ශ්‍රී ලංකාව අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පවතින ලෝක ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටකි

සමිපත් පුෂ්පකුමාර:

පසුගිය දශක හතර තුල පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් සහ මරාදැමීම් ශ්‍රී ලාංකික ජනජීවිත සංස්කෘතියේ කොටසක් බවට පත්වී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පවතින ලැයිස්තුවේ ඉහලින්ම පවතින අතර එය දෙවනු වනුයේ ඉරාකයට පමනි. වරින් වර මෙම මාතෘකාව ශ්‍රී ලාංකික මාධ්‍යය තුල මතුවෙමින් ජනතාවගේ හදවත් කලඹමින් සදාකාලික මාතෘකාවක් ලෙසට පවතී.

මේ දිනවල අතුරුදහන් වීම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ සිද්ධීන් දෙකක් නිසාය. එකක් වන්නේ උතුරු පලාතේ චෙම්මනි සමූහ මීනී වලින් මතුවෙම්න් පවතින මිනිස් ඇටසැකිලි පිලිබඳ මාධ්‍යය මගින් ප්‍රචාරය කරමින් පවතින තොරතුරු නිසාය.

දෙවන කාරනය වන්නේ ත්‍රීකුනාමලය නාවික හමුදා කඳවුරේ රඳවාගෙන සිට අතුරුදහන් කරන ලද ද්‍රවිඩ ජාතික තරුණයන් පිලිබඳ අධිකරණ කටයුත්ත සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධ සිදුවීම නිසාය. මේ සමගම විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාතිකවාදීන් විසින් රණවිරු දඩයමක් පිලිබඳ සංවාදයක් පටන් ගෙන ඇත.

මේ පිලිබඳ මෑත අතීතය පිලිබඳ සලකා බලන විට මින් වසර කිහිපයකට පෙර මන්නාරමේ සතොස ගොඩනැගිල්ල ඉදිකිරීමට අත්තිවාරම කපන විට හමුවූ මිනිස් අස්ථි කොටස් පිලිබඳ කාරනය දැක්විය හැකිය. එම ස්ථානයේ සිදුකරන ලද අධිකරණමය වෝහාරික කැනීම් වලින් පසු මිනිසුන් 86 කට ආසන්න ප්‍රමානයක මිනිස් අස්ථීන් සොයාගන්නා ලද අතර පසුව ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කාලනිර්නය පිලිබඳ පරීක්ෂනයකින් පසු ප්‍රකාශ කරනු ලැබුවේ සියවස් 05 කට පෙර වලදමන ලද මිනිස් ශරීරයන් බවයි.

එමෙන්ම වර්ශ 2015 දී පමන මාතලේ රෝහල් පරිශ්‍රයේදී ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සිදුකරන ලද කැනීමකදී මතුවු මිනිස් අස්ථීන් පිලිබඳව සිදුකරන ලද කැනීමකදී මිනිස් අස්ථීන් 150 ක් පමන මතුකරගත් අතර වෝහාරික පරීක්ෂනයකින් පසු රජය නිවේදනය කරනු ලැබුවේ 1920 දශකයේ වසංගත රෝගයකින් මියගිය පුද්ගලයන් සමුහයකට අයත් අවශේෂයන් බවයි.
අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දිගුකාලීන ප්‍රසිද්ධියක් ඇත.

මූලික වශයෙන් මෙම මාතෘකාව සමාජය තුල අවධානය යොමු වූයේ 1988 , 89 කාල වකවානුවේ දිවයිනේ දකුණේ සිදුවූ ජනතා විමුක්තිපෙරමුන ප්‍රමුඛ සන්නද්ධ අරගලය යටපත් කිරීම සඳහා සිදුකරනු ලද මහා පරිමාන පැහැරගෙන යාම් අතුරුදහන් කිරීම් සහ මරාදැමීම් සම්බන්ධයෙනි. උතුරේ ඇතිවු සන්නද්ධ අරගලය තුල පැහැරගැනීම් සහ අතුරුදහන් වීම් සිදුවුවද දකුනේ දේශපාලනය තුල ඒ පිලිබඳව එතරම් අවධානයක් එකල යොමුනොවිනි.
1990 පමන වන විට එවකට විපක්ෂයේ සිටි දේශපාලන කණ්ඩායම් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සමසමාජ පක්ෂය , නව සමසමාජ පක්ෂය ලංකා කොමියුනිස්ට් පක්ෂය වැනි දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන විසින් මුලිකත්වය ගෙන ආරම්භ කරනු ලැබූ උද්ඝෙ⁣ා්ෂන මෙන්ම දේශපාලන ව්‍යාපාර මගින් අතුරුදහන් කිරීම් පැහැරගෙන යාම් පිලිබඳ මාතෘකාව සමාජය තුල අවධානයක් යොමුකරන ලදී.

1990 දශකයේ මුල් භාගයේ ආරම්භ කරන ලද අතුරුදහන් වූවන්ගේ දුදරු මාපිය සංගමය අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව වැනි සංවිධාන මෙම ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින ලද සිවිල් සංවිධාන වන අතර 1994 වසරේ බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුන රජයේ අමාත්‍යය වරයෙක් වූ මංගල සමරවීර, මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර වැනි දේශපාලකයන් අතුරුදහන් කිරීම් පැහැරගෙන යාම් මෙන්ම මරාදැමීම් සම්බන්ධයෙන් දේශපාලන දිවියේ ආරම්භයේදී එයට විරුද්ධව පෙනීසිට සිය දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගන්නා ලද පුද්ගලයන් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට අතුරුදහන් කිරීම් පිලිබඳ කරුනු ඉදිරිපත් කිරීමට එවකට විපක්ෂය නියෝජනය කරනු ලැබූ තරුණ මන්ත්‍රීවරැන් වූ නීතීඥ මහිනද රාජපක්ෂ හා වාසුදේව නානායක්කාර ස්විස්ටර් ලන්තයේ ජිනීවා බලා ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපලට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ ලියකියවිලි අත්අඩංගුවට ගැනීම එම කාලයේ ප්‍රසිද්ධ කරුනක් විය.

1994 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව බලයට පත්වනවිට සිය දේශපාලන ව්‍යාපාරය පුරාවට ප්‍රමුඛ කරුන ලෙස දක්වා සිටිනු ලැබුවේ අතුරුදහන් කිරීම් පැහැරගෙන යාම් සහ මරාදැමීම් පිලිබඳව යුක්තිය සාධාරනය ඉටුකිරීම පිලිබඳවය.
නමුත් අදවනවිටත් මේ පිලිබඳ කාරනය කාලයේ වැලිතලාවෙන් වැසීගිය මතක සටහන් ලෙස පවතින අතර කලින් කලට කැනීම් කර ප්‍රසිද්ධියක් ලබා දී නැවත අමතක කරන මාතෘකාවක් බවට පත් කර ඇත.

1993 දේශපාලන ව්‍යාපාරයේදී පොදුජන එක්සත් පෙරමුන විසින් එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහිව ජනගතකරනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ප්‍රදේශයේ සූරිය කන්දේ පිහිටි සමූහ මිනීවලක් සම්බන්ධ සිදුවීම් දාමයයි. 1988, 89 කාලය තුල ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදුවුනු ලද පාසල් සිසුන් 32 කගේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් කරලියට ගෙන ආ මාතෘකාව කෙතරම් සාර්ථක වූවාද යන්න පෙන්නුම් කරන්නේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පලවා හරින ලද්දේ වැඩිජන්ද 20 ලක්ෂයකිනි.

1994 දි බලයට පත් පොදුජන එක්සත් පෙරමුන ආණ්ඩුව අතුරුදහන් වුවන් පිලිබඳ පරීක්ෂන කොමිෂන් සභා කිහිපයක් පත් කරන ලද අතර නීතිපති දෙපාර්තුමේන්තුවේ පවා අදා නෛතික කටයුතු වලට ඒකකයක් නිර්මානය කරන ලදී. මේ පිලිබඳ විමර්ශනය කිරීමට පොලිස් දෙපාර්තුමෙන්තුවේ ඒකකයක් පවා නිර්මානය කරන ලදී. මෙම කොමිෂන් සභාවන් විසින් සිය කරුනු එකතුකිරීමේ මෙහෙයුම් තුල ආසන්න වශයෙන් දිවයිනේ 1988, 89 කාලය තුල සිදුවුනු අතුරුදහන් වීම් සහ අධිකරණමය ක්‍රියාමාර්ග වලින් පරිබාහිර මරා දැමීම් ආසන්න වශයෙන් 30,000 ක් පමන අනාවරනය කර ඇත.

2009 උතුරේ යුද්ධය අවසානයේ කරලියට පැමිනි ප්‍රධාන පෙලේ අතුරුදහන් වීමක් වන්නේ උතුරු ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන ලද ලලිත් හා කූගන් යන පුද්ගලයන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් වීමයි. මේ සම්බන්ධයෙන් අධිකරන විමර්ෂනයන් ඉතාමත් මන්දගාමීව තවමත් ඇදෙමින් පවතින අතර ඊලාම් යුද්ධය සමයේ සිදුවූ අතුරුදහන් වීම් පිලිබඳව අධිකරන කටයුතු කිහිපයක් තවමත් විමර්ෂනයට භාජනය වෙමින් ඇත.

කෙසේ වෙතත් අතුරු දහන් කිරීම ශ්‍රී ලංකාවේ නීති පොතට අපරාධ වරදක් ලෙස එක් වන්නේ 2014 වසරේදීය. 2014 පසු බලයට පැමිනි ආණ්ඩුව විසින් 2018 අංක 05 දරන බලහත් කාරයෙන් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත අනුකූලව ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුව මගින් පනතක් බවට සම්මත කිරීම මගින් අතුරුදහන් කිරීම් වලට එරෙහිව දේශීය නීතියක් සම්මත කර ඇත. දැන් අතුරුදහන් කිරීම අපරාධ වරදකි. මෙම පනත මගින් අතුරුදහන් කිරීමේ වරද සඳහා වසර විස්සක සිරදඬුවම් සහ රුපියල් මිලියනයක දඩමුදල් හා රුපියල් ලක්ෂ පහක වන්දි ප්‍රදානය සඳහා අදාල නීතිමය පසුබිම සකස් කර ඇත.

නමුත් අතීතය තුල සිදුවූ අතුරු දහන් කිරීම් කාලයේ වැලිතලාවට යටවී දේශපාලන උවමනාකම් මත නැවත මතුවෙමින් යටයමින් පවතී. ශ්‍රී ලාංකික සමාජය කෙරෙහි මෙය කෙතරම් දැඩිව බලපෑම් සහගතද යන්න 2014 වසරේ අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලයක් පනතක් මගින් ස්ථාපිත කිරීමෙන් පෙන්නුම් කරනු ලබයි. ආසියානු දේශපාලනය තුල බොහෝ දේ සිදුවන්නේ සත්‍යය සොයාගැනීම පසක තබා ලෝකය රැවටීමට බව පසක් කරමින් අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලයේ මන්දගාමී පිලිවෙත පිලිබඳව මැසිවිලි නැගෙමින් පවතී.

සමිපත් පුෂ්පකුමාරSampath Pushpakumara

More From Author

දෙවන ලෝක යුද සමයේ අවසන් දිනවල ජර්මන් දේශපාලන සිර කඳවුරක සිදු වන කතා පුවතක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද “වෘකයන් අතර නග්නව​”

1940 මැයි 24 ලියොන් ට්‍රොට්ස්කි ඝාතන ප්‍රයත්නයේ සිට 85 වසරක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348