මේදි හසන් (Mehdi Hasan) යනු කවුද, ඔහුගේ සම්මුඛ සාකච්ඡා හැසිරවීමේ ශෛලිය කෙබඳුද යන්නත්, අල් ජසීරාවේ Head to Head වැඩසටහනේ ස්වභාවය කුමක්ද යන්නත් ගැන හාංකවිසියකවත් අධ්‍යනයක් තිබුණානම්
රනිල්ට ගතහැකිව තිබූ පියවර දෙකක් විය.
පළමුවැන්න, එහිදී තමන් නිර්දය ලෙස ප්‍රශ්නකෙරෙන බව, ඒ ප්‍රශ්නවල කේන්ද්‍රය ‘රට ආගාධයෙන් ගොඩගැනීම‘ ගැන ඔහුගේ පම්පෝරි ගැසීම්වලට ඉඩදීම නොව රටේ රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම හා වගවීම ප්‍රශ්න කැරෙන එක බව පැහැදිළිව තේරුම් ගෙන ඊට මුහුණදීමට සූදානම් වී එහි යාම ය. එවැනි ප්‍රශ්නකිරීමක දී කෝප ගැනීම, කිසිදු වගකීමකට හා වගවීමකට සූදානම් නොමැති බව පෙන්වීම, අත උඩ ඇති තොරතුරු සහ සංඛ්‍යාලේඛන අසත්‍යයයි කීම (අතේ පත්තු වූ බටලන්ද කොමිසමේ වාර්තාව වැනි) හා අවම වශයෙන් රාජ අපරාධ සම්බන්ධයෙන් සහකම්පනයක්වත් නොදැක්වීම තමන්ට නොව රටටම බූමරංගයක් සේ කැරකෙන බව දැනගෙන ඊට ගැලපෙන පරිදි වචන සහ ශරීර භාෂාව තෝරාගෙන ඒ පැයකට අඩු කාලයට ශිෂ්ට සම්පන්න ලෙස මුහුණ දීමට සූදානම් වීම ය. එහි දී ලැබෙන්නේ උණ්ඩ වැනි ප්‍රශ්න සහ මුවහත් පිළිතුරුවලට ඉතා කෙටි කාලයක් බවත්, වැල්වටාරම් බයිලාවලට බාධාකිරීම් සිදුවන බවත් දැනගෙන ඊට මුහුණ දීම ය. එහි තමන්ගේ පම්පෝරි තම්මැට්ටම් ගසන්නට ඉඩ නොලැබෙන බව තේරුම්ගෙන හැසිරීම ය.
දෙවැන්න, ඒ ආකෘතිය සහ ශෛලිය තමන්ට නොගැලපෙන්නේ නම් ජාත්‍යන්තරය ජයගැනීමේ බොරු පම්පෝරි නැතුව සාකච්ඡාවට නොයා සිටීම ය.
එසේ නැතිව සාකච්ඡාව නාගෙන – හාගෙන ඇවිත් “අපේ වාගෙ නෙවෙයි, මේක පැය දෙකක් අරගෙන පැයයි දාල තියෙන්නේ, හොඳ ඒවා තිබුණා ඒවා දාලා නෑ, කියපු හෑලි ඔක්කොම දැම්මනං තත්ත්වය වෙනස්” වැනි වැල් බයිලා ගසා වැඩක් නැත. ලංකාවට ගහන මේ සිංහල වැල්බයිලාවලින් ම තේරෙන්නේ ඔහු මෙය කෙබඳු වැඩසටහනක්දැ යි හාංකවිසියක් නොදැන, ‘ජාත්‍යන්තරය ජයගන්නෙමැ’යි, ‘මේ රටේ ඉන්නා එකම ජාත්‍යන්තර වැඩ්ඩා මම බව පෙන්වමැ’යි පණ්ඩිතමානයකින් එහි ගිය බව ය. එහෙම ගිහින් නාගෙන ආ බව ය.
වැඩසටහනේ දී කැරුණු ප්‍රධානතම - කේන්ද්‍රීයම ප්‍රශ්න කිරීම වූයේ ලංකාවේ රාජ්‍ය අපරාධ ය. ලංකා රාජ්‍යය සම්බන්ධයෙන් ශිෂ්ට ලෝකය හමුවේ ඇති ප්‍රධානතම ගැටලුව කිසිදා නොවිසඳුණු රාජ්‍ය අපරාධ කන්දරාවයි. ඒ අපරාධ කන්ද ලංකාවට පමණක් නොව ලෝකයටම, විශේෂයෙන් දේශපාලන රැකවරණ ලබාදෙන රටවල්වලට ද ප්‍රශ්නයකි. සරලවම කිව්වොත්, ලංකාවේ රාජ්‍ය අපරාධ සම්බන්ධ වගවීම හා වගකීම තහවුරු නොවන තාක්කල් ඒ රටවලට දිගින් දිගටම මෙහෙන් යන පුද්ගලයන්ට දේශපාලන රැකවරණ සපයන්නටත්, ඔවුන් නඩත්තු කරන්නටත් සිදුවෙයි. එහි දැනටමත් ගොස් ඉන්නා පිරිස්වලට දිගින් දිගටම රැඳීසිටින්නට දෙන්නට සිදුවෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡා අවස්ථාවක දී හොරකම් දූෂණ ඇතුළු අනෙක් සියලු මාතෘකාත්, රට ගොඩගැනීම වැනි පම්පෝරි අවස්ථාත් ආවොත් එන්නේ මේ රාජ්‍ය අපරාධවලට පසුව පමණි.
සංවාදය නාගැනීමෙන් අවසානයේ සිදුවූයේ මෙයින් මාස 6කට පෙර දක්වා ජනාධිපතිකම දැරූ, සය වරක් රටේ අගමැති තනතුර දැරූ, රනිල් පමණක් නොව මේදි ද කී පරිදි මේදි හසන් ඉපදෙන්නටත් පෙර සිට ලංකවේ දේශපාලනය කළ රනිල් ඒ රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් දැක්වූ නොසැලකිලිමත්, යුක්තිය වෙනුවෙන් කිසිදු කැපවීමක් නැති, අසන විට කෝප ගන්නා, සිදුවුණාය කියා පිළිගන්නේ නැති, අවම වශයෙන් යුක්තිය වෙනුවට පශ්චාත්තාපය හා සහකම්පනය පවා පෙන්වීමට නොකැමැති අශිෂ්ට විලාසය ලෝකය හමුවේ යළිත් ප්‍රදර්ශනය වීම ය.
බොහෝ දෙනෙක් රනිල්ව කරතියාගෙන යන්නේ ලංකාවට ඉන්නා ජාත්‍යන්තරය ජයගත් / ජයගත හැකි එකම නායකයා ලෙසිනි. එහෙත් මීට පෙර ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡා කිහිපයකදී ම මෙන් මෙවර ද ඔහු පෙන්නුවේ ඉංග්‍රීසි දැනගත්තාට, ටයිකෝට් ඇන්දාට, යුරෝපීය බාහිර ඇවැතුම් පැවැතුම් තිබුණාට රනිල් යනු රාජපක්ෂ වර්ගයේ ම ඉංග්රීසි වර්ෂන් එක බව ය.
දෘෂ්‍ය මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී ඔහුගෙන් ප්‍රකට වන නොරුස්නා, කෝප ගත්, මේදි හැඳින්වූ අන්දමට ලාමක (Childish) විලාසයත්, අශිෂ්ඨ ශරීර භාෂාවත් (body language) පෙන්වා සිටියේ අඩුම තරමේ ඔහු මෙතරම් කල් දැරූ තනතුරුවලට නොව ඔහුගේ වයසටවත් නොගැලපෙන්නකු බවය. ටයි කෝට් අස්සේ ඉන්නේ තවම ශිෂ්ඨාචාර ගත නොවූ අමු ගෝත්‍රිකයෙක් බව ය.
ගෙදර ඇවිත් දැමූ අඬෝඇඬියාව රටේ වාසනාවට ජාත්‍යන්තර මාධ්‍යයක පළ නොවනු ඇත. ඒක එහෙම පළවුණොත් ඒකෙන් වෙන්නේ අල් ජසීරා හෑමටත් එහා යන සායම හේදීමකි.
මේ වූ කලී අල් ජසීරා මාධ්‍ය භාවිතාව හෝ මේදි හසන්ගේ සංවාද මෙහෙයවීමේ කලාව හෝ Head to Head වැඩසටහනේ 'හොඳ නරක' ගැන අදහස් දැක්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.
ඔය කී කාරණා පිළිබඳ සංවාදය වෙන ම එකක් වන අතර, ඇත්තටම නම් ඒවා ගැන සංවාද කිරීමට අමතරව කළ හැකි හොඳම දෙය ඒවායේ යථා ස්වභාවය තේරුම් ගැනීමය යන්න අපේ අදහසයි. එය සමස්ත ලෝක ජනමාධ්‍ය ගැන ම අවබෝධයක් මිස අල් ජසීරාවට, මේදි හසන්ට හෝ උක්ත වැඩසටහනට පමණක් සීමාවන අවබෝධයක් ද නොවේ.
සනත් බාලසුරිය