දොස්තයෙව්ස්කි දුටු සමාජ අසාධාරණය

මිනිසුන් පෙළමින් මුදල් පොලී කරන මසුරු ගැහැණියක මරණ ‘රස්කොල්නිකොව්’  ඒ පිළිබඳව අප්‍රමාණව මානසිකව පීඩා විඳීයි. මෙහිදී ඔහුට ‘සෝන්යා’ නැමැති ගණිකාවකගේ දයානුකම්පාව හිමිවෙයි. ඇය සිරුර කැප කරන්නේ තම කුඩම්මා හා ඇගේ දරුවන් ජීවත් කරවීමට ය. වරක්, ‘රස්කොල්නිකොවි’, සෝන්යා ඉදිරියේ දණින් වැටී ඇගේ පා සිඹ මෙසේ කියයි.

” මා වැඳ වැටෙන්නේ නුඹට නොව නුඹගේ වෙසින් දුක් විඳින මනුෂ්‍යාත්මභාවය ටයි” 

මෙම කියමන දොස්තයෙව්ස්කි  ගේ ‘අපරාධය හා දඬුවම ‘ නමැති කෘතියේ සඳහන් වන්නකි. ” මානව භක්තිය කැටිකර පෙන්වන මෙවන් උතුම් කියමනක් මා කියවූ කිසිම නව කතාවකින් මෙතෙක් හමුවී නැතැ” යි මාර්ටින් වික්‍රමසිංහ යෝ පවසා ඇත.

පියදෝර් මිකෙයිලොවිච් දොස්තයෙව්ස්කි ”  (1821 – 1881) මොස්කව්  හි දුප්පත් මිනිසුන් සඳහා වූ රෝහලක සේවය කළ වෛද්‍යවරයකු ගේ අට දෙනෙකුගෙන් යුත් පවුලක හය වැන්නා විය.  කුඩා කල එම රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි දුප්පත් මිනිසුන්ගේ දුක් වේදනා හා අසරණ බව ජීවිතය පිළිබඳ ඔහු ලද පළමු අත්දැකීම විය. 16 වන වියේ දී ඔහුගේ මව මිය යාමෙන් පසු ”පීටර්ස්බර්ග්’ නුවරට ගිය දොස්තයෙව්ස්කි සැලසුම් නිර්මාණ ශිල්පියකු ලෙස කටුයුතු කළේය. එහිදී ඔහු නවකතා කිහිපයක්ම රචනා කළේය. දුක් විඳින මිනිසුන්ගේ ඛේදනීය ඉරණම ඔහුගේ නවකතාවලින් හදවතට දැනෙන අයුරින් පිළිබිඹු වේ යැයි රුසියාවේ එවක සිටි විශිෂ්ටතම විචාරකයා වූ ‘විස්සේරියන් බෙලින්ස්කි’ පවසා ඇත. අනුන්ගේ දුක වේදනාව තම හද තුළට ගෙන, දුක් විඳින මිනිසුන් කෙරෙහි උපන් දයානුකම්පික හදවතක් දොස්තයෙව්ස්කි ට තිබිණ. අතලොස්සක ගේ ග්‍රහනය ට හසුව දුක් පීඩා විඳී ජනතාවට,  අහිමි වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ඔහු කම්පාවට පත්විය.  සමාජයේ පැවති මෙම විෂමතාවය ට එරෙහිව ඔහු පීටර්ස්බර්ග් හි පිහිටි තරුණ සංවිධානයකට බැඳී කටයුතු කළ අතර, එවැනි රැස්වීමකට කඩා වැදුණු සාර් රජයේ හමුදා දොස්තයෙව්ස්කි  ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණ. මේ සියළු දෙනාම වෙඩි තබා ඝාතනය කිරීමට නියමුව තිබුණත්, අවසන් තත්පරයේදී එම තීරණය අත්හිටුවා එය දස වසරක සිර දඬුවමකට පරිවර්තනය කරනු ලැබිණ.

සයිබීරියාවේ සිර කඳවුරේ දී ඔහුට  ඇසුරු කරන්නට ලැබුණේ,පැවති සමාජ අසාධාරණය හමුවේ සියලු ආකාරයේ දුෂ්චරිතය න්ට ගොදුරු වූ, මං පහරන්නන්, ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ අරගල කලවුන් ය.

ජීවිතයේදී එළඹෙන දුක් වේදනා, උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින්,  ඉන් අධෛර්යය නොවී, මිනිසුන් අතර මිනිසකු ලෙස දිවි ගෙවීම, ජීවත්වීමේ පරමාර්ථය විය යුතු යන පරම සත්‍යය මෙහිදී තමාට අවබෝධවූ බව පසු කලෙක දොස්තයෙව්ස්කි පවසා ඇත.

ඔහුගේ කතා, හා දුක් පීඩාදිය පිළිඹිබු කරන චරිත මගින්, අනාවරණය කරන ලද, සූරා කෑම නිසා දුක් පීඩා විඳී මිනිස් දිවියේ දරුණුවූ සත්‍යය ට උසස් ගරුත්ව යෙන්, පිදිය යුතුය.

ආත්මාර්ථය මත ගොඩනැගුණු සමාජ ක්‍රමයක් නිසා පීඩාවට පත් දුගී දුප්පත් අසරණයන් වෙත පතල අප්‍රමාණ වූ දයානුකම්පාව මූර්තිමත් කරන දොස්තයෙව්ස්කිගේ පත පොත  පීඩිත ජනතාවක් අගය කිරීම පුදුමයක් නොවේ. ඔහු දුකට ගරු කළේය. දුක් විඳින්නන්ට ගරු කළේය. ඔවුන්ගේ දුක් පීඩා තම හදවතට ගෙන හඬා වැටුනේය. එය ඔහුගේ පන්හිඳට අයෝමය ශක්තියක් ලබා දුන්නේය.

ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේ ලියූ ‘මිනිසෙකුගේ සිහිනය‘ නමැති කෘතිය ඔහු තුළ තිබූ විශ්ව සාධාරණ චින්තනය හෙළි කරන්නක් විය. උත්තරීතර සමාජය පරමාර්ථකාමී චින්තනයෙන් පෝෂණය වූවකි. බොරුව, වෛරය මනුෂ්‍ය ඝාතන, අනුන් පෙලා සැප විදීම අහෝසි කරන, ගුණ ගරුක සමාජයක් කෙසේ විය යුතු ද  යන ඉඟිය ඔහුගේ මෙම නවකතාව තුළින් විද්‍යාමාන විය. 

ධනේෂ්වර සමාජයේ වරදින් දරුවන් විඳින දුක, ඔහු ආගමට විරුද්ධව එල්ල කළ භයානක අවියයි. දරුවන්ට දුක දී, දරුවන් හාමතේ තබා රකින ආගම, ලබන මෝක්ෂය, අමරණීයත්වය ඔහු  පිළිකුලින් ප්‍රතික්ෂේප කරයි .

රුසියානු විප්ලවයට මඟ පෑදූ තවත් එක් ප්‍රබල ලේඛකයකු වූ දොස්තයෙව්ස්කි ගේ හද ගැස්ම ඔහුගේ 60 වන විදියේ දී නතර විය. ඔහුගේ අවසන් වදන් කිහිපය  ප්‍රියාදර බිරිඳ වෙනුවෙනි

“මගේ ජීවිතය අදින් අවසන් වන බව මා දන්නවා. ‘ඇනා’ මා ඔබට මුළු හදවතින්ම ආදරය කළා. සිතිවිලි මාත්‍රය කින් වත් මම ඔබට ද්‍රෝහී වුණේ නෑ” .

 ඔහුගේ නවකතා  වලින් නිරූපිත චරිත ලෝක සාහිත්‍යයට අයත් අමරණීය නිර්මාණයෝ වෙති. ජීවිතයේ යතාර්ථය වටහාගැනීමට, මනෝවිද්‍යාත්මක විග්‍රහයක් බඳු වූ ‘ කරමසෝ සහෝදරයෝ ‘ ඇතුළු ඔහුගේ කෘති කියවන්න යයි මම යෝජනා කරමි.             

More From Author

විකල්පය ඇත්තටම කියැ වෙනවද

මුහුණු පොතේ මම සහ ඔබ

Leave a Reply

Categories

LDM Columns