කිසිවෙකුට දොස්නගා ඵලක් නොමැත.   

මෙය ලිවීමට මට සිත් වූයේ මගේ හිතවතියක සම්බන්ධ සිදුවීමක් දෙස බලා සිටීමෙනි.
ඇය විවාපත්ව, වෙනම කුටුම්භය ක  ජීවත් වේ. දියණියන්ම  තිදෙනෙකු සිටින ඇගේ ස්වාමියා දුර බැහැර රාජකාරියේ නිරත අතර, රැකියාවක නියුතු නොවන නමුදු , පවුලේ සියළු කටයුතු ඈ විසින්ම ඉටු කරමින් දරු තිදෙනාගේ අධ්‍යාපන කටයුතු ද නිසියාකාරව කරවමින් සිටින ධෛර්යය සම්පන්න මවකි.

ඇයට සහෝදරියක් හා සහෝදරයෙකු සිටින අතර, සහෝදරිය හා පවුලේ උදවිය විදේශ ගත වීම මත, තම මහ ගෙදරට  බොහෝ දුරස්ය. සහෝදරයා ද විවාපත් අතර ඔහුගේ ද රාජකාරී කටයුතු හේතුවෙන් තම මව්පියන් පදිංචිව සිටින ප්‍රදේශයෙන් දුර බැහැර වාසය කෙරේ.

මව්පියන් පදිංචිව සිටින ගම් ප්‍රදේශ යේම පදිංචිව සිටින ඉහත කී මගේ මිතුරිය, සිය පවුලේ කටයුතුවල ට අමතරව ඈ ට හැකි උපරිම අයුරින් දෙමාපිය දෙපළගේ සැපදුක් සොයා බලන්නීය. දියණියන්ම තිදෙනෙකු සිටින බැවින් , ඇයට යම් සීමාවක් දක්වා පමණක් ඒ සම්බන්ධයෙන් කටයුතු කල හැකි බැවින්, මහලු දෙමාපිය දෙදෙනාට තම කටයුතු සෑහෙන දුරට තනිවම ඉටු කර ගැනීමට ද සිදුවේ.

මේ මෑත දිනකදී , මහලු පියතුමා තම දිවිසැරිය නිම කල අතර, එම මලගමට පැමිණි මැදිවියේ සිටින,  මගේ මිතුරිය ට නෑ සබඳකමක් ඇති සහෝදරයෙකු අර ඉහත කී මිතුරිය ගැන නුගුණ කතා කරනු මට ද ශ්‍රවණය විය.

ඒ කතාව ඇසුණ මගේ මිතුරිය අධික ලෙස ශෝකාකූල වූ අතර, ඇය ඊට පිළිවදන් නොදී ඉවතට ගොස් කඳුළු සැලීය. පසුව, ඈ පැවසූ පරිදි දෙමාපිය සත්කාරය තමා නිසියාකාරව ඉටු නොකලා යැයි පශ්චාත්තාප වෙමින් නිරන්තරව ශෝක කරන්නට යෙදුනා ය.

මේ සිද්ධිය ලියන මට දැනුණා ට වඩා වෙනස් ආකාරයකට කියවන ඔබට සිතෙන්නට පුළුවන. මක්නිසාද යත්, දෙමාපියන්ට  තමන්ට හැකි උපරිමය කල දරුවන් අගය කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බැවිනි.  ඒ, අප වැනි ආසියාතික රටවල ජීවත් වන සමාජය,  දෙමාපිය වැඩිහිටි සත්කාරය කලයුතුම සේම, අපේක්ෂිත අයුරින් නොවන කල්හී එය නොසැලකිල්ල ක් ලෙස සලකන බැවිනැයි  මම සිතමි.

වෙනත් කුටුම්භ තනාගෙන ගිය දරුවන් සම්බන්ධයෙන් අවබෝධය ඇති දෙමාපියන් කිසිසේත්ම එසේ නොසිතන අතර, බාහිර පාර්ශ්ව විසින් ඇතිකරන සිත් බිඳවීම් නිසා යහපත් පවුල් සම්බන්ධතා ද දුරස්ව යනු ඇති බව මගේ හැඟීම යි.

මේ ලොව ජීවත්ව සිටින කිසිවෙක් නරක නැත. නපුරු නැත. ආත්මාර්ථකාමී නැත.එකී මෙකී නරක යයි සම්මත කිසිම කුලකයට වෙන් කර ඇතුලත් කල යුතු නැත.

සෑම කෙනෙකුම,  තමන් කරන දේ හරි වැරැද්ද හොඳාකාරවම හඳුනති. ඒ වෙනුවෙන් කල හැකි කිසිවක් ඇත හෝ නැත යන්න පවා හරිහැටි තේරුමක් නැතිවා වන්නට පුළුවන.

යම්කිසි මව්පිය දරු දැරියන් සහිත පවුලක, කල්ගත වීමෙන් මහලු දෙමාපිය දෙපල සාතිශය ලෙස හුදෙකලා වීමකට ලක් වේ. මේ පවුලේ සිටින යම් දියණියක වේවා, පුතණු  කෙනෙකු වේවා,  ඒ දෙමාපිය දෙදෙනාගේ තනිකම මනාව වටහා ගනී. එහෙත් ඒ වෙනුවෙන් ඔවුනට කල හැකි යමක් නොමැත. මන්ද යත් ඔවුන් ද තවත් පවුලක මවකි. පියෙකි. තම දුවා දරුවන්ට තමන් අතින් විය යුතු දෑ නොපිරිහෙලා ඉටු කල යුතුව ඇත. ඒ නයින්, මහලු, හුදෙකලා දෙමාපියන් සම්පූර්ණ වශයෙන් රැක බලා ගැනීමේ හැකියාවක් නැතුවා වන්නට පුළුවන.  අපේක්ෂිත අයුරින්ම ඉටු කිරීමට අවශ්‍ය පසුබිම යම් යම් හේතු මත නොසැලසෙනවා විය හැකිය. ඒ දකින බාහිර පාර්ශවයා, සිද්ධිය නිර්වචනය කරනු ඇත.

මහලු දෙමාපිය දෙදෙනා ගැන කණගාටුවෙනුත්, දරුවන් ගැන අප්‍රසාද සිතිනුත් විවේචන එල්ල කරනු ඇත. තැන තැන කතා පවත්වනු ඇත.

ඒ කිසිත් නොව, වෙනම පවුල් පන්සල් වල සිරව ඇති දුවා දරුවන් ඒ දෙමාපියන් වෙනුවෙන් ශෝක කරනු ඇත. කරගත හැකි කිසිත් නැතියෙන් අසරණ සිතින් කල් හරිනු ඇත.

ඔබද මාද දන්නා ජීවිත ගමන මෙයාකාර ය. කිසිවෙකුට දොස් නගා ඵලක් නැත. වැරදි කරනවුන් නොමැත. ඇත්තේ කිසිත් කරකියා ගත නොහැකි අසරණ කමක් පමණි
මේ ඕනෑම සම්බන්ධතාවක් සම්බන්ධයෙන් සාධාරණ වීවරණයක් බව හොඳින් සිතා බැලුවොත් වටහා ගනු හැකි වෙනු ඇත.

සෑම සිද්ධිය කටම අදාලව දෙපැත්තක් ඇති බැවින්, මීට වෙනස් ලෙස සිතීමට,  විග්‍රහ කිරීමට ඔබට සම්පූර්ණ අයිතිය ඇති බව ද අවසන ලියා තබමි.

More From Author

සමන් පුෂ්පකුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්විමක් ඔස්සේකලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 3-II කොටස

ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් විරාමයක්

Leave a Reply

Categories

LDM Columns