ඉෂු බණ්ඩාර:
නිර්මලා ද අල්විස් නම් ඇය එනමින් මේ ලොවට ආ කාර්යාය ඉටු කොට නික්ම ගොස් හමාරය. ඈ යකඩ ගැහැණියක යැයි නම් කරන්නට අප්‍රමාණ හේතු තිබේ. ඈ, මා හා බෙදාගත් ඇගේ මතකය මෙලෙස වරින් වර ලිවීමට සිතුයේ ඇය වෙනුවෙන් එය කළයුතුම යැයි හැඟුනු නිසාවෙනි.
පහුගිය අරගලය සමයේ ඇය පසුවූයේ එතරම් හොද සෞඛ්‍ය තත්වයක නොවේ. දවසක් උදේ කතාකොට පුතේ මට අරගල භූමියට යන්න ඕන , මාව අරන් යන්න පුළුවන් ද යැයි කියූ දෙය මා හිතා මතාම මඟ හැරියේ ඒ නිසාවෙනි.
ඉන් දවස් කීපයකට පසුව ඇය මට ඇමතුමක් දී ප්‍රකාශ කළ දේ මම අසා සිටියේ විශ්මිතවය. මේ ඇයගේ වීර ක්‍රියාව ඈ විසින්ම විස්තර කළ අයුරුය.
“මම හොදට හිතලා නිවරිදි තීරණනෙ ගන්නෙ. එතකොට ඒ නිවරදි තීරණය නිසා මම උදේ කිව්වා පුතාට වෙන නංගි කෙනෙක්ගෙ ගෙදර යන්නෙ කියලා. එතකොට පුතා කිව්වා අම්මා බොරු කියන්නෙ අම්මා යන්නෙ අරගලයට නේද කියලා. එතකොට මම කිව්වා ඔව් ඔය ගොල්ලො මොනව කිව්වත් මාව නවත්වන්න බැහැ කියලා.”

“ එතකොටත් පුතා සැන්විච් වගයක් හදන්න දුවට කියලා තිබුනේ ඒ ගොල්ලොත් එතනට යන්න. ඒත් තව කවුද එනව කියලා බල බල එකල මෙකල වෙන කොට මම හිතුවා ඒ අය බලන්නෙ නැතිව මම යනවා කියලා.”
“මම මැරෙන්න තියන එක කොතන මැරුනත් කමක් නැහැ කියලා සැන්විචස් ටිකකුත් අරගෙන වතුර බෝතලයකුත් අරගෙන මම එළියට බැස්සා කිසිම අරමුණක් නැතිව.”
“කොහොමද ගියෙ , බස් එකේදැයි” එවිට මා පුදුමයෙන් විමසීය.
“ඒක වඟක් නැතිව මම ලෑස්ති වුනා ඉතිං. පුතේ බාල ,මහළු හැමෝම කොළඹ ට ආවෙ කොයි කොයි පැති වල ඉදලද, ඇයි අපි නොයන්නෙ. “
“ඔයා විශ්වාස කරන්න පුතේ ඊට පස්සෙ මට හම්බවුනා අම්මෙකුයි දුවකුයි , එයාලා අපේ පැති වලට වඩා ගොඩක් දුර ඉදලා පයින් යන ගමන්.”
“නැද්දා කොළඹට ම පයින් ආවද? “මට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට කුතුහලය නිසාම නැවතත් ඇසීය.
“ නැහැ , මට මහරගමට යන්න නිකම් චාන්ස් එකක් හම්බවුනා ත්‍රීවීලර් එකක. ඊට පස්සෙ කල්පනා කරා මොකද කරන්නෙ කියලා. එතකොට කට්ටිය පයින් යනවා.”
“මම දන්නවනෙ කාටවත් මම බරක් වෙන්න ඕන නැහැ කියලා. මම වටපිට බලලා ත්‍රීවීලර් එකකට කතා කරනකොට තව මනුස්සයෙක් ඇවිත් ඇහුවා අපි ෂෙයා කරලා යමුද කියලා. එතකොට මම කිව්වා “ ආ ගොඩක් හොදයි එහෙම කරමු කියලා,”
“එයා අරගලයට යන්න නෙමේ , එයා හවසට යනවා කිව්වා. මම ඉතිං යං පුතේ කියලා ගියා. රුපියල් තුන්දාහක් ගත්තා එතනට යන්න, මම දෙදහක් දීලා එයා දාහක් දිලා ගියා.”
“ මම කිව්වා පුළුවන් තරම් කිට්ටුවෙන් මාව බස්සවන්න කියලා.” ඇය තරුණ ජවයෙන් ඒ කාර්ය විස්තර කරද්දී මම අසා සිටියේ නදියේෂ්දා කෘප්ස්කයාව ( ලෙනින්ගේ බිරිඳ) සිහිගන්වමිනි.

එය සනාථ කරමින් ඇය තවත් මා හට මෙසේ පවසයි.
“ මම ඒත් කොච්චර ද කියලා ඇහුවොත් , දූට (පූර්ණ ගෙ බිරිඳට) රහසින් කියලා ආවා හදිසියෙ මම මැරුනොත් ඒක ගැන දුක් වෙන්න එපා, හරි ආඩම්බර වෙන්න , කොහොමත් මම මැරෙන කෙනෙක් කියලා.”
නැන්දාගෙ නම් කොච්චර වයසට ගියත් ඒ ශක්තිය නම් මට හිතාගන්න බැරි යැයි මම පැවසීය.
“ ඔව් පුතේ, කාමරයකින් කාමරයකට යන්න බැරිව හිටියෙ, මටත් හිතාගන්න බැහැ , මොකක්දෝ ශක්තියක් ඒ අවස්ථාවට එනවා” ඇය පැවසීය.
“ඊට පස්සෙ මම ගියෙ ලේකම් කාර්යාලය ලගට, එතනනෙ ප්‍රධාන එක තියෙන්නෙ. එතනට ගිහිල්ලා මම ලොකු මෙහෙවරකුත් කලා, එතනට ඇවිත් හාමුදුරුවන් නමකුයි , ත්‍රීවීලර් කෙනෙකුයි තව කට්ටියක්, අනිත් ඒවා කඩාගෙන ගියා කියලා මේක ඇතුලට යන්න හදනවා”
” කවුරුත් කාන්තාවක් හිටියෙ නැහැ එතන. මම වතුර වගේ හැමතැනටම දියාරු වුනා.
කාටවත් මාව අදුරගන්න බැහැ. සායකුයි හැට්ටයකුයි මම ඇදගෙන හිටියෙ. මට කලාකාරයෙක් වෙන්නවත් , අදුන්නලා දෙන්නවත් වුවමනා වුනේ නැහැ. මම එතන අස්සටම ගියා”.
” මම හාමුදුරුවන් ට කිව්වා “ මේ හාමුදුරුවනේ , මම මේ හාමුදුරුවරු දාස් ගානකගේ ගුරුවරියක්, දැන් ඔතනට යන්නෙ කොළටික අවුස්සන්නද ? මොනව කරන්නද? මම අනිත් මිනිස්සුන්ට ත් කෑ ගහලා කිව්වා. ඕක කඩා ගෙන යන්නෙ ඇයි, බල්ලෙක් පුසෙක්වත් ඔය කාර්යාලයෙ නැහැ. මොකටද යන්නෙ ඇතුලට. අනිත් මිනිසුන් ටත් කරන්න දෙයක් නැහැ එතකොට. මම දැනන් හිටියෙ නැහැ අනිත් ඒවා කඩලා කියලා ඒ වෙනකොට පස්සෙයි දැන ගත්තෙ.”
“අනේ අර එස්.ටී.එෆ්. එකේ මිනිස්සු හරි අසරණ වෙලා, “කවුරුත් නැහැ මේකට යන්න දෙන්න බැහැ ” කියනවා.
මම එතන සංවිධායකයො අදුනන්නෙත් නැහැනෙ. ඊට සමාන අය උත්සාහ කරනවා මේ අය ඒක ඇතුලට යන එක නවත්තන්න, එත් අර ත්‍රීවීලර් අයයි අනිත් මිනිස්සු කෑ ගහලා බනිනවා ,අපිට තෙල් නැහැ ,ගෑස් නැහැ කියලා. මම එතකොට තේරුම් ගත්තා මෙතන වෙන දේ.
මම කිව්වා ” මෙතන තෙලුත් නැහැ මේක ඇතුලෙ , ගෑසුත් නැහැ, දරුවන්ට කන්නත් නැහැ. ආව කාරණය කිසිම දෙයක් මේක ඇතුලට ගියා ට ඉෂ්ට වෙන්නෙ නැහැ , අන්න අර දරුවෙක් කෑ ගහන්නෙ අන්න එතනට ගිහින් සම්මුතියකට එන්න කියලා . මෙතන ක්‍රමානුකූලව වැඩක් කරන්න බලන්න කියලා.”
මම හෙමින් හෙමින් භූමියෙ හැමතැනම ඇවිද්දා , මට පොතක් ලියන්න කරුණු තියනවා, ඈ පැවසීය.
ඈ කියූ තවත් බොහෝ දේ දෙවන කොටසින් ලියන්න තීරණය කලේ ඈ කවුදැයි දැනගැනීමෙන් අපටත් ඉගෙන ගතහැකි පාඩම් බොහොමයක් ඇති නිසාවෙනි.

ඉෂු බණ්ඩාර-Ishu Bandara






One thought on “නිර්මලා ද අල්විස් නම් යකඩ ගැහැණිය (පළමු කොටස)”