අර්බුද මැද 71 වන වරටත් පැවැති                      ‘ඔබර්හවුසන්’ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල

1954 දී ආරම්භ කරන ලද ‘ඔබර්හවුසන්’ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළ, ලොව පැරණිතම කෙටි චිත්‍රපට උළෙලකි.

ජර්මනියේ ඔබර්හවුසන් නුවර පැවැත්වෙන මෙය මේ වනවිට කෙටි සිනමා සහ සංගීත නිර්මාණ සඳහා ප්‍රධාන ජාත්‍යන්තර වේදිකාවක් බවට පත්ව තිබේ. මෙම උපෙළ තරග ඉසව් පහකින් සමන්විත වෙයි.  ඒ, ජාත්‍යන්තර කෙටි චිත්‍රපට තරගය, ජර්මානු කෙටි චිත්‍රපට තරගය, ජාත්‍යන්තර ළමා හා යෞවන කෙටි චිත්‍රපට තරගය, හොඳ ම ජර්මානු සංගීත වීඩියෝ තරගය සහ ජර්මානු උතුරු රයින්වෙස්ට්ෆාලියා ප්‍රාන්තයේ නිෂ්පාදන සඳහා පැවැත්වෙන  NRW තරගය යනුවෙනි.

ඔබර්හවුසන්’ සිනමා උළෙල මේ වනවිට ප්‍රසිද්ධියක් උසුලයි. වසර 70කට අධික සිනමා ඉතිහාසයක කෙටි චිත්‍රපට ලේඛනාගාරයක් හිමිකර ගෙන සිටින මෙම සිනමා උළෙල, නරඹන්නන්ට අනර්ඝ වීඩියෝ පුස්තකාලයක් ද පිරිනමන අතර, වාණිජ නොවන කෙටි චිත්‍රපට බෙදාහැරීමේ සේවාවක් ද ක්‍රියාත්මක කරයි.

ඔබර්හවුසන්’ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළ 1954 දී ඔබර්හවුසන් හි පිහිටි වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ

හිල්මාර් හොෆ්මන් විසින් ‘පළමු බටහිර ජර්මානු අධ්‍යාපනික චිත්‍රපට උලෙළ’ යන නාමය යටතේ ආරම්භ කරන ලද්දේ ‘ෆිල්ම් ක්ලබ් ඔබර්හවුසන්’ ආයතනය හා එක්ව ය. දී මෙම උළෙල අධ්‍යාපනික ප්‍රතිපත්ති අරමුණු කරගෙන පවත්වන ලද අතර, එම පළමු උලෙළ සඳහා තෝරාගත් ආදර්ශ පාඨය වූයේ, Cultural FilmRoute to Education (සංස්කෘතික සිනමාව යනු අධ්‍යාපනයට යන මාර්ගය යි) යන්න ය. මෙම පළමු සිනමා උලෙළ සඳහා ජර්මන් ෆෙඩරල් ජනරජය, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් තුනෙන් චිත්‍රපට 45 ක් ඉදිරිපත් කර තිබිණි.

1958 දී පැවති 4 වන ‘බටහිර ජර්මානු අධ්‍යාපනික චිත්‍රපට උලෙළේ’ දී, Way to the Neighbour (අසල්වැසියාට මග) යන ආදර්ශ පාඨය හඳුන්වා දෙන ලද අතර, ඒ යටතේ එම උලෙළ 1997 දක්වා පවත්වනු ලැබී ය. එය ‘ඔබර්හවුසන් ජාත්‍යන්තර  චිත්‍රපට උළෙල’  ලෙස නැවත නම් කරන ලද්දේ, 1959 වසරේ පටන් ය.
‘ඔබර්හවුසන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල’ ඉතා ඉක්මනින් ම දේශපාලන නාමයක් බවට පත්වූයේ, ප්‍රධාන වශයෙන් නැගෙනහිර කලාපයේ නිෂ්පාදනය කරන ලද බොහෝ චිත්‍රපට මෙම උලෙළේ දී පමණක් නැරඹීමට හැකි වූ බැවිනි. මෙම තත්ත්වය සිනමා උලෙළේ වේගවත් වර්ධනයට  හේතු වී ය.

කෙසේ වෙතත්, 1950 දශකයේ මුල් භාගයේ දී, ෆ්‍රැන්කොයිස් ටෲෆෝට්, නෝමන් මැක්ලරන්, ඇලයින් රෙස්නයිස්, බර්ට් හෑන්ස්ට්‍රා සහ ලින්ඩ්සේ ඇන්ඩර්සන් වැනි බටහිර රටවල තරුණ චිත්‍රපට නිෂ්පාදකයන්ගේ කෘති නරඹන්නට සිනමාලෝලීන්ට මෙහි දී අවස්ථාව ලැබිණි.

1958 පැවැති සිව්වන සිනමා උලෙළේ දී, රටවල් 29 කින් චිත්‍රපට 190 ක් කල් ඇතිව ම ඉදිරිපත් කර තිබිණි.
1962 දී පැවති මෙහි අටවන සිනමා උලෙළේ දී, ඇලෙක්සැන්ඩර් ක්ලූජ්, පීටර් ෂාමෝනි සහ එඩ්ගර් රීට්ස් ඇතුළු තරුණ ජර්මානු චිත්‍රපට නිෂ්පාදකයන් පිරිසක්, ‘ඔබර්හවුසන්’ ප්‍රකාශනය නිකුත් කරමින්, ‘පැරැණි සිනමාව’ මිය ගොස් ඇති බව ප්‍රකාශ කළ හ. තව ද, නව ආකාරයේ ජර්මානු සිනමාවක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අභිලාෂය බව ද ඔවුහු එමගින් ප්‍රකාශ කර සිටි ය හ.

ඉන්පසු 1960 දශකයේ සිනමා උ⁣ළෙල පැවැත්වීම  1968 දී නතර නරන ලද අතර, ඊට හේතුවූයේ, හෙල්මුත් කොස්ටාර්ඩ්ගේ Besonders wertvoll චිත්‍රපටයේ වූ කතා කරන ශිෂ්නයක අපචාර දර්ශන ඇතුළත්ව තිබීම ය. එය 1967 වසරේ පනවන ලද ‘නව චිත්‍රපට අරමුදල් පනත’ උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින්  රජයේ නීතිඥ කාර්යාලය සිදුකළ විරෝධතාවකට ප්‍රතිචාර දක්වමින්, එම සිනමාපටය සිනමා උලෙළින් ඉවත් කරන ලද අතර, පසුව එම තීරණයට විරුද්ධව බොහෝ ජර්මානු චිත්‍රපට නිෂ්පාදකයන් ද ඔවුන්ගේ කෘති සිනමා උලෙළින් ඉවත් කර ගත් හ. මෙම අර්බුදයෙන් පසුව ‘ඔබර්හවුසන් සිනමා උළෙල ’ නැවත ආරම්භ වූයේ, ජර්මානු චිත්‍රපට සඳහා පොදු තේරීමේ ක්‍රියා පටිපාටියක් ඇතුළුව සංශෝධිත රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමෙන් අනතුරුව ය.1970 ගණන්වල දී මෙම සිනමා උලෙළේ ප්‍රමුඛ ස්ථානයට පත්ව තිබූ තේමාව වූයේ, ‘කාන්තා ව්‍යාපාරය’ යි

චැන්ටල් අකර්මන් සහ හෙල්මා සැන්ඩර්ස්-බ්‍රාහ්ම්ස් වැනි තරුණ චිත්‍රපට නිෂ්පාදිකාවන් ‘ඔබර්හවුසන් සිනමා උලෙළේ’ දී ඔවුන්ගේ චිත්‍රපට මුල්වරට ප්‍රදර්ශනය කළෝ ය.

‘ළමා හා යොවුන් සිනමාව’ මැයෙන්  නව තරග කාණ්ඩයක් මෙම සිනමා උලෙළට හදුන්වා දෙන්නේ 1978 දී ය. 1970 දශකය තුළ නව සිනමා උත්සව රැල්ලක් දක්නට ලැබුන අකර, සිනමාවෙන් නෙරපා හැර තිබූ කෙටි සිනමා ආකෘතිය තිරගත කිරීමේ නව විකල්ප උත්සව රැල්ල තුළ සොයා ගත්තේ ය.

‘වීඩියෝ සහ නව මාධ්‍ය’ පිළිබඳ අවධානයක් 1980 ගණන්වල අගභාගයේ ක්‍රම ක්‍රමයෙන් මතු වී ය.  ‘නැගෙනහිරට කවුළුවක්’ ලෙසින් ආරම්භයේ දී පැවැති මෙම උලෙළේ තේමාව නැගෙනහිර/බටහිර ගැටුමේ අඩුවීමත් සමඟ, සෙමෙන් මැකී ගියේ ය. මැදිහත්කරුවකු සහ පුරෝගාමියකු ලෙස ⁣සිනමා උලෙළේ පැතිකඩ මේ වන විට ලෝක කෙටි චිත්‍රපට, වෙළඳ දැන්වීම් ක්ලිප්, සංගීත වීඩියෝ, කාර්මික චිත්‍රපට සහ වීඩියෝ කලාව යන අංශ යටතේ ඉදිරියට පැමිණ තිබේ.

1991 දී, මෙම උළෙල ‘ඔබර්හවුසන් ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල’ ලෙස නම් කරන ලද අතර, එය අදටත් එම නමින් හඳුන්වනු ලැබේ. ‘ජර්මානු කෙටි චිත්‍රපට’ සඳහා නව තරග අංශයක් ‘ඔබර්හවුසන්’ සිනමා උලෙ⁣ළට හඳුන්වා දෙන ලද්දේ ද එම වසරේ දී ම ය. 1993 සිට මෙම උලෙළේ තරගවල දී චිත්‍රපටවලට මෙන් ම, වීඩියෝ සඳහා ද සමාන ස්ථානයක් ලබා දී ඇත. 1999 දී, ‘ඔබර්හවුසන්’ සිනමා උලෙ⁣ළ ලොව ඕනෑම තැනක නිෂ්පාදිත සංගීත වීඩියෝ සඳහා වන සම්මානය පළමුවරට හඳුන්වා දුන් අතර, එය MuVi ලෙස හැඳින්වේ.

මෙය සංගීත වීඩියෝ අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ නිර්මාණවල දෘශ්‍ය ගුණාත්මකභාවය සඳහා පමණක් පිරිනමන්නකි. වීඩියෝ කලාවේ වර්ධනයත් සමඟ මෙම ප්‍රවර්ගයේ කලාකරුවන් විසින් සාදන ලද නිර්මාණ සිනමා උලෙළ සඳහා වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙමින් පවතී.

අද වනවිට ‘ඔබර්හවුසන්’ සිනමා උලෙළට විවිධ සංස්කෘතික සහ සමාජ පසුබිම්වලින් කෙටි චිත්‍රපට සහ වීඩියෝ ඉදිරිපත් වේ. එම මහා පරිමාණ විශේෂ වැඩසටහන් සෑම වසරක ම වෙනස්-වෙනස් තේමාවන් ගනී.

කොරෝනා වසංගතය පැවැති 2020 වසරේ දී මෙම උළෙල 66 වන වරට පවත්වන ලද්දේ සම්පූර්ණයෙන් ම මාර්ගගතව ය.  එනිසා ම, එය ජර්මනියේ පළමු ඩිජිටල් චිත්‍රපට උලෙළ බවට ද පත් වූ අකර, එහි දී රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් අතර, ප්‍රවේශ පත්‍ර 2,500 කට වඩා අලෙවි වී තිබිණි.
නව ආකෘතිය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් සාර්ථක බව ඔප්පු වූ අතර, මෙහි 67 වන උළෙල 2021 මැයි 1 සිට 10 දක්වා  තවත් සම්පූර්ණ ඩිජිටල් උත්සව සංස්කරණයකින් යුතුව  මාර්ගගතව පැවැත්විණි.

දින දහයක් පුරා පැවැති එහි දී  ජාත්‍යන්තර මාර්ගගත තරගය, ජර්මානු මාර්ගගත තරගය සහ මුවි ජාත්‍යන්තර සම්මානය යනුවෙන් පළමුවරට නව මාර්ගගත තරග තුනක් පැවැත්විණි.

2022 දී මෙම උළෙල ආකාර දෙකකට පවත්වනු ලැබී ය. ඒ, අප්‍රේල් 29 සිට මැයි 3 දක්වා මාර්ගගතවත්, මැයි 4 සිට 10 දක්වා සිනමා ශාලා තුළත් වශයෙනි. 2023 අප්‍රේල් 26 – මැයි 1 දක්වා එය නැවතත් සිනමා ශාලා තුළ පමණක් ප්‍රදර්ශනයට පැමිණියේ ය.

අද වන විට, මෙම උලෙළ කෙටි චිත්‍රපට ඇකඩමි සම්මාන සහ BAFTA සම්මාන සඳහා සුදුසුකම් ලැබීමේ උත්සවයක් බවට ද පත්ව ඇත. එය යුරෝපීය චිත්‍රපට ත්‍යාගය සඳහා නාමයෝජනා උලෙළක් ද වේ. ඊට අමතරව, විශේෂඥ ජූරි සභාවක් විසින් යුරෝපීය ළමා චිත්‍රපට සංගමය (ECFA) පිරිනමන කෙටි චිත්‍රපට සම්මානය සඳහා වාර්ෂිකව ළමා චිත්‍රපටයක් ද මෙහි දී නම් කරනු ලැබේ.

වාර්ෂිකව රටවල් 90 කින් පමණ ඉදිරිපත් කිරීම් 7,000 ක් පමණ මෙම සිනමා උලෙළට යොමුවන අතර, සෑම උලෙළක දී ම චිත්‍රපට 500 ක් පමණ ප්‍රදර්ශනය කෙරේ.

පිළිගත් ජාත්‍යන්තර අමුත්තන් 1,000 කට වඩා වාර්ෂිකව සහභාගී වන මෙම සිනමා උලෙළේ සමිමාන හා ත්‍යාග සඳහා යුරෝ 41,000 කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වැයකෙරේ.

පසුගිය අප්‍රේල් 29 සිට මැයි 04 දක්වා  71වන වරටක් පැවැති ‘ඔබර්හවුසන්’ කෙටි චිත්‍රපට උලෙ⁣ළේ දී ලොව පුරා නිරිමාණකරුවන් වෙත ත්‍යාග 24 ක් සහ විශේෂ ඇගයීම් 8 ක් පිරිනමනු ලැබී ය.

More From Author

සමාජවාදය සහ හරිත සමාජවාදය අතර වෙනස

විසි එක්වන සියවසේ  බිහිසුණු වර්ණභේදවාදී රාජ්‍ය..

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348