සහසක් කවි මැද ප්‍රාදූර්භූතය, තෙතබරිත රුක් කඳක සහස්පත් කවි දම් “

කවිය විවිධ ස්වරූපයෙන් පවතින්නක් බව අවිවාදිතය. සහස්පත් හී හමුවන කවිය සිංහල කෙටි කවියේ මෙතෙක් ඇස නො ගැසුන අපුර්‍ර්වත්වයෙන් යුත් කවියක රුව දරාගෙන සිටින්නකි.

එහි විශේෂතා බොහෝ ය. මේ කීහිපයකි එහි බස සදන වදන් නගන හඬ දෝංකාර දෙනු වෙනුවට නින්නාද පවත්වන්නකි. එහි වදන් පෙලහැර විටෙක කටවහරය විටෙක ලිඛිතය වරෙක සම්භාව්‍යය. එහෙත් එකවි වදන් කැටයමෙන් වැසී ගත් වාගාලප නොවේ ම ය. කවියාගේ දෘෂ්ටිය පුළුල්‍ ය. කවිතාව ඉහළ ය. බොහෝ කවි රිද්ම කැටියක් කැටිකරගෙන සිටී. මෙය කෙටි කවිය තුළ බහුලව දක්නට නැති ලකුණකි. එය කවියාගේ කිවිසුරු බැව් කියාපාන්නකි. සමහර කවි රසික භාව ඉම් සසල කරයි. සමහර කවි දීප්ත ප්‍රඥා එළි දල්වයි. සමහරක් සදය උපහාසය සදයි.

ඉළව් ගෙයි
සෙල්ෆියෙ ද
සිනා ම ය

“ෆීලින් ආසොම් විත් ඩෙඩ් ආච්චී” කියා ටැග්වුන මිනි පෙට්ටියක හොවා ලූ අත්තමකු සමඟ පවුලේ ඥාති සමූහය ගත් සෙල්ෆියක් ඔබේ මුහුනු පොතේ ඇල්ගොරිදමය ඔබට මෙතක් පෙන්නා නැද්ද “හව් සෑඩ්” ?.

අඩුම තරමින් සිය සහෝදරයාගෙන් කැති පහර ලැබ එකෙක් ජීවිතය යදිද්දී පවා  විඩියෝ කැමරා උලුක් කරන් උන් “බිම්බරක් සෙනග” අතරේ සිනා මුසු මුහුනින් යුත් පුන්‍ය භූමි වැසියා ව හෝ දුටුවේ නැද්ද?

රසෙනි
දඩමස්
බුදිති
නිර්මස්

හරක් මස් ගොඩාක් පවු කුකුල් මස් ටිකාක් පව් කියන, කුනුමස් රස ම සොයන ගෝත්‍රික සමාජයට දඩමස් රසැති රසකාරක යස පිළියමකි. එහෙත් අපි උදේ හවා පන්සිල් ගමු – රකින්නට අවැසි ම නැත.

වග
දැන
දැන ම
කරදිය
නො බා
ගඟදිය
ඔබ
ඇදෙන
රඟ!

පෑගී
පැගී
තණපත්
විඳින
දුක්
මහරුක්
නො හඟිත්
නො දනිත්

“පුරුෂ මූලික සමාජ නිර්නායකයන්ගෙන් නිර්මිත ස්ත්‍රීවාදි න්‍යාය පත්‍රය” ගැන පැය ගණනක් දීර්ඝ දෙසුමකි පහත කවිය.

ගැහැනු
හිත්
ලිව්වෙ ම
පිරිමි
අත්!

සහස්පත් අතර හමුවන වැඩිමනක් කවි සඳහා මැයක් නැති මුත් “සංහිඳියාව” නම් මැයෙන් යුත් පහත කවිය විශේෂිතය.
එම කවිය කියවන්න පෙර, කමල් ගුණරත්න්න නම් හමුදා නිළදාරියා විසින් සම්පාදනය කරන්නට යෙදුනාය යි කියන “රණමග ඔස්සේ නන්දිකඩාල් වෙත” නම් පොතෙන් උපුටාගත්තා ය යි කියා මුහුනු පොතේ සංසරණය වුන, අයියල දෙදෙනා මැරූ පළිය ගත්තාය යි අම්මට හා තාත්තට පෙන්නන්න, ප්‍රභාකරන්ගේ ලේ තැවරුණු වැලි එකතුකරගත් “සෙබළාගේ සිද්ධිය” මතක් කර ගැනීම වටී. කවිය මේ ආකාරය

සංහිඳියාව

අබ
සුඟකි
නො මළ
ගෙයකින්
දකුණට

කවියේ පාදම, බුදුන්වහන්සේ, සිය එකම පුතුගේ වියෝවෙන් ඉමහත් කම්පාවට පත් කිසා ගෝතමි නම් මාතාවගේ සිත නිවන්නට සිදු කළ දේශනය යි. විජය නන්දන කවියා එයට යොදන සිරස නිසා එම දෙසුම අද ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළම ස්ථානයට සමිප වෙයි. 

ජාතීන් අතර සංහිඳියාව වඩන්නට කලාව තුළ විශාල වැඩ කොටසක් කළ හැකිය.

“මෙහේ විතරක් ද උතුරෙත් එහෙමයි” මට ඒ ප්‍රකාශයත් මෙතනදී සිහිවුණා .

More From Author

Aufhebung කියන සංකල්පය ටිකක් සංකීර්නයි.

වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-2කොටස

Leave a Reply

Categories

LDM Columns