ඒක තමා විය යුතු…..

ළමයින්ට උගන්වනවා කීවට අපි ළමයින්ට ඉගැන්වීම විතරක් නෙමෙයි ළමයින්ගෙන් අපි ඉගෙන ගැනීම කියන දේත් සමානව සිද්ධ වෙනවා .ඒ දැනුම කවදාවත් ගුරු භූමිකාවකට පොත පතින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනික කිසිදාක නිමා නොවෙන ආත්ම තෘප්තිය. ජීවිතේ වෙන කිසිම තැනකින් මෙතරම් ඒක ලබන්න පුළුවන් ද මම දන්නෑ.
එක කාලෙක මම ඉගැන්නුවා මිශ්‍ර පාසලක. මම ඒකට සම්බන්ධ වුණාම මට සිංහල විෂය ඉගැන්වීමට අමතරව නමය ශ්‍රේණිය පන්තිභාර ගුරුවරිය විදිහට වැඩ කරන්න වෙනවා.

ඒ පන්තියෙ එක කෙල්ලෙක් මට දැනෙනවා ටිකක් අමුතුයි. සාමාන්‍යයෙන් පන්තිවල ළමයි එක්ක මම ඉක්මනට හිතවත් වෙනවා. ඕනෙම දඟයෙක් මට වෙනසක් නෑ. ඒත් මේ කෙල්ල මාව වැඩිය ගනන් ගන්නේ නැත්තේ මොක ද ? මම දවස් කීපයක් ම මේක හිතනවා. උත්තර දෙන්නෙත් හරහට වගේ, ගුරුවරු ගැන ඇනුම් පද කියනවා, ඒ හැසිරීම වෙනස්. දවසක් මම එයාව වෙනම පැත්තකට අරන් කතා කරනවා .මම ඉස්සෙල්ලාම ඇහුවේ
“පුතා ඔයා මට කැමති නැද් ද,
එහෙනම් ඒ ඇයි ?” කියලා
මොකද මම අලුත් නිසා මං හිතුවේ කලින් ගුරුවරිය අහිමි වීම මගේ වරදක් කියලා හිතනව ද කියල.
කෙල්ල හිනා මුවින් නෑ කියනවා. ආයෙම මම අහන ප්‍රශ්නයකදි කෙල්ලගෙ හිනාව නැතිවෙලා මගේ ළඟ අඬන්න ගන්නවා. ටික වෙලාවක් එයාට අඬන්න ඇරලා අපි ආයෙම කතා කරනවා .

හරිම පොඩි කාලේ ඉඳන් ගුරුවරුන්ගෙන් එයාට වුණ නොසලකා හැරීම්, හිත් රිදීම් ගණනාවක් මගෙ එක්ක අඬ අඬා කියනවා. මට හැකි විදියෙන් මං එයාව සනසනවා. හැමෝම එහෙම නැති බවත් , එයා දක්ෂ දරුවෙක් බවත් මම එයාට කියනවා එදා ඉඳන් මං ඒ කෙල්ලගේ හොඳම යාළුවෙක් වෙනවා. මට විහිළු කරනවා, හිනා වෙනවා, වෙනදට වඩා උවමනාවෙන් වැඩ කරනවා .මට අර රූඩ් විදිහට කතා කරපුවා නවතිනවා . හැමදේටම උනන්දුයි

ඊළඟ අවුරුද්දේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක නායිකාවන් නම් කරන්න අපිට දෙනවා. මම අර හිතුවක්කාරිගෙ නම ඇතුළත් කරනවා. ඒ දැකල ප්‍රින්සිපල් මැඩම් මගේ දිහා බලන්නෙ
“උඹට පිස්සු ද ?”
අහනවා වගේ.
” මෙයා දාන්න බෑ ” උත්තරය ඍජුයි.
මම තර්ක කරනවා
“ඇයි බැරි”
“වගකීම ඔයා ගන්නව ද ? එයා කිසි ගුරුවරයෙක් කියන දේ අහන්නැති ළමයෙක් “
“ඔව්, වගකීම ගන්නවා “
එච්චරයි.
එයා ගැන කවදාවත් ආයෙ කම්ප්ලේන් එන්නෑ.මම දැනන් හිටියා.
කෙල්ල ශිෂ්‍ය නායිකාවක් වුණා.
එයා ඕ ලෙවල් කරන්න ඉන්දී මම ඉස්කෝලෙන් ඉවත් වෙලා වෙන ඉස්කෝලෙකට යනවා. මම යනදා කෙල්ල මාව බදාගෙන හරි ආදරෙන් මට සමු දෙනවා .
පස්සෙ දාක කොළඹ විශ්ව විද්‍යාලයේදී මට එයාව ආයෙම හමුවෙනවා ,මම මගේ මාස්ටර්ස් කරන කාලෙ එයා සයන්ස් ෆැකල්ටියෙ ඉගෙන ගන්නවා.

මම කෝල් එකක් ගත්තා .
“පුතා මම නිව් ආර්ට් තියටර් එකේ “
අපි නාට්‍යයක් බලන්න ලෑස්ති වෙලා ඉඳගෙන හිටියේ. කෙල්ල කඩාගෙන දුවගෙන එනවා. අර ඉස්කෝලේ බදාගෙන සමුදුන්නට පස්සේ අපි දකින්නෙ එදා. ආයෙම මාව ඒ ආපු වේගයෙන් ම බදාගන්නවා .
අපෙ හිනාවල් උතුරනවා
ඉතින් ජීවත් වෙන්න සතුටු කාරණා මොන තරම් තියෙනව ද ?
පුතේ දවසක ඔයා ගුරුවරු පහු කරලා යනවා.
ඒක තමා විය යුතු……

ප්‍රියංජලා සෙනවිරත්න

More From Author

කොපියක් නොවෙන ජීවිත හරි සුන්දරයි..

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-II

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348