ලැවැන්දර සුවඳ යනු
ආදරේ සුවඳ බව
ඩැනියුබ් ගඟබඩ ලැවැන්දර පඳුරු ගැවසුණු
පෙතැලි ගල මතදී වරක් ඔබ මට කියාදුන්නා
ඒ සුවඳ සුළං අත ගසාගෙන ගිය සේම
ඔබ ද සුළඟක්ව ගසාගෙන ගිය පසු
කාලයක් මට ලැවැන්දර සුවඳ මුළුමනින් අමතක ව තිබුණා
ජීවිතේ බොහෝ දුර ගසාගෙන ගොස්
අහම්බෙන් දිනෙක මා
ලැවැන්දර යායක අතරමංව හිටියා
ඉර මියැදෙන්න ඉස්සර
මා වසා ගලාගිය ඒ සුවඳ
ආදරේ සුවඳදැයි ඇත්තට ම මා දන්නෙ නෑ
මට දැනුණෙ ඔබේ සුවඳ යි
ඔව්, ලැවැන්දර යායක සුවඳ යනු
අන් කිසිත් නොව ඔබේ සුවඳ යි
එසේ නම් ආදරේ සුවඳ යනු
මගෙන් ඈතට ගසාගෙන ගිය ඔබේ සුවඳ ද?

Somewhere in Provence-Alpes-Côte d’Azur
France
Summer 20
මේක මෙයින් වසරකුත් දින 3කට කලින්, එනම් 2024 ජුනි 26වැනිදා ලියා පලකළ එකක්.
හරියටම පසුගිය 26වැනිදා මේක memory එකක් විදියට උඩට ආවා, ආයේ බෙදාගන්නවාද කියලා අහලා.
ඒත් මේ දවස් ගතවෙන්නේ ලැවැන්දර සුවඳ එක්ක ම නෙවෙයි.
මේ මොහෝතේ මේ අවකාශයේ මා පැටලිලා ඉන්න නඩු හබ එක්ක කිසිම පයුරු-පාසානමක් තියන්නට කැමැති නැති අය මේ අතීත සුවඳවල්වලට ආදරේ බව මං දන්නවා.
ඒත් අපේ සාමූහික කරුමෙට, අපට ලැවැන්දර සුවඳේ විතරක් ඇලී ගැලී දිවිගෙවන්න බැරිකරලා තියෙනවා.
ඇතැම්විට මේ ලියවිලිවලට ආදරය කළ අය දැන් මා ලියන දේවල් නිසා ‘මේකා මහ මැරෑටියෙක්, අපි නිස්කාරණේ මූට රැවටුණා’ කියා ආඩපාලි කියනවා ඇති. ඇතැම් විට ඔවුන් දැන් දැන් මා අතැර යමින් සිටිනවාත් ඇති.
තව පිරිසක් මේවා දැක්කාම ‘අපි හිතුවා මේකා සිරා පොරක් කියලා. බලනකොට මල් සුවඳක් ගැනත් හොටු පෙරාගෙන අඬන ඩයල් එකක්නේ,” කියලා හිතනවාත් ඇති.
ඒ සියලු විනිශ්චයන් ඔබ ළඟ තිබියදී, මට මේ ටිකත් කියන්න ඉඩ දෙන්න.
මල් සුගන්ධය සාමූහිකව විඳින්නට ඇති අයිතිය අහිමිකළ තැනක, ඒ අයිතිය යළි ලබාගත හැකිදැයි බලන්නට සටන් කරන විට, සුගන්ධවත් සිහිනවලින් ඇහැරෙන්නට සිදුවෙනවා.
යළිත් අපි කවදා හෝ අනන්තය තෙක් විහිදෙන ලැවැන්දර මල් යායවල්වල ඇවිද යමු.
තනි තනිව නොව සාමූහිකව!
සේයාරූ – Devika Wadigamangawa
නිරූපනය – මා සමඟ එසලියා ,

සනත් බාලසුරිය-Sanath Balasooriya





