සංජීවනී රූපසිංහ (ලන්ඩන් කොලම)
එංගන්තයට මා පැමිණියේ හීත්‍රෝ ජ්‍යාතන්තර ගුවන් තොටුපොළෙනි. එය ලොව ඇති කාර්යබහුලම ගුවන් තොටුපොළයි. පැය ගණනක් පෝලිමේ හිඳින්නට සිදු වෙයි. ගුවන් තොටුපළේ සිටි නිලධාරිනිය මගෙන් සාමාන්‍ය ප්‍රශ්න කිහිපයක් ඇසුවාය. ඇයගේ ඉංග්‍රීසි භාෂාව ද හොඳින් වැටහෙන සුළු විය. ගුවන් තොටුපළ නිලධාරියා අසයි කියා සිතූ බොහෝ ප්‍රශ්නවලට මම පිළිතුරු සූදානම් කර ගෙන සිටියෙමි. මා ගන්නට පැමිණ සිටියේ කුඩා කළ සිට මගේ සහෝදරයෙකු බඳු වූ ජගත් අයියාය. එයින් පසු මා මාගේ විශ්වවිද්‍යාල මිතුරිය වූ ගංගාගේ මැන්චෙස්ටර් නිවසට පසුදා තනිවම බසයක නැගී ආවෙමි. ඇය බස් නැවතුමෙන් මා පිළි ගත්තේ ආදරයෙන් වැළඳ ගනිමිනි.
හල්වල දන්නා කියන කිසිවෙකු සිටියේ නැත. ගංගා මා කෝච්චියට නැංවූ අතර මට අදාල කෝච්චි පෙට්ටිය සොයා ගැනීම දුෂ්කර විය. මම දුම්රිය මගියෙකුගෙන් ටිකට් එක පෙන්වා විමසූ විට ඔහු මා අදාල පෙට්ටියේ අදාල සීට් එක දක්වාම ගෙන ගොස් පෙන්වූයේය. මෙහේ මිනිසුන් එසේය. අප උදව්වක් ඉල්ලූ විට ඔවුහු අසීමාන්තික ආකරයෙන් උදව් කරයි. තමා යන්න සිටි ගමන ද පසෙකලා උදව් කරයි. එහෙත් උදව්වක් නොඉල්ලන්නේ නම් බිම වැටී සිටියත් අහක බලා ගෙන යයි.
වරක් වැස්සේ අබාධිත ගැහැණියකගේ රෝද පුටුව පේව්මන්ට් එකෙන් පාරට ලිස්සා වැටීමකදී මම වහා ගොස් ඇයට රෝද පුටුව පාරෙන් උඩට ගෙන බිව වැටී නැගිටින්න බැරිව සිටි ඇය ඔසවා රෝද පුටුවේ ඉන්දවීමට කටයුතු කළත් වෙනත් කිසිවෙක් ඒ දෙස බැලුවේවත් නැත. ඔවුන් තමන්ගේ පාඩුවේ පාරේ ගමන් කළේ එවැන්නක් නොදුටු ලෙසිනි.
නැවතත් මගේ කතාවට පිවිසෙමි.
දුම්රියෙන් බැස විශ්වවිද්‍යාලයට යන බසයට නැගුණු මම තවත් පිරිමි ළමයෙකුට කීවේ විශ්වවිද්‍යාලයට යාමට මට අවශ්‍ය බවත් අදාල තැන මා බස්සවන මෙන්ය.

“මාත් යන්නේ යුනි එකට. මං ඔයාව එක්ක යන්නම්”
ඔහු ඝානාවේ සිට පැමිණි සම්ය. ඔහු මා ශිෂ්‍ය කවුන්සිලය වෙත ගෙන ගොස් ඇරලූවේය.
අපේ රටවල මෙන් යුනියන් එක ශිෂ්‍යයන්ගේ උරුමයක් නොව මෙහි එය ආයතනික ව්‍යුහයකි. ඒ මඟින් ශිෂ්‍ය සුබසාධනය සිදු කරයි. ලියාපදිංචි වීමට මා එහි ගිය විට එහි සිටි නිලධාරිනිය එහි අවශ්‍ය දේ කර අනෙක් නිලධාරිනිය වෙත යන්නැයි නොකියයි. සොෆාවක් කරා එක්ක ගොස් මෙහි වාඩි වෙන්න මගේ මිතුරු නිලධාරියෙකු දැන් ඔබ වෙත එනු ඇතැයි ඇය කියයි.
මට පිටුපස පෝලිමේ සිටි කලු ජාතික තරුණයා දැන් මා කලින් සිටි ලියාපදිංචි අසුනේය. මට පිටුපස හැරී “හායි” කීවේය. මම ද “හායි” කීවෙමි.
තවත් නිලධාරිනියක පැමිණ මා කැටුව තවත් අසුනක් වෙත ගිය අතර එහිදී මගේ හැඳුම්පත ලබා දීම සිදු විය. මේ සියලු වැඩ අවසන් කර මම නවාතැනක් බලන්නට ගියෙමි. එහි ගොස් පැමිණෙන මට නැවත හමුවූයේ ලියාපදිංචි මේසයේ හායි කී තරුණයාය. ඔහු නයිජීරියාවේ සිට පැමිණි ඉන්සිය.

ඔහු බැංකු ගිණුමක් අරඹන්නට ගිය බව කීවේය. මාව ද බැංකුවට එක්ක ගෙන ගොස් බැංකු ගිණුම අරඹන්නට කියා දුන්නේය. ඔහු ඉන්සිය.
අප දෙදෙනා ගොස් ඔහුට දුරකථන සිම් කාඩ්පතක් ලබා ගතිමු. මට ලන්ඩන්වලදී ජගත් අයියා සිම් කාඩ් එකක් රැගෙන දුන්නේය. ඔහුට අවශ්‍ය උයන පිහන භාජන මෙන්ම අත්‍යවශ්‍ය දේවල් අප දෙනො ගොස් මිළට ගතිමු. මම නැවතත් මැන්චෙස්ටර් යා යුතුය. එහෙත් ඔහු සමඟ ඔහුට නවාතැනක් සොයන්නට ඒජන්සිවලට යාමට මට කාලය ඉතිරිව තිබිණි. එසේම කොට්ටයක් සීතලට පොරවන ඩුවට් එකක් ආදිය අපි ගොස් මිළට ගතිමු. ලන්ඩන්වල මෙන් නොව හල්වල භාවිතා වූ ඉංග්‍රීසි යෝක්ෂෙයා උච්චාරණය තේරුම් ගැනීම දුෂ්කරය. කඩවලදී අපට දෙවරක් තෙවරක් දේවල් ඉල්ලන්නට සිදු වූ අතර ඔවුන් කියන දේ දෙතුන්වර අසන්නට ද සිදු විය.
කෙමෙන් පොද වැසි ඇද හැලුණි. සීත කබායේ හුඩියෙන් අප දෙදෙනා ඔලුව ආවරණය කර ගතිමු. මට බසයක් එනතුරු මගේ බඩු මල්ල ඔසවාගෙන ඉන්සි මා සමඟ තෙමි තෙමී සිටියේය. මට ලංකාවේ සිටි මිතුරන් සිහි විය. කොහේ ගියත් එක වගේම මිනිසුන් ලැබෙන්නට පිනක් තිබිය යුතුය.
බසයකට මා නැග සිටි සෙන්ටර් එකට ටිකට් ඉල්ලූ පසු එය යන්නේ අතින් දිශාවට බව බස් රියදුරු කීවේය. පළමු දවසේ බස් යනන පැත්ත අපි දන්නේ කොහොමද? පාසල් වියේ මිතුරියන් සමඟ රීගල් එකේ චිත්‍රපටයක් බලන්නට ගොස් එළියට පැමිණ 138 බසයකට නැගී මහරගමට ටිකට් ඉල්ලූ විට එය යන්නේ පිටකොටු බව කොන්දොස්තරවරයා කී බව මට සිහි විය. “ හා කමක් නෑ එහෙන ම් පිටකොටුවට ටිකට් දෙන්නැ” යි මගේ මිතුරිය කීවාය. අපි පිටකෝටු ගොස් ඉන්පසු මහරගම බසය සොයා ගෙන ගෙදර ආවෙමු.
මම බසයෙන් බැස නැවත විශ්වවිද්‍යාලය දෙසට යන ඉන්සි වෙත දිව ගියෙමි. මට සිටි සෙන්ටර් එකට යන බසය සොයා දෙන මෙන් ඉල්ලා සිටියෙමි. ඔහු කිහිප දෙනෙකුගෙන් අසමින් පාරවල් කිහිපයක අප එහෙ මෙහේ ගොස් අවසානයේ බසයක නැගී මම සිටි සෙන්ටර් වෙත ආවෙමි. දුම්රිය ගත යුත්තේ එහිදීය.
මම නැවත මැන්චෙස්ටර් ආ අතර ඉන්සි විශ්වවිද්‍යාලයේ තාවකාලික නවාතැනක ලැගුම් ගත්තේය.
මා බැලූ නවාතැන සතියට පවුම් 90 ගණනේ මට ලැබිණි. එය සාපේක්ෂව ඉතා ලාබය. විශ්වවිද්‍යාලයේ කාමර පටන් ගන්නේම සතියට පවුම් 156නි.
මා මැන්චෙස්ටර් ගිය පසුත් ඉන්සි මට දුරකථයෙන් කතා කර පරිස්සමට ගියා දැන් සොයා බැලුවේය.
ඉන්පසු දිගටම ඉන්සි කෝල් කරමින් ඇසුවේ මා පදිංචියට එන්නේ කවදාද කියාය. ඊළඟ සතියේ මා සොයා ගත් නවාතැනට මම පැමිණියෙමි.
පැමිණ මා ඔහුට දුරකථන ඇමතුමක් දී මා පැමිණි බව කීවෙමි. ඔහු ඇසුවේ දැන් මා පැමිණෙන්නදැයි කියාය.
ඔහු පැමිණෙන විට මම ඔහුට චීස් බිත්තර තක්කාලි දමා සැන්ඩ්විච් පෙති දෙකක් සාදා තැබුවෙමි.
“මට ටිකක් නිදා ගන්න පුලුවන් ද”
ඔහු පළමුව ඇසුවේ එයයි.
මම සාලයේ සෝෆාව පෙන්වීමි.
“මම දවස් ගාණක් නිදාගෙන නැහැ” ඔහු නැවත කීවේය.
පැයක් පමණ ඔහු නිදා ගත්තේය. පසුව මා සාදා දුන් පාන් පෙති දෙකෙන් එකක් කා, මා සාදා දුන් කෝපි කෝප්පයද බී ඉතිරි පාන් කෑල්ල ඔතා දෙන මෙන් කීවේය.
“දවස් ගාණක් මං නිදා ගෙන නෑ. යුනි එකේ දවසට විසි පහක් ගන්නවා. ඒක දිගටම කරන්න බැහැ. මං එතනින් ආවා. කාමරයක් තාම මට හම්බුණේ නැහැ. හැම තැනම හොයානවා. තැන් තැන්වල මං දවස් ගාණක් හිටියා. නයිජීරියානු අයගේ නවාතැන්වල. ඒත් නිදා ගන්න තැනක් නැහැ. හරියට නින්දක් නැතිව වුනත් උදේට ලෙක්චර්ස් යන්න ඕන. හරියට කෑමක් තිබ්බේ නැහැ මේ ටිකේම. ස්තුතියි මේ කරපු සියලු දේට”
“මේක පොඩි දෙයක්”
“මේක පොඩි දෙයක් නෙමෙයි. මේක මට මහා විශාල දෙයක්” එසේ කියන විට ඔහුගේ ඇස්වල කඳුළුය.
“දවස් ගාණකින් හරියට කාලා නැති මිනිසෙකුට කන්න දෙනවා කියන්නේ, දවස් ගාණකින් නිදා ගත්තේ නැති කෙනෙක්ට නිදා ගන්න දෙනවා කියන්නේ, ඒක ලොකු දෙයක්” ඔහු යළි කීවේය.
ඔහු සමඟ මම ගේට්ටුව දක්වා ඇවිද ගියෙමි.
ඉන්පසුව බොහෝ දේ සඳහා ඔහුට මමත් මට ඔහුත් පමණක් විය. ඔහු කළේ ඩේටා සයන්ස්ය. මම දන්නා ඩේටා සයන්ස් එකක් නැති වුවද නිතරම මා එම පීඨයේ සිටියේ ඉන්සි නිසාය. අප හවසට විශ්වවිද්‍යාලය වටේ යමින් ඡායාරූප ගතිමු. එකට කන්නට බොන්නට මෙන්ම අවශ්‍ය දේවල් ගැනීමට එකට කඩේ යන්නට ආදී හැම තැනම ඉඳිකට්ටක් හා නූලක් මෙන් විසුවෙමු. ඔහු මා වෙනුවෙන් රැකියා සෙව්වේය. අනවශ්‍ය බැල්මකින් පවා තොරව සහෝදරකම තබා ගන්නට ඔහු හොඳින් දැන සිටියේය.
අලුත් අවුරුද්ද එළඹෙද්දී ඔහු මට දුරකථන පණිවිඩයක් තබා සුබ පැතුවේ ඔහු එංගලන්ත ජීවිතේ පටන් ගනිද්දී මා ඔහුට දුන් දිරිය කිසිදාක අමකත නොවන බව කියමිනි.
අතේ මුදල් ද නැති කිසිවක්ම නැති රටකට ආගන්තුකයෙකු වූ කාලයේ පවා කිසිවෙකුට උදව් කරන්නට මට පුලුවන් වීම එක්තරා ආශ්චර්යයකි.
එක අතකට මිනිසෙකුට උදව් කරන්නට අපට අවශ්‍ය වන්නේ දේපොළ මිළ මුදල් නොව හදවත පිරි කරුණාව පමණක්මය. ඉන්සි ආවේ වසරක පාඨමාලාවකටය. ඉතා නුදුරු දිනක ඔහු පිටව යනු ඇත. එහෙත් ආගන්තුක රටක හුදෙකලා වූ අප දෙදෙනාට එදවස පැවති ආදරයත් සහයෝගයත් සහෝදරත්වයත් කිසිදා අමතකව නොයනු ඇත.