මම ඔබ අමතමි. සියල්ලටත් වඩා, අපේ රටේ නිහතමානී කාන්තාව, දරුවන් කෙරෙහි අපගේ සැලකිල්ල දන්නා මව වන අපව විශ්වාස කළ ‘කැම්පේසිනා’ ව්‍යාපාරයට මම ආමන්ත‍්‍රණය කරමි. මම චිලියේ වෘත්තිකයන් අමතමි. පන්තිවාදී සංගම් ධනේශ්වර සමාජයේ වාසි ආරක්ෂා කරද්දී වෘත්තීය සංගම්වල සහාය ලබමින් දේශද්‍රෝහීත්වයට එරෙහිව දිගට ම වැඩකළ දේශපේ‍්‍රමී වෘත්තිකයන් අමතමි. ගීත ගායනා කරමින් ඔවුන්ගේ ප‍්‍රීතිය සහ ඔවුන්ගේ අරගලයේ ආත්මය අපට ලබා දුන් තරුණයින්ට මම ආමන්ත‍්‍රණය කරමි. කම්කරුවන්ට, ගොවියන්ට, බුද්ධිමතුන්ට, පීඩාවට පත් අය ඇතුළු චිලී ජනතාවට මම ආමන්ත‍්‍රණය කරමි, මන්ද ? ක‍්‍රියා කිරීමට කැපවීමෙන් බැඳී සිටින අයගේ නිහඬතාව හමුවේ සිදුවන ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවල දී, පාලම් පුපුරවා හරිමින්, රේල් පාරවල් කපා දමමින්. තෙල් හා ගෑස් නල මාර්ග විනාශ කරමින් මේ වනවිට ෆැසිස්ට්වාදය අප රටේ පැය ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක වෙමින් තිබේ. ඉතිහාසය ඔවුන් විනිශ්චය කරනු ඇත.
නිසැකව ම ‘මැගලන්සේ’ ගුවන්විදුලි මධ්‍යස්ථානය නිශ්ශබ්ද වනු ඇත. මගේ සන්සුන් කටහෙඬ් ලෝහමය හඬ තවදුරටත් ඔබ වෙත ළඟා නොවනු ඇත. එය එතරමි දෙයක් නොවේ. ඔබට එය දිගට ම ඇසෙනු ඇත. මම සැමවිට ම ඔබ අසල සිටිමි. අවම වශයෙන් මා ගැන ඔබේ මතකය තම රටට පක්ෂපාතී වූ ගෞරවනීය මිනිසෙකුගේ මතකය බවට පත්වනු ඇත.
ජනතාව තමන් විසින් ම ආරක්ෂා වියයුතු අතර, ඔවුන් ජීවිත පූජා කළයුතු නැත. ජනතාව තමන් විනාශ වීමට හෝ වෙඩි උණ්ඩවලින් ඔවුන්ගේ සිරුරු පෙරහන් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතු අතර, එවිට ඔවුන් අවමානයට ලක් කළ නොහැකි ය.
මගේ රටේ වැඩකරන ජනතාවනි,
මම චිලී දේශය සහ එහි ඉරණම ගැන විශ්වාසය තබමි. රාජද්‍රෝහීන් රාජද්‍රෝහීත්වය ජය ගැනීමට උත්සාහ කරද්දී, අනෙක් මිනිසුන් මෙම අඳුරු හා කටුක මොහොත ජය ගනු ඇත. වැඩි කල් නොගොස් මහා මංපෙත් යළිත් විවර වන බවත්, නිදහස් මිනිසුන් යහපත් සමාජයක් ගොඩනැගීමට ඒ හරහා ගමන් කරන බවත් දැනගෙන ඉදිරියට ම යන ලෙස මම ඔබට කියමි.
චිලී දේශයට දීර්ඝායුෂ ලැබේවා ! ජනතාවට දීර්ඝායුෂ ලැබේවා ! කම්කරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !
මේ මගේ අවසන් වචන වන අතර, මගේ කැපකිරීම නිෂ්ඵල නොවන බව මට විශ්වාස ය. අවම වශයෙන්, එය අපරාධයට, බියගුලූකමට සහ දේශද්‍රෝහීත්වයට දඬුවම් දෙන සදාචාරාත්මක පාඩමක් වනු ඇතැයි මට විශ්වාස ය.
පරිවර්තනය: අනුර බී. සෙනෙවිරත්න

අනුර බී. සෙනෙවිරත්න-Anura B.Senevirathne





