මාස කීපෙකට කලින් මතුගම ගියා උවමනාවකට. නෑබඩ පාර පැත්තට වෙන්න පදික වේදිකාවෙ තැනක අවුරුදු 16 – 17 ක විතර පුතෙක් එළවලු ඇට පැකට් විකුණනවා. මං එළවලු ඇට පැකට් තෝරන ගමන් කතා කරා. ඉස්කෝලෙ යන දරුවෙක්. නිවාඩු දාට මේ ව්‍යාපාරය කරන්නෙ. එයා සල්ලි දීල බීජ වර්ග අරගෙන, එයාම පැකට් කරල විකුණන්නෙ. රුපියල් 100 /= ට පුංචි පොහොර පැකට් එකකුත් දෙනව. එයාට සැළකිය යුතු ලාබයක් තියෙනවලු. තාත්තට තනියම වියදම් දරන්න අමාරු නිසා එයා ගෙදරට උදවුවක් හැටියටලු මේක කරන්නෙ.
“තාත්ත ගෙදරට බඩු ගේන්නෙ මාසෙකට එක දවසයි. පඩි දාට. මං සතියට සැරයක් අඩුපාඩු ගෙනියනව මිස්. ” කොල්ල කිව්වෙ ආඩම්බරෙන්”
මේ තියෙන්නෙ ඒ දරුවගෙන් මං මිළදී ගත්තු බඩ ඉරිඟු ඇට හිටවල හැදුනු ගස්. කරල් මෝදු වෙලා. මේව හිටෙව්වෙ අපෙ අම්ම. මේ පැත්තෙ බඩ ඉරිඟු වවන්නැති නිසා අම්ම කවදාවත් බඩ ඉරිඟු ගස් දැකල නෑ. එයා හිතන් ඉඳල තියෙන්නෙ ගහ මුදුනෙ කරල එන්නෙ කියල. ගහේ මැදින් කරල් දෙක තුන එනකොට අම්මට සතුටුයි.
සතුට සමහර වෙලාට දම්වැලක් වගේ එකට බැඳෙනව. අර දරුව සතියට සැරයක් ගෙදරට අවශ්‍ය බඩු ගෙනියනකොට ඒ අම්මගෙ හිතේ මෝදුවෙන සතුට, තමන්ගෙ තරුණ පුතා තාත්තට උදවුවක් විදියට මුදල් හොයන කොට, එයා පාසල් කාලයෙ ඉඳන්ම දෙපයින් නැගී සිටින්න දරන වෑයම දකින කොට ඒ තාත්තට දැනෙන සතුට, ඒ දරුව දැකීමෙන් සහ එයාගෙන් එළවලු ඇට මිළදී ගැනීමෙන් මට ලැබුණු සතුට, මෝදු වෙන ඉරිඟු කරල් උදේට උදේට අතගාමින් මගෙ අම්ම විඳින සතුට මේ ඔක්කොම එකම සතුටු දම්වැලේ පුරුක්.
මගේ තරුණ පුතාලා දූලා, ඔයාලත් සතුටු දම්වැලක පළවෙනි පුරුක වෙන්න. ඒකට මේ මං කියන දරුව වගේ සල්ලි හම්බ කරන්නම ඕන්නෑ. තමන්ගේ කෙනෙක් වෙනුවෙන් කරන එක පුන්චි උදවුවකින්, එයාල වෙනුවෙන් කියන එක පුංචි වචනයකින් වුනත් ඔයාලට පුලුවන් සතුටු දම්වැල පටන් ගන්න.
යුනේකා ලක්මිනි අබේරත්ත