ප්‍රියන්ජලා සෙනෙවිරත්න:
නමක් නැති කවි පොතක් පෙර දිනක මා අතින් ලියවෙනවා. ප්‍රකාශකයකු නැති, මුද්‍රණය නොවුණු ,මගේ ම අත් අකුරුවලින් ලියවුණු .
තැඹිලි පාටට හුරු දුඹුරු පාට රටා ඇඳුනණු පිට කවරයක් තියෙන පොතක් ,ඒ පොත පිරුණේ ඔහුට ලියැවුණු කවිවලින්.

ඔහු මගේ හිතට ආ දා සිට අවධි වී වැඩි වැඩී විසල් වුණු ප්‍රේමණීය හැඟුම් තැන් තැන්වල කඩදාසිවල ලියැවී තිබුණා . හැඟුම් මැරී ඇතැයි මට ම ප්‍රත්‍යක්ෂ වී තිබ්බ කාලෙක ජීවිතේ ගැන ඇල්මැරී සීතල වුණු හැඟුමකට වඩා යමක් මා ළඟ නොතිබ්බ කාලෙකයි ඔහු ආවෙ නැවත කිසිදාක කවියක් ලියැවේ ය කියා හිතන්නවත් ඕන නොවුණු සංක්‍රාන්ති කාලයක් ඒක.
ඉතින් ඔහු ආවම ජීවිතේ හරි අඩකට පස්සේ, ආයෙමත් හැඟුම් කවි වුණා,ජීවිතේ මල් පූදින්න ගත්තා, තණ පතක පවා ලස්සනක් දැනෙන්න ගත්තා.
ඔහු නොඅවා නම් මේ කිසිවක් ම නොදැක මම මියෙන්න තිබ්බා.
ඒ වසත් කල නම්, ඒක සැනයක් තරම් කෙටි වුණා .ටික කලකින් මට දැනෙනවා ඔහු යන්න හදන බව. සියලු ඉරියව් වෙනස් .ඉතින් යන්න දිය යුතු මොහොත ,එතැන වුණා.
ජීවිතේ ඉදිරි කාලෙ ගෙවන්නෙ කොහොම ද ඔහු නැතිව , යන හිතේ කැළඹීම එක්ක මට යුද්ධ කරන්න වෙනවා.
ඒ නමක් නැති කවි පොත ලියන්නේ ඔහු නිසා. තැන් තැන්වල ලියවුණු “කවියි” මම ම කියා ගත්තු , හිතිවිලි පේළි කරලා මම ඔහුට ගිහින් දෙනවා .ඒ හැඟුම් අයිති ඔහුට. පෙළක් පදවල බොලඳ බව හැබෑව. ඒත් දරදඬු ගෑනු හිතක් පිරිමි හිතන් ළඟ බොලඳ වීම ම සැනසුමක්.
යන්න මග බලන කෙනෙකුට ඉන්න කීමේ නිෂ්ඵලකම තරම් නිෂ්ඵල කමක් තවත් ලොව ඇති ද ?
නමක් නැති කවි පොත ඔහුට පැවරූ දිනෙන් පසු යළිත් කිසිදාක අපි හමුවුනේ නෑ.ඒත් වෙන වැඩ අතරෙ එකිනෙකා දකිනවා ආගන්තුක ව, කිසිදා ප්‍රේමයෙන් බැඳී නොසිටි ගානට.
හැරී ගිය පමණට හදවත් හැරෙන්නට සූදානම් නැත.කතා නැවතූ පමණට හදවත් නතර වන්නේ ද නැත.
ඔහු ගියේ මගෙ හැඟුම් මරා දා නොවේ, ඔහු ගියේ නින්ද්‍රාවට පත් ව සිටි මගෙ ගැහැනු හිත
අපමණ හැඟුමින් අවධි කර ය.
“සොඳුර,
ආ ලෙස ම යා හැකි ය. ඒත් මතකයන් මියෙන්නේ හුස්ම මිය යන දා ය “
ජීවිතේ සමහර පරිච්ඡේද කිසිදා සමහර හිත්වල අවසන් වන්නේ නැත.

ප්‍රියන්ජලා සෙනෙවිරත්න -Priyanjala Senevirathne





