ඇස් දොළහක් හය විධිහක්

ජීවිතය දින දින ව්‍යාකූල වන හරස් පද ප්‍රහේලිකාවක් බවට හැරවෙන සමාජ පද්ධතීන් මැද අපි දිවි ගෙවමු. අපේ දවස ගෙවෙනුයේ එහි ඇති ආධාරක වදන් සොයා දිගට හරහට මෙන්ම උඩට පහලට තරග දිවුමකය. අපට වේගයෙන් අපවම අහිමි කරවන වටපිටාවක ජීවිතය අපේ අභිමතය පරිදි හැඩගස්වා ගැනීම වෙනුවට අප කරන්යේ එමගින් අපට ඉදිරිපත් කරනා ප්‍රහේලිකාවෙහි ගොදුර බවට පත්ව හුදෙකලා ජීවින් බවට පත්වීමය. බරපතලම කරුණ වනුයේ අප ගොදුරු බවට පත් සිටිනා බව පවා අපට නොදැනී අප ඒ ගොදුරු වීමම වින්දනය කරමින් ක්ෂයව යාමය.
මේ ගොදුරු වීමට එරෙහිව කවියා අරගල කරයි. මිනිසා පටලැවී ඇති වියවුලෙහි අඬුපඬු දරුණු වන තරමටම කවියා සිය ප්‍රයාණය අත නොහැර එහිම එල්ලී සිටියි. එසේ ඔහු දරන උත්සාහය තුළින් අප සිරව පවත්නා ලෝකය සහ එහි සීමා , උගුල්, අපේ සීමාවන්ට හේතුවන ආකල්ප ආදිය නිර්මාණාත්මකව අප ඉදිරියෙහි දිග හැරෙයි.
මේ සරත්චන්ද්‍ර වල්පොල කවියා ගේ නව කාව්‍ය එකතුව කියවද්දී මට දැනුන සිතුවිලි ය. ඔහු තමන්හට ජීවත් වන්නට බල කරනා පද්ධතිය තුළ විවිධ අත ඇස් යොමයි. විවිධ නිමේෂයන් අල්ලාගෙන ඒවා කාව්‍යෝක්ති බවට හරවා දමාගසයි. විටෙක ඒ සයුම් සංවේදනයන් දනවන වියමනකි. විටෙක ඒ මිටින් පහරක් එල්ල කරන්නාක් වැනි එළඹුමකි.

ඔහුගේ පළමු කවියම සම්ප්‍රදාය හා ආකල්ප අතර වන සිරගෙය බිඳීමකි. ඒ බිඳ හැරීම සොඳුරුය. ඔහු සිය කවිය නම් කරනුයේ කොලු පැටියෙක් උපදිනකං යනුවෙනි. අප සමාජයෙහි කොලු පැටියා යනු පවුලක සිහිනයකි. දේපල උරුමය යනුයේ ඔහුටය. බොහෝ විට දෙමවුපියන් කියනුයේ නම ගෙනයාමට කොලුවකු ඇවැසි බවකි. ඒ අප පරම්පරා ගණනාවක් තිස්සේ පවත්වාගෙන එන අව සම්ප්‍රදායකි. කවිය ඊට සියුම් ලෙස පහරක් එල්ල කරයි. එයද ඒ සොඳුරු පහරකි.
අහසෙ ඉගිළිලා ගෙනාව වළාකුළු පෙලයි
මුහුදේ කිමිදිලා ගෙනාව මුතු මාලපටයි
පොළොව පීරලා ගෙනාව නිල්මිණි අහුරයි
සැරසුවෙ කාමරේ පුරාම පුතු හැඩතලයි

මේ අපේ පොදු ප්‍රාර්ථනයයි. දූලාම හය හත් දෙනකුට පසුව බඩපිස්සා ලෙස කිරුළ දරනා පුත් කුමරකු ඉන්නා පවුල් දෙස බලන්න. එවිට මෙය වැටහෙනු ඇත. එහෙත් කවියා අපට නොදැනීම අප තුළ වෙනසකට මග සාදයි. මේ ඔහු සිය නිවහන ගැන කරන කථනයයි.
අහස තරම් කාමරයක් (නිල් පාට?)
මුහුද වගේ නිල් පාටට
ගෙවාගෙන සති මාස
පහු කළා කාසල් වීදිය
කෙළින්ම කොළඹ පැත්තට
පුංචි බොරැල්ලෙන් යාන්තම් බැසගෙන
ඔන්න මෙන්න සොයිසා ඉස්පිරිතාලෙට
මේ ඔහුගේ කවියෙහි මුදුනයි.
වාට්ටුවෙන් වාට්ටුවට
මල් පොහොට්ටු කිරි සුවඳයි
කිරි සුවඳයි ඇගේ ඇඳත්
ඒ ඇඳ උඩ හුස්ම ගනී
රෝස පාට කවියක්
හරියටම මනෝරම්‍ය නාට්ටියක වගේ
ආනන්දයම ප්‍රඥාව වුණා.
මට නම් මේ අවසන් දෙපෙල අනවැසිය.

රේල් පාර සහ ප්‍රේමය යනු ප්‍රේමයේ කාර්ය බහුල රූපකයන්ය. එක්වීම මෙන්ම වෙන්වීම නිරූපණය කිරීමට භාවිතා කර මේ රූපක වල හම ගැලවී ගොසිනි. ඇදව ගොසිනි. එහෙත් කවියා ඒ යළි වෙනත් මානයකින් අල්ලා උඩට ඔසවයි. ඔහු කතා කරනුයේ සිල්පර කොට තුළින් හමන නැවුම් කළු තෙල් සුවඳක් ගැනය. එද කොන්ක්‍රීට් සිල්පර රජ කරනා වර්තමානයකය. ඔහු මේ කවිය තුළ මනුෂ්‍ය භාවයන් ඉතා සියුම් ලෙස අල්ලා ගන්නට සමත් වෙයි.
ආගම සහ දේශපාලනය- මේ අප දෛනිකව අත් විඳිනා බඩරුජාවකි. මිනිසා වේගයෙන් ආගමික මධ්‍යස්ථාන වෙත ගසාගෙන යද්දී ඒවා පෙරලා දේශපාලන පොරපිටි බවට හැරෙයි. දෙපිරිසටම එහි වගක් නැත. වන්දනාවට හුරුවූ ජීවියකු කවර අතකට වුව හැරවිය හැකි බලය ආගමික් ඇඳුම තුළ ඉහලින්ම තිබේ. මේ සරත්චන්ද්‍ර ගේ කවියයි.
බෝඩ් ලෑලි වල
පුරාණ රජමහා විහාර
පිරිවෙන් පන්සල් බෝමයි
මේ හැම තැනකම
පක්ෂ කාර්යාල
හා
ප්‍රචාරක ලේකම්ලා විතරයි

නූතන සමාජයෙහි වැඩිම අවධානය ඇත්තේ ප්‍රේමය වෙතය. එහෙත් උත්කර්ෂයට නැගෙනුයේම වියොවය. වැඩියෙන්ම කවි ගී ලියවෙනුයේද වියොව ගැනමය. එය උත්කර්ෂයට නැගීම යනුම වින්දනයකි. එහෙත් කවියා එමගින් බැහැරව ප්‍රේමය ගැන කතා කරන්නට කවියකට ඉඩ හරියි. ඔහු පෙනී සිටින්නේ වියෝව වෙනුවට ප්‍රේමය ස්ථාපිත කිරීමටය. මේ ඔහු ප්‍රේමයේ සතුරු බලකා හමුවේ සිය ආස්ථානය සළකුණු කරනා ආකාරයයි.
මේ තරම් කුරිරු වී
දුරින් තබනවා නම්
මිනිසුන්ව
පතුරවමු වසංගතයක්ව ප්‍රේමය

සරත්චන්ද්‍ර වල්පොල කවියාගේ නිර්මාණ අතර එන අපි දෙන්නම කරන්නෙ මිනිස්සු ලස්සන කරන එක නම් කවියද අපූරුය. එහි අත්දැකීමද මීට පෙර කවියට විෂය වූවකි. එහෙත් ඔහු ඒ කවිය හරහා ජීවිතය කියවන ආකාරය නැවුම් බවකින් යුක්තය. තමන්ගේ පෙම පිලිකුල් කළ කාන්තාවගේ මල සිරුර එම්බාම් කරන්නට සිදුවන එම්බාම්කරු මුදාහරිනා සිය හදවතේ සිතුවිළි හරහා කවියා ජීවිතයේ විකාරරූපී බවත් ඉස්මතු කරයි.
රූපාලංකාරයෙත් ජීවිතාලංකාරයෙත්
පොඩි පොඩි වෙනස්කම් තිබුණට
රෝහිණී උඹ කළෙත්
මං කරන්නෙත්
මිනිස්සු ලස්සන කරන එක

සෝඩා නමින් එන කවිය සියුම් උපහාසයක්ද මතුකරමින් දේශපාලනය නමින් අප හමුවේ දිගහැරෙන නාට්‍යයට අර්ථකතනයක් සපයන්නට උත්සුක වෙයි. එහිලා ඔහු භාවිතා කරනා යෙදුම් සංක්ෂිප්ත වන්නා සේම චිත්තරූප මැවීමෙහිලා බෙහෙවින් පොහොසත්ය. ඔහු පක්ෂ සහ පාට සමග ගැටගැසෙන පාක්ෂික දේශපාලනය මෙසේ දිගහරියි.
සාක්කු නොපිරුනු
සාක්කු මීටින්ය
පාටියේ පාටට
පැණි බීම බෝතල්ය
අපි වසඟ වී සිටිය
ගෑව ලිප්ස්ටික් විලස
මට තාම මතකයි
ලේ පාට තොල්
මල් මාල
වද මල්
සහෝදර
පිළිම ගල්
තාත්තගෙ ප්‍රෙමා්දය
ඒවාට මා ලවා
මල් මාල පැළඳවීම
පෙරලා මගෙ ගෙලට
එමල් මාලාම වැටුනම
සිහිවුනේ අත්තම්මා
කියාදුන් කතන්දර
දංගෙඩියට ගෙනයන මොහොත

ලංකාවේ වාමාංශික දේශපාලනය විශේෂයෙන්ම පරණ වම යයි අප හඳුන්වන වමේ ව්‍යාපාර වල නිරත ක්‍රියාධරයන්ගේ ජීවිත කෙරෙ හෙලන බැල්මක්ද අපට කවියාගේ නිර්මාණ තුල හමුවෙයි. ඒ දේශපාලනයේ කැපවීම, ඒ හේතුවෙන්ම ක්‍රියාධරයන්ගේ ජීවිත තුළ හටගත් විවිධ වෙනස්කම් විෂය කරගනිමින් ඔහු අප අද අමතක කර ඇති දේශපාලන ඉතිහාසයක සළකුණු මතු කරන්නට තැත් දරයි. මේ ඔහු ඒ යුගයේ වාමාංශිකයාගේ ස්වභාවය සිත්තම් කරන අයුරයි.
හතර පෝයටම
පන්සලකට නොගිය
උන්දෑ බෞද්ධයෙකි
රතන සාමණේරට වැඩිය
ඇට මැස්සෙක් නිසා මොරවක (එස් ඒ වික්‍රමසිංහ)
වාමාංශික වුනාට තාත්තා දකුනෙය
හතලිස් පනස් හැට ගණන්වල දිළිසුණ
රත්තරං මොළ පසුපසින් සමසමාජෙට
මේ ඒ පරම්පරාවේ අවසානය ඔහු ලකුණු කරනා ආකාරයයි.
රතතරන් මොළ පාපන්දු වුන
හැත්තෑව දශකයේ පෑල දොර
සමසමාජ කොමිනිස්ට් වාගේම
තාත්තාත් ඌන සංවර්ධිත වින

චූලානන්ද සමරනායක


More From Author

ඔබය… ඔබමය… ඔබටමය….

සමන් පුෂ්ප කුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්වීම ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 1 කොටස

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348