ලෙන්ගතුමක සහ ව්‍යාජත්වය මතු කෙරන බෙනට් සිරිසේනගේ “ මිතුදමක මතක සිරි“


තංගල්ලේ බෙනට් සිරිසේන සහෝදරයා ලියා පලකර ඇති “ මිතුදමක මතක සිරි“ ( පළමු මුද්‍රණය 2024 නොවැමිබර්) පොත කියවන්න ලැබුණ. බෙනට් සහෝදරය රෝහණ විජේවීර සමග කුඩා කල සිටම මිතුරුදමින් වෙළී සිට අයෙකු බවත් ජවිපෙට යම් යම් උදව් උපකාරකළ අයෙකු බවත් පොත කියවන්න පෙර සිටමත් අපි දැනගෙන සිටිය. ඒ අතීතය අනාගත දැනුම උදෙසා ලියා තැබීම වැදගත් දෙයක්. ඒ යුතුකම , වගකීම ඉටුකිරීමේ ඔහුගේ සත්භාවී හැඟීම යටකරගෙන සමහර කරුණු වැරදි විදියට ඉදිරිපත්කිරීම නොකළ යුතුව තිබුණ. නැතිනම් තවදුරටත් සත්‍යය සොයා තහවුරුකරගත් කරුණු ද ඇතුලත් කරන්න තිබුණ. ඒ පොතේ එන කරුණක් දෙකක් ගැන, විශේෂයෙන් මමත් සම්බන්ධ කර දක්වා ඇති කරුණක් ගැන සත්‍ය ලිවිය යුතු ය.


බෙනට් සිරිසේන සහෝදරයගෙ පොතේ පිටු අංක 525 හි එන එක ඡේදයක මෙහෙම කියනව.


“ 1983 ජුලි මස 22, 23 දිනයන්හි විතාරන්දෙණිය පක්ෂ පාසලෙහි පැවැත්වුන ජාතික ගැටළුව පිළිබඳ තීරණාත්මක වූ මධ්‍යම කමිටු රැස්වීමේ දී ස්වයං තීරණ අයිතිය පිළිබඳ වැඩි සාමාජිකයන් දරණ මතයට එකඟ නොවන මත දෙකක් ඉදිරිපත්විය. එකක් ලයනල් බොපගෙන් වූ අතර අනික පොඩිරත්න යන සහෝදරයාගෙනි. පොඩිරත්න ඔහුගේ මතය පිළි නොගන්නේ නම් පක්ෂයෙන් ඉවත්වෙන බවට ප්‍රතිඥා දී එදින ම නැගිට ගියේ ය. “


වැදගත්කමින් වැඩි එක් සත්‍යයක් මේ සටහන තුල මගහැර ඇත. ඒ අතින් එය කියවන්නා මුළාකරවන සුළු ය.
i. “ ස්වයංතීරණ අයිතිය පිළිබඳ වැඩි සාමාජිකයන් දරන මතයට එකඟ නොවන මත දෙකක් ඉදිරිපත් විය.“ – මේ කියන මධ්‍යම කමිටු රැස්වීමට පෙර දින දක්වාම ස්වයං තීරණ අයිතිය පිළිබඳ වැඩි දෙනාගේ මතය නොව, මුළු පක්ෂයම පිළිගත් නිළ ප්‍රතිපත්තිය වුනේ, දෙමළ ජනතාව සතු ස්වයං තීරණයේ අයිතිය පිළි ගැනීමයි. ලයනල් බෝපගේ සහෝදරයා විසින් ලියා එවකට(1977) වූ තාවකාලික මධ්‍යම කමිටුව විසින් අනුමත කර ප්‍රසිද්ධියට පත්කර තිබූ “ජාතික ගැටළුව පිළිබඳ මාක්ස්වාදී විග්‍රහයක්“ නම් කුඩා පොත තුල එම ප්‍රතිපත්තිය කැටිකර දක්වා තිබුණි. මේ කතාව සිය පොතේ සටහන් නොකර ඉන්න බෙනට් සිරිසේන සහෝදරයා ප්‍රවෙශම් වී ඇත. සමහරවිට නාමිකව හෝ එම ප්‍රතිපත්තිය පිළිගෙන සිට පසුව උඩුයටිකරුව ජාතිවාදී ප්‍රතිපත්තියක් වැළඳගත් රෝහණ විජේවීර බේරාගැනීම ඔහු සමග ළමාවියේ සිට පැවති ලෙන්ගතුකම බෙනට් සහෝදරයාට බලපෑවා විය හැක. –
ii. “1983 ජුලි මස 22, 23 දිනයන්හි විතාරන්දෙණිය පක්ෂ පාසලෙහි පැවැත්වුන ජාතික ගැටළුව පිළිබඳ තීරණාත්මක වූ මධ්‍යම කමිටු රැස්වීමේ දී ස්වයං තීරණ අයිතිය පිළිබඳ වැඩි සාමාජිකයන් දරණ මතයට“ —මෙය සත්‍යයකි. මේ මධ්‍යම කමිටු රැස්වීමේ දී බෝපගේ සහෝදරයා සහ මමත් හැර අනෙක් සියළුම මධ්‍යම කමිටු සාමාජිකයන් පොදුවේ සිටියේ පක්ෂය මෙතෙක් පිළිගෙන තිබූ ස්වයං තීරණ අයිතිය බැහැරකරන තැනකය. මෙහෙම එක රැයකින් බහුතරය කණපිට හැරුනේ කොහොමද කියන එක අදත් මට විසඳුමක් නැති ප්‍රශ්ණයක්. ඒ බහුතරයෙන් කිසිවෙක් තමන් අළුත සොයගෙත් ස්ථාවරය ගැන නියාළු ස්වභාවයක් පෙන්නුවා හැර කිසිම පැහැදිළිකිරිමක් කළේ නැහැ.. වෙනත් කරණුවලට අමතරව මේ ගැන මට ඇතිවුනේ දැඩි කළකිරීමක්.
iii. දෙමළ ජනතාව සතු ස්වයං තීරණයේ අයිතිය පිළිගන්නා බවත්, උතුර – නැගෙනහිර සටන්කාමී දෙමළ සංවිධාන සමග සංවාදයක් අරඹා ඔවුන්ගේ උවමනාවන්, ප්‍රතිපත්ති හඳුනාගෙන ඔවුන් සමාජවාදය කරා දිනාගත යුතු බවත් මගේ අදහස වුනා. සෝමවංශ අමරසිංහ ගේ නායකත්වය යටතේ ජවිපෙ ලියා ප්‍රසිද්ධකර ඇති පක්ෂ ඉතිහාසය පොතක ද මම මේ මධයම කමිටු සැසි වාරයේ දී තර්ජනාත්මකව කතාකර නැගිට ගිය බවට සටහන්ව තිබුණ. බෙනට් ඒ ව්‍යාජ අදහස උපුටා ගන්නට ඇත්තේ නිසැකවම ඒ පොතෙන් පව පෙනෙන්නට ඇත.
මධ්‍යම කමිටුවට තර්ජනය කරල, රැස්වීමෙන් මම නැගිට ආවෙ නැහැ. ඉන් දින කීපයකුට පසු තහනම් කරනු ලැබු පක්ෂය තුල ප්‍රශණ තිබියදීත් මම දිගටම වැඩකළා .මම පක්ෂයෙන් ඉවත්වෙන්නෙ නොවැම්බර් මාසයේ අග විතර.
iv. සැළකිල්ලට ගතයුතු තවත් වැදගත් කරුණක් ද බෙනට් සිරිසේන සහෝදරයා මේ පොතෙහි එළි දක්වයි. මට ඇතිව තිබූ සැකයක් එයින් තහවුරු වෙයි.


“ 1983 ජුලි 20 වනවිට ඉතා රහසිගත මාර්ගයකින් පක්ෂය මෙම වැඩපිළිවෙල ( ජවිපෙ ගමන වැළැක්වීමේ ජේආර්ගෙ කුමන්ත්‍රණය – සටහන මගේය. ) පිළිබඳ දැනුවත් විය. 22 දින තංගල්ල විතාරන්දෙණිය පක්ෂ කාර්යාලයේ මධ්‍යම කමිටු සාකච්ඡාව පැවතෙද්දී රෝහණ විජේවීර සහෝදරයා අප 4 දෙනෙකු අමතා ඉතා ඉක්මනින් පක්ෂය තහනම් කරන බවට ආරංචි ලැබී ඇති බැවින් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට නැවතීමට තැනක් සොයන ලෙස දැනුම් දුන්නේය“

( පොතේ පිටු අංක 569)


I. මේ කියන 22 මධ්‍යම කමිටු රැස්වීම ජුලි 22 ජාතික ප්‍රශ්ණය ගැන සාකච්ඡා කරන්න එකතු වූ මධ්‍යම කමිටු රැස්වීම විය යුතුයි. එදින රෝහණ විජේවීර “ අප 4 දෙනෙකු “ අමතා කීව වැදගත් තොරතුරක් ගැන බෙනට් සහෝදරයා කියයි. ඇත්ටම නම් රෝහණ විජේවීර මේ අතිශයින් වැදගත් තොරතුර පළමුව දැනුම් දිය යුත්තේ එදින ම එහිම රැස්වෙමින් තිබූ පක්ෂ මධ්‍යම කමිටුවටයි. මම දන්නා තරමින් රෝහණ විජේවීර මධ්‍යම කමිටුවට එවැනි දැනුම් දීමක් කළේ නැහැ. එහෙම වුනා නම් ඒ මොහොතේ ආසන්න, වැදගත් ම ප්‍රශ්ණය එය නිසා ජාතික ගැටළුවට වඩා ඒ මාතෘකාවට ප්‍රමුඛතාවය හිමිවෙනව. එහෙම නම් තහනමෙන් පසු එක එක මාර්ගවල නොගොස් නිශ්චිත, ඵලදායී උපාය මාර්යක් හඳුනාගන්න පක්ෂයට හැකියාව තිබුණ. සත්‍ය වශයෙන්ම මධ්‍යම කමිටුව එහෙම දැනුවත් වීමක් වුනේ නැහැ.


ඒත් බෙනට් සිරිසේන සහෝදරයා කියන ආකාරයට “ අප 4 දෙනෙකු “ රෝහණ විජේවීර විසින් එසේ දැනුවත් කරන්නට ඇත. ඒක මම බැහැරකරන්නෙ නැහැ. රෝහණ විජේවීර නිසැකවම එහෙම කියන්න ඇති. ඒ තමයි රෝහණ විජේවිරගේ ස්වභාවය. මීට පෙර මධ්‍යම කමිටු රැස්වීම් අතරතුර තේ පානයේ දී කරන කතාබහේදී රෝහණ විජේවීර පක්ෂ තහනමක දී තමන් හැංගෙන බවත් ඊට අදාළ ප්‍රෙද්ශ ගැනත් විහිළුවට වගේ ඉඟි කරනව. ඒ ඉඟිවලින් දැනවූවෙ හම්බන්තොට පළාතයි. . තහනමෙන් පසු මධ්‍යම කමිටුව ( ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් ) නන්නත්තාර වුනත්( මම මේ වචනය යොදන්නෙ වගකීමෙන් යුතුවයි) රෝහණ විජේවීර ( සහ ඔහුගේ පවුල) නිරූපද්‍රිතව හම්බන්තොටටත් අනතුරුව ඔහු අවට කැළයටත් පසු බසිනව, තහනමෙන් පසු රෝහණ විජේවීරගේ සැඟවසිටීම ඔහු කලකදි අප සමග කළ “ විහිළු“ නොවන බවට මට තිබූ සැකය බෙනට් සිරිසේන සහෝදරයා කරන මේ සඳහන මගින් වගේම ඔහුගේ මුළු පොතේ කියන කතාවෙන් ද තහවුරු වෙනව.

මෙලෙස සිය සඟයාට ඇති අධික ලෙන්ගතුකම උලුප්පා පෙන්වන්න වැඩි දුර නොසොයා , නොබලා ව්‍යාජ කරුණු ඉදිරිපත්කිරීම නිසා බෙනට් සිරිසේන සහ විජේවීර අතර ඇත්තටම අපි නොදැන සිටි වැදගත් තොරතුරුවල පවා විශ්වාසනීයභාවය ගැන දෙවරක් හිතන්න වෙනව.

More From Author

මුහුණු පොතේ මම සහ ඔබ

විදුලි කප්පාදුව අවසන්

Leave a Reply

Categories

LDM Columns