කාංචනා ප්‍රියකාන්ත:
“The Boy in the Dress” කියන්නේ ඩේවිඩ් වොලියම්ස්ගේ පළවෙනි ළමා නවකතාව. මේ කෘතිය පළමුවෙන්ම ප්‍රකාශයට පත්වෙන්නේ 2008 වර්ෂයේදී. ලංකාවේ නම් ළමා නවකතා ලියවෙන්නේ හරි අඩුවෙන්. ඒ ලිව්වත් “The Boy in the Dress” වගේ සාම්ප්‍රදායිකත්වයට අභියෝගකරන තේමාවක් තියෙන සම්භාව්‍ය ළමා නවකතාවක් ලියවෙයිද කියලා හිතන්න අමාරුයි. .
ගවුම් ඇන්ද ඩෙනිස් කියලා මේ පොත සිංහලට පරිවර්තනය වෙලත් තියෙනවා.

මේ ළමා නවකතාව පටන් ගන්නෙම ‘ Dennis was different .’ (page 11) කියන වාක්‍යයෙන්. ඩෙනිස් කියන්නේ අවුරුදු 12ක විතර පිරිමි ළමයෙක්. එයා ජීවත් වෙන්නේ එයාගේ තාත්තයි අයියයි එක්ක. එයාගේ අම්මා තාත්තා එක්ක තරහ වෙලා එයා පොඩි කාලෙම තමයි ගෙදරින් ගිහින් තියෙන්නේ . ඩෙනිස් ටිකක් වැඩිපුර සංවේදී පිරිමි ළමයෙක්. එයා ආසයි එයාගේ අම්මා ඉන්නකොට කළා වගේ එයාගේ තාත්තා සහ අයියා එයාව වැළඳගන්නවට. එයාට එහෙම ආසාවක් තිබ්බට එයාව ආදරෙන් වැළඳගන්න කැමති කවුරුවත් ගෙදර හිටියේ නැහැ.
ඩෙනිස් වැඩිපුරම ආසා කළ දේවල් දෙකක් තිබ්බා. එකක් ෆුට්බෝල්. අනිත් එක ෆැෂන්. එයා ෆුට්බෝල් ගහන එක ගැන හැමෝම සතුටු වුණා.අනික එයා තමයි ටීම් එකේ හිටිය දක්ෂම ක්‍රීඩකයා. හැබැයි එයා ෆැෂන් ගැන දක්වපු උනන්දුව එයාගේ තාත්තා, අයියා ජෝන් , වගේම එයාගේ ඉස්කෝලේ කිසිම කෙනෙක් දිරි ගැන්වුවේ නැහැ. හැමෝම කිව්වේ ෆැෂන් කරන්න පුළුවන් ගෑනු ළමයින්ව විතරයි කියලා.

මේ අතරේ තමයි එයාගේ අයියගේ පන්තිවල ඉන්න ආකර්ශනීයම ගෑනු ළමයා ලීසා එයා එක්ක මිතුරු වෙන්නේ. ලීසා ඩෙනිස්ට ගවුම් අන්දලා ගෑනු ළමයෙක් වගේ සරසනවා. ඩෙනිස් පිරිමි ළමයෙක් කියලා කියන්න බැරි තරමට ගෑනු ළමයෙක් වගේ පේනකොට ඩෙනිස්ටත් තමුන්ගේ ඒ පෙනුම ගැන විනෝදයක් කැමැත්තක් ඇති වෙනවා. ලීසත් එක්ක එකතු වෙලා ගෑනු ළමයෙක් වගේ ඇඳගෙන ඉස්කෝලේ අයව රවට්ටන්න ගිහිල්ලා ඩෙනිස්ට ඇබැද්දි ගණනාවකට මූණ දෙන්න වෙනවා. කොහොම හරි ඒකෙන් මේකෙන් ඉස්කෝලෙට ලැජ්ජා කළා කියලා ඩෙනිස්ව ඉස්කෝලෙනුත් අස්කරලා දානවා. ඩෙනිස්ගේ තාත්තා සහ අය්යා පවා එයා කරපු වැඩේ ගැන ලැජ්ජා වෙනවා. අප්‍රසාදය පලකරනවා.
ඉතින් මේ පොතේ එක තැනකදී ලීසා මෙන්න මෙහෙම කියනවා.
“It’s ridiculous , isn’t it ? Lisa whispered. ” I mean , why are girls allowed to wear dresses and boys aren’t? It doesn’t make any sense.” (175 pg )
I mean expelled? It’s just not fair . Karl Bates didn’t even get expelled for mooning the school inspectors !’ (175 pg )
පාසැල් අධීක්ෂකයෙක්ට පස්ස පෙන්නන ළමයෙක්ටවත් නොදෙන දඬුවමක් පිරිමි ළමයෙක්ට ගවුම් ඇන්දොත් ලැබෙනවා. පිරිමි ළමයි අඳින ඇඳුම් ගෑනු ළමයි අඳින එකට කවුරුත් මුකුත් නොකිව්වට ගෑනු ළමයි අඳින ඇඳුම් පිරිමි ළමයි ඇන්දොත් ඒක ඉස්කෝලෙන් අස්කරන්න තරම් වරදක්. අනික පිරිමි ළමයින් ගවුම් , සාය හැට්ට සහ සාරි අඳින එක නිග්‍රහයක් විදිහට හිතන එකත් සියුම්ව අභියෝගයට ලක් කරන්න කතුවරයා සමත් වෙනවා. ගවුම් ඇන්ද පලියට පිරිමියෙක් පිරිමියෙක් නොවී තියෙන්නේ නැහැ කියලත් කතුවරයා හරි අපූරුවට කියලා තියෙනවා.
ලීසා, ඩාවෙෂ් , රාජ් , මැක් වගේ හොඳ යහළු යෙහෙළියෝ කෙනෙක්ට ඉන්න එකේ වැදගත්කමත් මේ කතාව අපිට කියනවා.
”There must be something. It’s so unfair. It’s only dressing up. It doesn’t bother me, you know. Yoou’re still Dennis, my mate, with or without the dress.” (pg 179)
ඒ වගේම තමුන්ගේ අතින් වරදක් වුණාම වැරැද්ද පිළිඅරගෙන සමාව ඉල්ලන එක වගේම සමාව දෙන එකත් වැදගත් කියන කාරණාවත් මේ කෘතිය ළමයට වගේම වැඩිහිටියන්ටත් කියලා දෙනවා.
කතාවට හාස්‍ය රසය එකතුකරන ගමන් වැඩිහිටියන්ටත් හිතන්න තරම් කරුණු කාරණා, ළමයින්ට ගැලපෙන විදිහට අපූරුවට මතුකරන්න ඩේවිඩ් වොලියම්ස් සමත් වෙලා තියෙනවා.

තමාව තමා විදිහට භාරගැනීමේ සහ පිළිගැනීමේ වැදගත්කම වගේම අනෙකාව අනෙකා විදිහට පිළිගැනීමේ වැදගත්කමත් The Boy in the Dress” පාඨකයට ගෙනහැර පානවා.
මේ පොතේ එක තැනකදී ඩෙනිස් ඇතුළු මුළු ෆුට්බෝල් කණ්ඩායමම ගවුම් ඇඳගෙන සෙල්ලම් කරලා ජයග්‍රහණය කරනවා. ඒ සිදුවීම වැඩිහිටි ඇසකට විශ්වාසනීයත්වයෙන් තොර බවකින් යුතුව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒත් ළමා නවකතාවක ලක්ෂණයක් තමයි සත්‍ය අනිවාර්යයෙන්ම ජයගැනීම. කළු පැහැය තවරපු චරිත ඉන්නවා නම් සුදු පැහැය දිහාවට ඒ චරිත ගමන් කරවීමත් ළමා කතාවක අනිවාර්ය ලක්ෂණයක් . සත්‍ය ගැන , යහපත ගැන වගේම ලෝකය ගැන ළමයා තුළ විශ්වාසය ගොඩ නගන එක වගේම සහකම්පනයෙන් යුතු පෞරුෂයකින් හෙබි ළමයෙක්ව ගොඩනගන්න දායක වෙන එකත් ළමා නවකතාවක කාර්යභාරයක්.
ඒ අර්ථයෙන් ගත්තම රසයෙන් සහ ගුණයෙන් අනූන සරල විදිහට භාෂාව හසුරුවලා තියෙන “The Boy in the Dress” කියන්නේ ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් දෙවිදිහකට රසවිඳින්න පුලුවන් ළමා නවකතාවක්. සාම්ප්‍රදායික සමාජයේ ඉරි කොටු ඇඳලා මිනිස්සු අතරේ ඇති කරලා තියෙන පරතරය අවම කරලා දාන්න නම් අනෙකාව අනෙකා ලෙස පිළිගැනීම වගේම අනෙකාගේ අභිවෘද්ධියට අත හිත දීම , වැදගත් කියන කාරණාව අපූරුවට මතු කරලා තියෙන ළමා නවකතාවක්.
ළමා නවකතාවක තියෙන අනිත් ලක්ෂණය තමයි චිත්‍ර. The Boy in the Dress එකේ චිත්‍ර ඇඳලා තියෙන්නේ ක්වොන්ටින් බ්ලේක් කියන ඉංග්‍රීසි ජාතික කාටුන් ශිල්පියා.

ඔහු තමයි ලෝක ප්‍රසිද්ධ කතුවරයෙක් වන රෝආල්ඩ් ඩාල්ගේ කෘතිවලත් චිත්‍ර ඇඳලා තියෙන්නේ.

හැමෝටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසියකින් ලියලා තියෙන නිසා ඉංග්‍රීසියෙන් කියවන්න කැමති සහ ඉංග්‍රීසි කියවන්න පුරුදු වෙන්න කැමති කෙනෙක්ට වුණත් කියවන්න රෙකමදාරු කරන්න හොඳ පොතක් තමයි ඩේවිඩ් වොලියම්ස්ගේ ” The Boy in the Dress.‘

කාංචනා ප්‍රියකාන්ත – Kanchana Priyakantha





