ඉෂු බණ්ඩාර:
නිර්මලා ද අල්විස් නම් ඇයගේ ශරීරයද මෙලොවට බරක් නොවී දුම්රොටුවක නැඟී ඊයේ හවස වරුවේ අවකාශය ට මුදා හැර හමාරය. දැන් ඇත්තේ ඇය කළ කී දේවල මතකය පමණි.
අරගලය හා සබැදි ඈ ගැන මගේ මතකයේ දෙවෙන කොටස මෙසේ ය.
ඇය අරගල භූමියේ හැමතැනම තනිවම ඇවිදිමින් අත්දුටු දේ තවදුරටත් මෙසේ පවසයි.
“මම මුළු භූමියෙම ඇවිදලා බැලුවා, එක එක්කෙනා එක එක ආකල්ප වලනෙ ඉන්නෙ.මට මහා පොතක් ලියන්න පුළුවන්.” ඇය පැවසීය.

“ සමහරු යටින් කාගෙහරි කාන්තාවකගෙ හරි අතගාන්න හරි අල්ලන්න හරි කැමතියි, සමහරු කැමතියි තෙරපි තෙරපි යන්න, සමහරු කැමතියි මොකක්ද කියලා බලන්න, සමහරු කොළඹ බලන්න ආපු අය, සමහරු තරුණ කමට ආපු අය, ඔය ඔක්කොම දිහා මම බලන් බලන් වතුර ටිකක් වගේ හෙමින් ඉස්සරහට ගියා” ඇය එක හුස්මට කියවාගෙන ගියාය.
මමත් බාධා නොකොට අසා සිටියෙ මේ රස කතාව ඇසීමට ඇතිවුන මහත් කුහුල නිසාමය.
“ඊට පස්සෙ ඒ කිට්ටුවම හිටියා, අනේ මහන්සි වෙලා, ඇස් වලින පේනවා බැරිම තැන බිම ඉදන් හිටපු කට්ටියක්. ඒ ළමයි කවුද කියලා මම දන්නෙ නැහැ. ඒ ළමයි දැන් අරගොල්ලො කතා කරනකම් ලේකම් කාර්යායලයට මෙහා මිදුලෙ බිම ඉදගෙන ඉන්නකොට මම ඉතිං නිකම් කතා කලා. “
“එයාලා මාව අදුර ගත්තෙ නැහැ. මම කියන්න ගියෙත් නැහැ. ඒත් එයාලා කිව්වා ආන්ටි කොච්චර වටිනවද? ආන්ටි වගේ අය මේ වගෙ අපිට දෙන සහයෝගය කොච්චර වටිනවද කියලා, මට හැමතැනදිම ඒ ක්‍රෙඩිට් එක දුන්නා, වයස පේනවනෙ ඒ නිසා”
ඇය කොතරම්ම නිහතමානි දැයි මම සිතින් සිතූයෙමි.
“ මම උඩට නගිනකොට , එහෙම නගින්න වුවමනා වුනාම , මම කිව්වම මාවත් පුතේ පොඩ්ඩක් ගන්න කියලා, හතරදෙනෙක් මාව උස්සලා උඩින් තිබ්බා, එතනින් එහා පැත්තෙ කඩපු තැනින් බැම්ම උඩට යන්න.”
ඒ වගේ ඒ දරුවො ඕන හැමවෙලේම ඉතාම ලස්සනට , ඉතාම හොදට සහයෝගය දුන්නා “ ඇය මේ අරගල භූමියේ තරුණ පරපුර ගැන ඉතාමත් ආඩම්බරයෙන් කතා කළේ එසේය.
“මම ඉතිං , එහෙම ගිහින් ඔය වගේ මහන්සි වෙලා බිම ඉදන් ඉන්න අය ලඟට ගිහින් ඇහුවා, පුතේ කොහොමද කෑම කියලා, එතකොට එයාලා කිව්වා , ආ ආන්ටි ඒක අවුලක් නැහැ ආන්ටි, අවුලක් නැහැ කියලා.”
එත් මට ඒ මහන්සියෙන් හිටපු මූණු දැක්කම හිතුනා අවුලක් නැහැ කියලා කිව්වට හොදටම අවුල් කියලා, ඊට පස්සෙ කිව්වා “ පුතේ මම ගෙනාවා සැන්විච් ටිකක්, පුතාලා කන්න ටෝස්ටි කරලා තියෙන්නෙ., එහෙමෙහෙ වැටෙන්නෙ නැහැ දැන් බඩගින්නෙනෙ කියලා “
පස්සෙ එයාලා කියනවා, “ නැහැ නැහැ ආන්ටි , ආන්ටි කන්න, ආන්ටිලා තමයි කාලා ඉන්න ඕන කියලා.”
මම කිව්වා නැහැ එහෙම නෙමෙයි , මම මේක ගෙනාවෙ දෙන්න කියලා. ඒක ලොකු පාර්සලයක්. ඒක දුන්නම, “ හරි ආන්ටි අපි කන්නම් පස්සෙ හෙමින් “ කියලා , ඒ ගොල්ලො ඒක ගත්තා.
“තව දෙනෝදාහක් තෙරපි , තෙරපි ඉන්නවා “ ඊට පස්සෙ මට ඇහුනා එක ළමයෙක් රහස් කරලා කියනවා “මචං මට පෙත්තක් එවපං මට බඩගිනි කියලා”
ඇය ඒ අන්තිම පේළියෙ මා හට පවසද්දී ඇගේ වචන හිර විය. හැඬුම් බර විය. රට දැය කෙරෙහි කැක්කුම ඇති වීර කාන්තාවකට තම දෙරණේ බිහි වූ සෑම දරුවෙක්ම කුසින් නොවැදුවද තම දරුවන් හා සමාන නොවැදැයි මට ඒ වෙලාවෙහි සිත් විය.
“ අනේ පුතේ , මට ඒක ඇහෙද්දි මගෙ බඩ දාලා ගියා, මට හිතුනා මේ සබ්බ සකල ,තියන හැමදේම එකතු කරලා මම ගෙනාවනම් හරි නේද කියලා “
“ඊට පස්සෙ , ඒ ළමයි ඒ ටික කාලා මටත් පෙති දෙකක් දුන්නා. එතකොට පෙති හතරක්නෙ ටෝස්ට් කරපු., මම කිව්වා එකක්වත් එපා පුතේ ,මම කාලා බීලා හොදින් ආවේ, කිසිදෙයක් මට එපා , මම ඔයාලටයි ගෙනාවෙ., මට වතුර බෝතලෙන් ඩිංගක් ඉතුරු කරලා දෙන්න කියලා, එතකොට කිව්වා “ නැහැ ආන්ටි අපිට වතුර තියනවා ආන්ට් ගන්න කියලා”
පුතේ , මට හරිම සතුටුයි, මම එතනින් ඊට පස්සෙ ආවා, හැබැයි මට ඒ සැනසිල්ල නම් පුදුම සැනසිල්ලක්.
ඇය අරගල බිමෙහි දරු දැරියන් පිළිබද අප්‍රමාණ සෙනෙහසින් පැවසීය.
“ දන්නවද පුතේ, මම ජාතික ගීය කියන කනුත් එතන හිටියා. මම අතපය උස්සන්න ගියෙ නැහැ , කෑගැහන්න ගියෙ නැහැ. මගෙ ඇස් දෙකෙන් විතරක් හැමදේම ග්‍රහණය කරගත්තා. මම දන්නවා දැන් ගෙදර ගියාම මම වැටෙන්න බලාගෙන යන්නෙ කියලා, ඉතිං මෙතන කාටවත් බරක් වෙන්න බැහැ කියලා හිතලා, මම රෑ වෙන්න කලින් ඇස් පේන පනාපිට , මොකද ඇස් පේනවා අඩු නිසා එතනින් එන්න පිටත් වුණා.”
ඇය එවන් කාර්යයකට යම් තරමින් සහභාගී වූවා නේදැයි අභිමානයෙන් පැවසීය.
“ අනෙ අම්මේ , ඒ වගෙ ජන ගඟක් පුතේ, ගෝල්ෆෙස් එකට විතරක් රොක් කරා නම් , ගෝල්ෆෙස් එක තුන් සැරයක්වත් පුරවන්න වෙනවා. එච්චර සෙනඟක් හිටියා.
“ දන්නවද පුතේ , ඔය දවස් අනූ ගානට , මට හරිම සතුටුයි , එදා දවසේ යන්න පුළුවන් වුනාට, නිසි තැන , නිසි වෙලාවට ගියා, මගෙ ලොකු වටිනාකම ක් නෙමෙයි. ඒත් ඒ හදවතින් ගිහිල්ලා , දැකලා , ආශිර්වාද කරලා ඒ ටික ආපු එක ගැන මට හරිම සතුටුයි” ඇය කඳුළු අතරින් පැවසීය,.
නැන්දා ඉතිං ඒ රෑ කොහොමද ගෙදර ආවේ. මේ සෙනඟ කන්දරාවක් මැද තනි යකඩ ගැහැණියක් මෙලෙස හිතේ ශක්තිය ට යන ගමන් එතරම්ම සීරු නොවන බව දන්නා නිසාම මම විමසීය.
“ ආ එතකොට පුතේ , එතනින්ම බස් එකක් හැරෙව්වා, ජනෙල් වල ඉදලා සෙනඟ, මොනවත් පේන්නෙ නැහැ. එතන හිටපු කපල් එකක් මාව උස්සලා බස් එක ඇතුලෙන් තිබ්බා. මම ඒකෙ මහරගමට ආවා, එතනිනුත් ගේ ලඟට එන්න බස් එකක් තිබුණා , මම එතනට ඇවිත් , දුවට කොල් කලා. ඇස් දෙක පේනවා අඩු නිසා යන්න අමාරුයිනෙ රෑට. ඊට පස්සෙ දුවයි , චූටියයි ඇවිත් මාව එක්කගෙන ගියා,” ඇය හරිම සැහැල්ලුවෙන් පැවසීය.
මට මක්සිම් ගෝර්කි සිහිවිය.ඔහුටද මෙවන් වීර හිත් ඇති අම්මා වරු ඇසුර ලැබෙන්නට ඇත.

ඇයගේ හිතේ ශක්තියට ගියපු ගමන කෙළවර ඇගේ සෞඛ්‍ය සම්බන්ධවනම් එතරම් සුවදායක නොවන බව මම දැන සිටියෙමි.
ඒ බව විමසද්දී ඇය කිව්වෙ.
“ ඊට පස්සෙ ඉදලා , තාම ඇදෙ පුතේ, ඒත් මට හිතෙනවා දැන් මට මොනව වුනත් කමක් නැහැ කියලා “
ඇය තවදුරටත් මා හා කතා කලේ මේ අරගලය හා සම්බන්ධ ව ඇගේ අදහස් ය. ඇයට පැය ගණන් වුවද ඒ හා සම්බන්ධ කිසිම මහන්සියකින් තොරව කතා කල හැකිය.එවන් විටදි තාරුණ්‍යට වඩා ඇගේ හඬ ශක්තිමත් යැයි මට සිතිණ.
“ පුතේ , ඉතිං මට දැන් අලුත් තොරතුරු මොනවද කියන්නකො යැයි පවසමින් කාහට හෝ ඇසේවියැයි සිතා හොරැහින් මෙන් “ මට පුතේ මේ ඔළුවෙ එකක් තියනවා ,මට ඔතන කාවහරි හොද කෙනෙක් කන්ටැක්ට් කරලා දෙන්න පුතේ, මට කතා කරලා කියන්න දෙයක් තියනවා” යැයි පැවසිය.
ඒ වන විටත් ඇය සිය ජිවිතයෙන් හැටපස් වියකටත් වඩා ගෙවා අවසානය, ඇයගේ ස්වාමි පුරුෂයා, ප්‍රේමකීර්ති ද අල්විස්යන් ජාතියේ පවකට මොලොව හැර දමා යාමට ඉඩ සලස්වා අවසානය, ඇයට පෞද්ගලික ව වුවද ජීවිතය සර්ව සම්පූර්ණ එකක් නොවීය. එහෙම තිබියදීත්, තව ඉතාම කෙටි කාලයක් ජීවත් වෙන බව දැන දැනම කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොතකාම, රට දැය මෙන්ම ජාතියේ දූ දරු පරපුර පිළිබද මෙවන් කැක්කුමකින් කතා කරනුයේ ඇත්තට ම ඇය යකඩ ගැහැණියක් නිසාම නොවේ ද?

ඉෂු බණ්ඩාර-Ishu Bandara
පෙර කොටස:





