” නටු යනු, සොබාදහමේ උත්කෘෂ්ට ප්‍රදානයක් වන මල දරා සිටීම පිණිස නිමැවෙන්නකි”
තම තෙවන කාව්‍ය සංග්‍රහය ‘ නටු ‘රසික දෑතට පුදමින් ලියූ පෙරටු කියුමේ, මාලන් බණ්ඩාර කපුවත්ත මේ කියනුයේ මුසාවකි.
‘ නටු ‘යනු මල දරා සිටීමට පමණක් ම නිමැවෙන්නක් නොවේ. මල් හැරෙන්නට ‘ නටු ‘ විසින් දරා සිටිනු ලබන තවත් දේ තිබේ. මාලන් ගේ ඉහත කියුම ‘ නටු ‘ විසින් සාවද්‍ය කර ඇති ආකාරය පැහැදිලි කිරීම මේ සටහනේ අරමුණ වේ.

නටු ‘ කවි කෙටි ය. කෙටි හෙවත් සංක්ෂිප්ත කවිය යනු; රසික, රචක දෙපිරිස විසින් ම වරදවා වටහා ගෙන සිටින කාව්‍ය ප්‍රභේදයක් බව මෙකල ලියැවෙන බොහෝ කෙටි කවි දුටු විට ප්‍රත්‍යක්ෂ වේ. බොහෝ කවියන් සිතා ඉන්නේ, වචන කිහිපයකින් ලියා නිම කළ පමණින් කවක් සංක්ෂිප්ත කළ හැකිය කියා ය. එසේ හෙයින්, වර්තමානයේ අපට හමු වන බොහෝ කෙටි කවි, කවි නොව අදහස් දැක්වීම් බවට පත් වනු පෙනේ. කෙටි කවි වචනවලින් සංක්ෂිප්ත විය යුතු නමුත් අරුතින් සංක්ෂිප්ත විය යුතු නැත. කෙටියෙන් කියතොත් කවියේ පද ඔස්සේ රසිකයාට බොහෝ අදහස් විවර කර දෙන මැජික් දොරටුවක් වැන්නක් සංක්ෂිප්ත කවිය විසින් ඉල්ලා සිටිනු ලැබේ.
සංක්ෂිප්ත කවිය පිළිබඳ තවත් සාවද්‍ය අදහසක් වන්නේ ඒවා දාර්ශනික අදහස් කියා පෑමට නැතිනම් ඇතුළතට ම නැමුණු අදහස්වලින් සමන්විත විය යුතු වේ ය යන්නය. හයිකු හෝ පැන්තුන් හෝ එසේ වූ පළියට හිස ගිනිගත්තවුන් සේ දුවන ලාංකේය සමාජයට ලියන කෙටි කවි භාවනා කරන්නට ම සුදුසු ඒවා වෙතොත් පල නැත. අලුතින් කෙටි කවි ලියන බොහෝ අය සමාජ සංවාද කවි තුළ බහන්නට වෙර ගන්නා නමුත් ගැටලුව ඔවුන්ගේ කවිවල අර්ථය පද පෙළ ඉක්මවා යාමට අසමත් වීමය.
‘ නටු’ යනු මේ සියලු තත්ත්ව ජය ගත් කවි එකතුවකි. නටුවලට මල් හැර වෙනත් දේ දරන්නට හැකි බව කියන්නට හේතුව එය ය.
‘නටු ‘ පස් වැදෑරුම් කවි සමුච්චයකි.
- දාර්ශනික කවි
- අතීත රංජන හෙවත් නොස්ටැල්ජික කවි
- ජනතාවාදී කවි
- විරෝධාකල්ප කවි
- සොබා සෞන්දර්යවාදී කවි ලෙස ඒවා හඳුන්වා දීම වටී.
“බිඳුණු ඡායාව
යළි පුරුද්දන
විල් දියේ
නිහඬ බව “
මෙය එක් අතකින්, සොබා සුන්දරවාදී කවක් මෙන් ගන්නට පුළුවන. එහෙත් එහි ජීවිත කියැවීමක් සහ ජීවිත ගැඹුරක් තිබේ. මේ කවිය කියන්නේ,( වෙනත් බොහෝ අය පවසා ඇති පරිදි ) බිඳුණු ඡායාව යළි පුරුද්දන විල් දියේ නිසල බව කියා නොව, නිහඬ බව කියා වීම ඒ කවියේ ගැඹුරේ සහ අපූර්වත්වයේ රහසයි. චිනුවා අචෙබෙ ගේ තිංග්ස් ෆෝල් අපාට් හි එන කුකුළු පැටවුන් දඩයම් කළ උකුසු පැටියාට උකුසු මව දුන් උපදෙස වැනි යමක් ද කවියේ දිසේ.
“දැවෙන සූර්යකාන්ත මල
ඉර දෙසට ම
මුහුණ ලාගෙන “
තවත් ඒ වන් කවියකි. අතීත රංජනය ‘ නටු ‘තුළ හමු වන අනෙක් අංගයයි.
“කරවුණු බත් හැළිය
හමා එයි
අම්මා පිසූ
තැල්කොළ ඇඹුලේ
පුසුඹ”,
එවන් නොස්ටැල්ජික් කවි බොහොමයක් දරා හිඳින ‘ නටු ‘ ඇති තවෙකක් නෙළා පෙන්විය යුතු. මේ ඒ ය.
“අම්මා ගෙ දුරකතන ඇමතුම
අතරින් ඇසෙයි
දුරු රට මගෙ ගමේ
ලේනකු ගෙ ටිං ටිං නද”
මෙ කව් දනවන හැඟීම වන්නේ, අඬන්නට සිතෙන තරමේ අතීත රංජනීය හෙවත් නොස්ටැල්ජික හුදෙකලා බවකි.
“යුහු ව පෙරළා බලමි
වසා ගිය දිනපොත
හැම පිටුවක් ම
හිස් “
එහි ඇත්තේ ද පෙර කී සංවේදනාත්මක බව ම ය.
“ගන වනෙන් මුවා
කිරි වෙහෙර කොත
එක පැහැර පැතිර යන
මුඩු බිම “
තුරු සාර, සරු සාර, හරිත වන් වන මැද වෙහෙර කොත දක්වා එ සැණ කවියෙන් මුඩු බිමක් දක්වයි. වන මැද උස් ව වැජඹෙන වෙහෙර කොතින් හාත් පස පැතිරුණු මුඩු බිමට සිදුවන අර්ථය කවරේද? ඒ දෙක අතරෙහි සබඳතාව කුමක් ද? සාධුකාර දෙන සමාජය නො අසන එහෙත් ඇසිය යුතු ප්‍රශ්නයක් කවෙහි තිබේ
“පැරැණි අල්තාරය
කුරුසියේ සෙලැවෙන ඇණය
තද කරන පියනම“
පිය නමත් සඟනමත් කොයි නමත් කරමින් සිටින කෙරුවාව එය ය. කුරුසිවල සෙලැවෙන ඇණ තද කිරීම මිස ඇණ බුරුල් කර ඇණ ගැසීමට ලක් වූවන් ගලවා ගැනීම නොවේ.’ නටු ‘ හි එන විරෝධාකල්ප බවට එ කව්, දෙක පමණක් වුව ප්‍රමාණවත් ය.
“මඟුල් පින්තූරයෙත්
අම්මා පෙනෙන්නේ
තනි ව ම “
මඟුල් පින්තූරයේ හැර අම්මා තනි ව පෙනෙන අනෙක් ස්ථාන මොනවා ද යි හිතන්නට කව කියවා අවසානයේ සිදුවේ.
“පැළ ගොයමේ
අම්මා සමඟ
වල් උදුරන
හේමලයා “
අම්මලා ගේ තනිකම, ජීවන බරින් හැනිහැම්ම අම්මලා ගැන දුක හිතෙන තරමට මේ තරම් කෙටිව වචන ඇහිරීමට දක්වන සමත්කම අගැයිය යුතු නැතිද?
ලංකාවේ රසිකයනට ආගන්තුක නමුත් කියවා විඳින්ට අපහසු නොවන අද්දැකීම් මත ලියැවුණු කවි සමහරක් ද ‘ නටු ‘ මත පිපී තිබේ. මේ එ වැන්නකි.
ප්ලම් මල්
පතිත කරවන
ගිම්හාන සීතල”
ප්ලම් මල් අප දන්නේ නැත. එහෙත් ගිම්හානය සීතල නැති බව දනිමු, ප්ලම් මල් පතිත කරන්නේ ගිම්හාන සීතල විසිනැයි කීමෙහි කුමක්දැයි නො වැටහෙන සුන්දරත්වයක හැඟීමක් ගැබ් වේ.
“හිම පතනය
මදක් නවතිමි
උණුසුම වගුරුවන
ස්නෝඩ්‍රොප් මලක් “
මෙ කව ඉහත කවියට ප්‍රතිවිරුද්ධ අදහසක් කියයි.
“වලා පෙළ ඇදගනී
වන හිස්වල
හරිත පැහැය “
තවත් මේ වැනි, සෞන්දර්යය වැනීම් බඳු ‘ නටු ‘ මත තිබේ.
“දැමුව ද කටකලියාව
ඇතුළතින් ඇසෙයි
බලුරාල ගේ උඩු බිරුම “
කටකලියා දමා හිර කළ මුඛ ඇති බලුරාල ලා කොතරම් සිටීද? ඔවුන් ගේ උඩු බිරුම් ඇතුළතින් අසන්නට සමාජයට ඇරයුම් කරන බවක් මෙහි තිබේ.
“වැටුණු පතුරම් කොපු
තව ම පුරවගෙන
වෙඩි බෙහෙත් ගඳ “
නන්දිකඩාල් ගැන උදම්අනන සමාජයකත් වැටුණු පතුරම් කොපුවල පිරුණු වෙඩි බෙහෙත් ගඳ තිබේ.
“ගොස දෙන රළ
අසා ඇද්ද
මූදු පත්ලේ නද “
කෘතියේ මේ කවි දෙක දෙතැනක තිබුණා වුව එකට කියවා ගැනීමෙන් වෙනත් අරුතක් මතු කර ගත හැකිය. ඒ අරුත ජනතාවාදී වුව, හොටු පෙරන ජනතාවාදයකුත් එහි නැත.
“පළමු පලදාව
නෙළාගෙන ගොස් පුදමි
හැර ගිය සොඳුරියට “
ඒ, ‘නටු ‘ හි 99 පිටුවේ කව යි. හැර ගිය සොඳුරියට නොව කවරකුට වුව නොබියව පුදනු හැකි කවි ගොන්නකින් යුතු ‘ නටු ‘ මෑතක කියවන්නට ලැබුණු මතකයේ රැඳෙන කවි එකතුවකි. කවරය, පිටු සැකසුම, සිතුවම් සහ ඔප කඩදාසියේ මුද්‍රණය කර තිබීම හේතුවෙන් කෘතියේ අගය වඩාත් වැඩි වී තිබේ.

අනුර කේ. එදිරිසූරිය-Anura k.Edirisooriya
( මෙය ‘අනිද්දා’ පුවත් පතට කලකට පෙර ලියන ලද්දකි. නැවත බෙදා ගනු ලබන්නේ ජූනි 11 දා නටු ගැන කතාබහට එක්වන ලෙසට සැමට කරන ඇරයුමක් වශයෙනිි).