පාවුලෝ කොයියෝ විසින් රචිත “බ්‍රීඩා”

ලෝකයේ වැඩි ම අලවියක් ඇති පොත් රචකයන් අතරින් දෙවන්නා ලෙස 1999 වසරේ දී ප්‍රංශයේ Live සඟරාව විසින් නම් කරන ලද පාවුලෝ කොයියෝ විසින් රචිත කෘතියක් තමයි මේ බ්‍රීඩා.

කොයියෝ කියල කියන්නෙ කොහොමටත් මිනිස් සිතිවිලි වෙනස් ම මානයකට අරන් යන විදියේ රචකයෙක්. මේකත් ඒ වගේ ම අපිට කවදාවත් නොගිය අමුතු ම චාරිකාවක් යන්න පුලුවන් විදියේ පොතක්.

පාවුලෝ කොයියෝ -Paulo Coelho

බ්‍රීඩා කියල කියන්නෙ අවුරුදු 21ක් වුණ පුංචි අයර්ලන්ත තරුණියක්. තරුණ වයස කියල කියන්නෙ ම අලුත් දේවල්, අමුතු දේවල් අත් හදා බලන්න ලොකු ආසවක් තියන කාලයක් නේ. ඉතින් මේ බ්‍රීඩාටත් එහෙම කැමැත්තක් තියනවා. ඒත් ඒක හරි වෙනස් විදියේ කැමැත්තක්. මෙයාට ඕනි වෙන්නෙ මැජික් ගැන ඉගන ගන්න. මේ මැජික් කියන්නෙ හැබැයි අපි සාමාන්‍යයෙන් කතා කරන ඇස් බැන්දුම් නම් නෙවේ. මේ කතා කරන්නේ අධ්‍යාත්මික බලය සහ ගුප්ත විද්‍යාව ගැන.

ඉතින් තමන්ගෙ ආසාව මුදුන් පමුණුවා ගන්න මේ පුංචි හිතවතිය මුලින් ම යන්නෙ මන්ත්‍රාචාරියා මුණ හැහෙන්න. තමන් ඉදිරියට පැමිණි මේ රුවැත්තිය සතුව ‘ ත්‍යාගයක් ‘ පවතින බවත්, මේ පැමිණ සිටින සිටින්නෙ තමාගේ ආත්ම සහකාරිය බවත් දුටු මන්ත්‍රාචාරියා ඇයව ශිෂ්‍ය තනතුරේ පිහිටුවන්න කැමති වෙනවා. හැබැයි ඉතිං ලාබාල තරුණියක් වුණ බ්‍රීඩාට නම් පලවෙනි පාඩමෙන් පස්සෙ හිතෙන්නෙ ම මේ මම හොයපු දේ නෙවෙ කියලා. ඉතිං එයා එතනින් ඇවිත් වෙනත් ගුරුවරයෙක් හොයා ගන්නවා.

ඇයට දෙවනියට හමුවෙන ගුරුවරිය තමයි විකා. ඇය නොපෙනෙන මානයන් පිලිබඳව දැඩි භක්‍තියකින් ඉන්න මායාකාරියක්. ඇය ඇගේ මානයන් පිලිබඳව බ්‍රීඩාට ඉගැන්වීමට කැමැත්ත ප්‍රකාශ කලත් ඇගේ ලොකු ම අවශ්‍යතාවය වෙන්නෙ මන්ත්‍රාචාරියා බ්‍රීඩාට ඉගැන්වීමට තෝරා ගත් විශේෂ හේතුව හොයා ගන්න එක.

එතනින් එහාට මේ කතාව ගලාගෙන යන්නෙ මේ තුන් දෙනා ජීවිතය, ආදරය, ලිංගිකත්වය හා අධ්‍යාත්මය සොයා යන චාරිකාව පිලිබඳව. ජීවිතය ගැන ඉගන ගන්න, ආදරය ගැන ඉගන ගන්න සහ ජීවිතයට ආදරය කරන හැටි අවබෝධ කරගන්න නම් කියවන්න ම ඕනි පොතක් තමයි මේක.

මේ පොතේ මූලික ම පදනම වෙලා තියෙන්නෙ මැජික් ඉගන ගැනීම. පොතේ මුල දි සඳහන් කරනවා මැජික් කියලා කියන්නෙ අපිට පෙනෙන දේත් නොපෙනෙන දේත් යා කරන පාලමක් කියලා. ඉතින් මට අනුව නම් මේ පෙනෙන දේ කියන්නෙ වර්ථමානය. නොපෙනෙන දේ කියන්නෙ අනාගතය. ඒ දෙක යා කරන පාලම තමයි ජීවිතය. ඒ කියන්නෙ ජීවත් වීම තමයි මැජික් එක.

මේ කියනවා වගේ ම අපි හැමෝම ළඟ ත්‍යාගයක් තියනවා. ඒ ත්‍යාගය අපි හැමෝම හොයා ගන්න ඕනි අපි ඇතුලෙන් ම තමයි. ඒක හරියට ම හොයා ගන්න එක තමයි මැජික් එක. ඒ මැජික් එක හරියට ම කරපු කෙනා තමයි දිනන්නෙ.

ඉතින් කියවලා නැති අය මේ පොත කියවලා බලන්න. තමන් ඇතුලෙ තියන ත්‍යාගය හොයා ගන්න මැජික් එක හරියට ම දැන ගන්න මේ පොත අනිවාර්යයෙන් ම ඔයාට උදව් කරයි. ඉතින් මේ ලොකේ ඉන්න හොඳ ම මැජික් ශිල්පියා වෙන්න ඔයත් උත්සාහ කරන්න.

More From Author

සරච්චන්ද්‍රගේ නළුවෝ (පළමු කොටස)

මිනිසාගෙන් ඔබ්බට ගිය මාක්ස්වාදී භාවිතයක් ගැන නැවත සිතා බැලීමක්: (2 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348