1994 පෙබරවාරි 14 වන දින සිට අප්‍රේල් 15 වන දින දක්වා, ඉන්දියාවේ අධ්‍යාපනික චාර්කාවක යෙදී මා ලද අත්දැකීම් සමුදාය, “ඉන්දියාවේ අධ්‍යාපනික චාර්කාවක් හා සබැඳි කේෂ්ත්‍ර සඟරාව” යන මගේ ප්‍රථම කෘතියෙන් සමාජ ගත කරන්නට හැකි විය. ඉන්දිය චාරිකාවට සහභාගි වූ ධර්මවර්ධන මහත්මිය, චාරිකාව අවසන් වන්නට දින කිහිපයක් තිබිය දී පැවසුවේ ඉන්දියාව ගැන දැන ගත යුතු දේ චාරිකාවෙන් ලබා ගත් බව ය. එවිට අපේ චාරිකාවේ අධ්‍යාපන කටයුතු භාර ව සිටි මහැදුරු අම්බස්ත් පැවසුවේ ඉන්දියාව ගැන පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට ජීවිත කාලය ම ඉන්දියාවේ ගත කළත් නො හැකි වන බව ය. මේ ප්‍රකාශයේ ගැඹුර තවදුරටත් අවබෝධ කර දුන් කෘතියක් ලෙස, මගේ පළමු ඉන්දීය චාරිකාවට වර්ෂ 30කට පසු, 2024 දී, මධුමාලි නිලක්ෂි බණ්ඩාර ලියා පළ කළ “භාරතයෙන් විහිදුණු ප්‍රභාශ්වරය” නම් වූ කෘතිය සැලකිය හැකි ය. අප ඉන්දියාව ගැන අසා ඇති කරුණු (උදා- සිනමාව, අජන්තා බිතු සිතුවම්, රාමා සීතා කතාව, කේරළය, කාලිදාස…) ගැන අප නො දන්නා නමුත් දැන ගත යුතු ව ඇති කරුණු පළ වූ කෘතියක් සේ නිලක්ෂිගේ කෘතිය අගය කළ යුතු ය.
මගේ ප්‍රථම කෘතිය වූ “ඉන්දියාවේ අධ්‍යාපනික චාර්කාවක් හා සබැඳි කේෂ්ත්‍ර සඟරාව” කෘතියෙහි විවිධ භාෂා දෝෂ මට පසුකාලීන ව හඳුනා ගත හැකි විය. මේ කෘතිය ගැන පුවත්පතකට ස්වකීය අදහස් පළ කළ කේ. බී. ඒ. එඩ්මන්ඩ් වියතා ඒ ගැන කිසිත් සඳහන් කර නො තිබුණි. එසේ සඳහන් නො කළේ මන්දැයි වරෙක එතුමා හමු වූ විටෙක විමසීමි. කෘතියේ සියලු දේ ගැන ලිවීම, පුවත් පතකට ලිවීමේ දී අවශ්‍ය නො වන බව හෙතෙම පැවසී ය. නිලක්ෂිගේ කෘතියේ ද සෝදුපත් බැලීමේ දුර්වලතා කීපයක් දක්නට ඇති නමුදු (ඒවා ඉදිරි සංස්කරණවල දී සකසා ගත හැකි ය), කෘතියේ විශේෂ ලක්ෂණයක් වනුයේ ලේඛිකාවට අනන්‍ය වූ ශාස්ත්‍රීය භාෂා ශෛලියක් භාවිත කර තිබීම ය. ඒ ශෛලිය සමාජගත කිරීම ගැන ද ලේඛිකාවට ස්තුතිවන්ත විය යුතු ය.
කෘතියෙන් ආවරණය වී ඇති විෂය පරාසයේ පළල් බව, කෘතියේ පටුනේ සදහන් මාතෘකා 49න් ද පැහැදිලි වේ.
කෘතියේ කරුණු සදහා පදනම් වැටුණේ කෙසේ දැයි දැන ගැනීමේ කුතුහලයෙන් යුතු ව, ලේඛිකාවගෙන් දූරකථනයෙන් ඒ ගැන විමසූ විට ඇය පැවසුවේ තමා තවමත් ඉන්දියාවට ගොස් නැති බව ය. කියවූ පොත පත ඇසුරින් මේ කෘතිය නිමැවී ඇති බව ඒ අනුව පැහැදිලි වෙයි. තමා කියවූ ද්විතීයක මූලාශ්‍රය වූ පොතපත පදනම් ව මෙතරම් අපූරු ලිපි සමුදායක් ලියන්නට හැකි වී නම්, ඉන්දියානු දේශය හා එහි ජීවන රටා ස්වකීය පසිඳුරන්ගෙන් ප්‍රාථමික මූලාශ්‍රය ලෙස අත්දකින්නට ලැබිණි නම් නිලක්ෂි හට වඩාත් පෝෂණීය වූ කෘතියක් ලියන්නට උචිත සිතිවිලි ස්වභාවයෙන් ම පහළ වනු ඇත. ඒ් අනඟි අවස්ථාව මධුමලි නිලක්ෂි බණ්ඩාර ලේඛිකාවට ඉක්මනින් ම ලැබේ වා යයි පතමි.

ගොඩ්වින් කොඩිතුවක්කු-Godwin kodithuwakku