මල් සුවදට ඔබ්බෙන් ජීවිතය විනිවිදින කිවිදිය

රුවන්මලී දීපිකා කොඩිකාර ගේ
‘මද සිනා නගන විල්දිය’ කාව්‍යමය සිතුවිලි ප්‍රකාශනය විද අවසානයේ මට දැනුනේ පසු ගිය සියවස අපගේ මෑත කාව්‍යය සම්ප්‍රදාය ආරම්භයේ කවීන් විසින් උත්කර්ෂයට නංවනු ලැබූ පරිසර සෞන්දර්ය, දශක ගණනාවකට පසු ජීවන යතාර්ථය සමග ගලපමින් එහි සුන්දරත්වයෙන් ඔබ්බෙහි සැගවුන මිනිස් ජීවන අත්දැකීම් හි සැගවුණු ඛේදනීය බව ඉස්මතු කිරීමට ඇගේ ඇතැම් කාව්‍යයමය අනුභූතීන් හරහා යම් ආකාරයක වෑයමක් දරා ඇති බවයි.

එය ඇගේ මානුෂීය දෘෂ්ටිය තුළ වන මානව දයාව සහෘද හදවත් සමග බෙදා ගැනීමට ගත් වෑයමකි.

“ගෙමිදුල කණේරු ගස”

ගෙමිදුල කණේරු ගස
මලින් සැරසෙන යස
නොදත් සේ කිසිවක්
මේ ඉඩෝරෙත්..

සිහින් ගෙල මුදු කන්පෙති
සැරසූ මාල අරුංගල්
සින්න වූ පසු සේප්පුවකට
අම්මාගේ අත සිම්බා කණේරු ඇට…

දරුවන්ගේ සිහින ලොව සුන්දර කරන්නට ..දැඩි ආර්ථික පීඩනය හමුවේ අසමත් මාපියන් මතු පිටින් දිස්වන සමාජ ආර්ථික මායාමය කඩතුරාවට යටින් වන කෲරත්වයේ පීඩිත ගොදුරු බවට පත්ව විනාශවන අයුරු මෙකව් විදහාලයි.

කණේරු මලින් හැඩවෙන
හිච්චි දුවගේ අත කනකර
දිසෙයි වැව් ඉහත්තාවේ
ඇය සැතපෙන ඉසව්වට

මල්ම විතරක් ඇති
ඇහෙනවද කණේරු ගස
සද්දන්තයින් ඇවිත්
තාත්තගෙ හේනෙහි මහ යුද්ධ

පසු ගිය දශක ගණනාවක් අපගේ ග්‍රාමීය කෘෂි ආර්ථිකය තුළ සුවහසක් පීඩිතයන් මුහුණ දෙන දුක්ඛ දෝමනස්සයන්ගෙන් බිදක් ගැමි දිවියේ සුන්දරත්වය පිළිබද ගොඩනංවන ලද අතීත සංකේතීය සිතුවම් බොද කර හරිමින්, කණේරු මලෙහි සුන්දරත්වය අතික්‍රමණය කරමින් , ජීවිතය හා මරණය අතර ඔවුනගේ දිවි අරගලය පිළිබද කාව්‍යාත්මක නව රූපකාර්ථ්‍යක් රුවන්මලී නිර්මාණය කරයි.

කණේරු මලින් හැඩවෙන හිච්චි දුවගෙ අත කනකර”…

මව කණේරු ඇට කා දිවි නසා ගන්නේ දියණියගේ අත කන කර සින්නවන සොව දරා ගත නොහැකියවය..

මල්ම විතරක් ඇති…ඇහෙනවද කණේරු ගස…”

කිසිවෙකුත් නොදකින නොඅසන නොදැනෙන මේ මනුෂ්‍ය පීඩනයෙහි මූලය අපූර්ව කාව්‍යෝක්ති බහුල සුමට කව් බසකින් කිවිදිය පෙරළා ප්‍රශ්න කරන්නීය..

අපූර්ව ගැමි කතන බස් වහරකින් හැඩවෙන කණේරු මල් කාව්‍යයෙහි මාර්තෘකාවද එකී රිද්මයානුකූලත්වය හා කවියෙහි අරුත් උද්දීපනය වන අයුරින් හැඩ ගැන්වූවා නම් වඩාත් අපූරු යැයි සිතෙයි..

තුරක් සහ වැවක් ‘ කාව්‍යද රුවන්මලීගේ ‘මද සිනහ නගන විල්දිය ‘ තුළ වඩාත් භාවාත්මක හැගීම් දනවයි.

වැව් ඉහත්තාවක
ඇහැළ තුරු ගොන්නකි
මලින් සැරසී අතු ඉති
සුළඟ හා කොඳුරන

මල් වරණ කලෙහිත්
රහසින් තුරුපත්
ගැඹුරු සංවාදයක
කඳුළු පිනි වගුරන

කාකි ඇඳුමක්
දුටු මතින් ඉකිලන
සලසලා දුඹුරු පත්
නිරුත්තර වී වෙව්ලන

හුදෙකලා මෙබිම පස් යට
විහග දූපත කැළඹි එදවස
ටයර් සෑයක් ඇවිලුනු වග
මෙ’තුර වැව හා කතා කර නැත

අකාලයේ රහසින් ඝාතනය කරන ලද තාරුණ්‍යය…නිහඩව පස් යට දවා අලු කළ මල් වන් මුදු සුන්දර ජීවිත…
මේ සියල්ල හුදකලාව නිහඩව දරා සිටින වට පිටාව..නිසල ඉකිලන මලින් බර ඇසල තුර හරහා මිය ගිය තාරුණ්‍ය මෙන්ම එම මානව සංහාරයට එරෙහි නොවූ එකී පීඩනය නිහඩව දරා ගත් අප හෘදසාක්ෂිය එක වර සංකේතවත් කිරීම කිවිදියගේ අභිප්‍රාය විය හැකිය..

‘ඒ අහස් කූර’, ‘හීනයකි ගිනිපෙට්ටි නිවසක’, ‘මං කැමති සැලුන් යන අම්මකුට’, ‘ දුක කියන වීදිය’ ‘ආපසු ඉගිළෙමි’ වැනි නිර්මාණ තුළින් රුවන්මලී සමාජ ආර්ථික සංස්කෘතික සමකාලීන අනුභූතීන් මානවීය දෘෂ්ටියක් හරහා ස්පර්ශ කරන අතර ඒ හරහා සහෘද මනස් සියුම් සංවාදයකට නැඹුරු කරලයි.

රුවන්මලී කොඩිකාරගේ කාව්‍ය සංතානය බෙහෙවින් මුදු ස්වරයක් අවදි කරවයි..සරල බස් වහරකින් මනුෂ්‍යත්වයෙහි අරුත් මතුකරමින් ඇය අප හා බෙදා ගන්නා කාව්‍ය රිද්මය ‘මද සිනහ නගන විල් දිය’ අසබඩ අපට සමීපවේ..

කුවණ්ණා පින් නුඹට
ඉතිහාසයෙ තැනක
ගැඹුරු ම පාඩමක්
ලියා තැබුවාට ගැහැනුන්ට…

ඉතිහාසයේ කුවණ්ණා අපට කියා දුන් පාඩම මෙන්ම අනාගතයට අරුත්බර ගැඹුරුම කවක් පබදින්න රුවන්මලී කොඩිකාර සොයුරියට මගේ සුභාශිංසන

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-III

කෙටි කාලයක් තුල වැඩිම මාධ්‍ය ක්‍රියාකාරීන් ඝාතනය කල ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍යය…

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348