සාගරිකා, රජරට රැජින,
රුහුණු කුමාරි
ඔය කොයි ගැහැණියත් ගියේ මගේ ඇඟ උඩින්,
තැලි තැලී රිදි රිදී
ඔහේ හිටියා
හැඟීමක් දැනීමක් කොයින්ද මට…
පබසරා කුමාරි වැඩට ගියේ ආවෙත්
මගේ ඇඟ උඩින්,
එයා යද්දි සනීපයි මට…..
එයා කියව කියව ගියේ මං එක්ක
හීල්ලුම් ඉකිබිඳුම් අහගෙන හිටියෙත් මම
තක්කෙටම කෝච්චි යන එන වෙලාවල්
දැන ගෙන හිටපු සිහින් සියුමැලි ගැහැණියට
අද වෙලාව වැරදිලා තිබුණා,
විසිරිච්ච කෝටු අත පය හැමතැනම
උණුවෙලා වැගිරෙමින් තිබුණ හදවතක්
වැටුණා රේල් පීලි අතරට
මං කණ තිබ්බා පපුවට
හෙමින් කෙඳිරුවා ඒකි මට
” බුදුසරණයි මගේ දරුවො දෙන්නට”
මෙච්චරකල් කෝච්චි ගියාටවත්
රිදුනෙ නෑ
මේ තරම් මට….

සුරංගි ලියනපතිරණ





